මීගමුව, මංකුලිය සාන්ත අන්තෝනි ප්‍රාථමික විදුහලේ ලෝක ළමා දින සැමරුම

0
360

 

විද්‍යාලීය ආදි ශිෂ්‍යා චම්පිකා සුරංගනී මහත්මියට, මතක සැමරුම් තිළිණ ප්‍රදානය කරමින්

ඊයෙ දිනට (2025 ඔක්තෝබර් 01) යෙදුනු “ලෝක ළමා දිනය” නිමිත්තෙන්, ඊයේ පෙරවරුවේ මීගමුව මංකුලිය සාන්ත අන්තෝනි ප්‍රාථමික විදුහලේ අලංකාරවත් ළමා දින සැමරුම් වැඩසටහනක් පැවැත්විණි. “සිහින දකින අපේ ලොවක්” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහනට ආරාධිත අමුත්තන් කිහිප දෙනෙක්ද සහභාගී වූහ.

මීගමුව, පුරවරයේ ඇති පහසුකම් අඩුම හා කුඩාම පාසලක් වන මංකුලිය සාන්ත අන්තෝනි ප්‍රාථමික විදුහලේ ළමුන් 156 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන අතර, ඒ සඳහා ගුරුමණ්ඩලය 18 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම විදුහලට වැඩි වශයෙන් අධ්‍යාපනය ලැබීමට පැමිණෙන්නේ දුප්පත් ධීවර පවුල්වල දරුවන් වීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනේදී දේශන කිහිපයක් පැවැත්විණි. ගුරු පුහුණු උපදේශක අසිත් බස්නායක මහතා විසින් එක් දේශනයක් සිදුකළ අතර, මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, උප පොලිස් පරීක්ෂක එන්. එස්. හසීම් මහත්මිය විසින් ද තවත් දේශනයක් පවත්වන ලදී. මෙම දේශනවල ප්‍රධාන අරමුණ වූයේ, දරුවන්ගේ සාර්ථක අනාගතයක් උදෙසා අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගත්කම අවධාරණය කිරීමයි. දෙමාපියන්ගේ දරිද්‍රතාවය හෝ දැන උගත්කම්වල අඩුපාඩු කෙසේ වුවත්, දරුවන්ගේ ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ තම අධ්‍යාපන කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑමෙන් අනාගතය සාර්ථක කර ගැනීම බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

ගුරු පුහුණු උපදේශක අසිත් බස්නායක මහතා
මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, උප පොලිස් පරීක්ෂක එන්. එස්. හසීම් මහත්මිය

උත්සවයේ අවසානයේදී, මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන චම්පිකා සුරංගනී මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන්, පාසලේ සිටින සියලුම සිසු දරු දැරියන් 156 දෙනෙකුට පමණ ත්‍යාග ප්‍රදානයක් සිදු විය. එමෙන්ම, මෙලෙස පාසලේ සියලු සිසු දරුවන්ට ත්‍යාග ලබා දීමට මූල්‍ය දායකත්වය ලබා දුන් චම්පිකා සුරංගනී මහත්මියට, මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් විශේෂ මතක සැමරුම් තිළිණයක්ද පිරිනමන ලදී.

මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීමට විද්‍යාලයේ විදුහල්පතිනී අයෝමා දිලිනි පෙරේරා මහත්මියගෙන් සහ උප විදුහල්පති ඇලෙක්ස් ෆොන්සේකා මහතාගෙන්ද එලෙසම එම විද්‍යාලයේ සියලු ගුරුවර ගුරුවරියන්ගෙන් ද විශාල සහයෝගයක් ලැබී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here