මීගමුව මහා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් නිල වශයෙන් ප්‍රදානය කෙරේ

0
517

 

නවීකරණය කල අක්ෂි සායන ගොඩනැගිල්ලද විවෘත කෙරෙේ….

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමේ වැදගත් සහ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වසර ගණනාවක් තිස්සේ, දැඩි අවශ්‍යතාවක්ව පැවති සී.ටී. ස්කෑන් (CT scan) යන්ත්‍රයක් නිල වශයෙන් ප්‍රදානය කිරීම සහ නවීකරණය කරන ලද අක්ෂි සායන ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (07/10/2026) සවස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව රෝහල් පරිශ්‍රයේදී සිදුවිය

රුපියල් මිලියන 200 කට ආසන්න (රුපියල් කෝටි 20 ක් පමණ) වටිනාකමකින් යුත් මෙම නවීන සී.ටී.ස්කෑන් යන්ත්‍රය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මීගමුව රෝහලට ලබා දී ඇත. මේ දක්වා සී.ටී. ස්කෑන් පරීක්ෂණ සඳහා රාගම රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙත රෝගීන් යොමු කිරීමට සිදු වූ අතර, මෙම නව පහසුකම මගින් රෝගීන්ට කාලය හා මුදල් ඉතිරි කර ගනිමින් කාර්යක්ෂම සුව සේවාවක් ලබා ගැනීමට හැකි වනු ඇත. මසකට රෝගීන් 100 කට ආසන්න පිරිසකට සී.ටී. ස්කෑන් පරීක්ෂණ වාර්තා අවශ්‍ය වන මීගමුව මහා රෝහලට, මෙම යන්ත්‍රය ලැබීම විශාල සහනයක් සහ පහසුවක් වනු නිසැක ය.

මෙම අවස්ථාවට සමගාමීව, රුපියල් මිලියන 30ක් ( රුපියල් කෝටි 03ක් ) පමණ වැය කර අබලන්ව පැවති රෝහල් අක්ෂි සායන ගොඩනැගිල්ල නවීකරණය කිරීමෙන් අනතුරුව විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. සීදූව ,සුපුවත්අරණ දෙව් මැදුරේ අධ්‍යක්ෂක, ගරු ඩැරල් කූඤ්ඤ පියතුමාගේ සංකල්පයකට අනුව, ජනතා ආධාර හා මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම ගොඩනැගිල්ල නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව නවීකරණය කර ඇත. වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට සහ අක්ෂි රෝගීන්ට සුවදායක හා දැකුම්කළු පරිසරයක් මෙහි නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතිය සඳහා වෙහෙස මහන්සි වූ ගරු පියතුමා ඇතුළු පිරිසට ,මෙම අවස්ථාවට පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සිය ස්තූතිය පුද කළහ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස, අමාත්‍යවරයාට අමතරව විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, මීගමුව ආසනය භාර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්න, නගරාධිපති චාමර ප්‍රනාන්දු, මීගමුව නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ, ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් දිසානායක මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, අතිරේක ලේකම් (සංවර්ධන) කේ.පී. යෝගචන්ද්‍ර යන මහත්ම , මහත්මාවීන් .ද සහභාගි වූහ..

මෙම සුවිශේෂී අවස්ථාවන් සනිටුහන් කිරීම සඳහා මීගමුව රෝහල් ශ්‍රවණාගාරයේ විශේෂ උත්සව සභාවක් පැවැත්වීය. එහිදී මීගමුව මහා රෝහලේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය පිළිගැනීමේ කතාව සිදු කරමින් රෝහලේ වැදගත්කම පිළිබඳව කරුණු පැහැදිලි කළාය. 1950 දී ආරම්භ වූ මෙම රෝහල 2020 වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ප්‍රධාන රෝහලක් බවට පත්ව ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතා වැදගත් රෝහලක් ලෙස, බහු සංස්කෘතික ජනගහනයක් වෙසෙන මීගමුව ප්‍රදේශයට මෙන්ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, බන්ධනාගාර, ගුවන් හමුදා කඳවුරු, සංචාරක කේන්ද්‍රස්ථාන, ධීවර කර්මාන්තය සහ ආයෝජන මණ්ඩලයේ නිදහස් වෙළඳ කලාපය ආදියට ආසන්නව පිහිටා තිබීම මෙම රෝහලට සුවිශේෂී වැදගත්කමක් ලබා දෙන බව ඇය සඳහන් කළාය. වසරකට නේවාසික රෝගීන් 105,000ක්, බාහිර රෝගී අංශයෙන් රෝගීන් 280,000ක් සහ සායන සඳහා රෝගීන් 350,000ක් පමණ මෙම රෝහලෙන් සේවා ලබා ගන්නා බව ද ඇය පැවසුවාය.

සී.ටී. ස්කෑන් සඳහා මීගමුව රෝහලෙන් මසකට රෝගීන් 90 ක් පමණ වෙනත් රෝහල් වෙත යොමු කරන ලද අතර, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා 790 ක් පමණ රෝගීන් රාගම රෝහලටත් කොළඹ ජාතික රෝහලටත් යොමු කර ඇත. දශකයකට පමණ පෙර සිට මෙම සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම් අසාර්ථක වූ අතර ,එම ඉල්ලීම මේ වසරේදී සාර්ථක වීම රෝගී ජනතාවට විශාල පිටිවහලක් වනු ඇත. රේඩියෝ ග්‍රැෆර්වරුන් ( පුහුණුව ලත් විකිරණ තාක්ෂණවේදීන් ) 04 දෙනෙකුගේ කැපවීම තුළින් සී.ටී. ස්කෑන් සේවාවන් පවත්වාගෙන යාමට හැකි වන බව ද ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

අලුතින් විවෘත කරන ලද අක්ෂි සායන ගොඩනැගිල්ල පිළිබඳව ද අදහස් දැක්වූ රොහල් අධ්‍යක්ෂිකාව, තමා මීට වසර දහයකට පමණ පෙර මෙම රෝහලට පැමිණෙන විට , අක්ෂි ශල්‍යකර්ම සිදු නොකළ රෝහලක් බවට පත්ව තිබූ බවත් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, පරාක්‍රම මහතාගේ කැපවීම තුළින් මේ වන විට සතියකට අක්ෂි ශල්‍යකර්ම 80 ක් පමණ සිදු කරන තත්ත්වයකට පත් කිරීමට හැකි වූ බව ද ඇය පැවසුවාය. රෝහලට අලුතින් පත්වීම් ලැබ පැමිණ සිටින නව අක්ෂි විශේෂඥ වෛද්‍යවරියගෙන් ද මෙම තත්ත්වය පවත්වාගෙන යන ලෙස ඇය ඉල්ලා සිටියාය.

උත්සව සභාව අමතමින්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ මහජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා රජය කටයුතු කරන බවයි. මෙවර අයවැයෙන් ද සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ව්‍යාපෘතිය ඇතුළු විවිධ ණය අරමුදල් යොදවමින් තවත් සී.ටී. ස්කෑන් යන්ත්‍ර 11ක් රුපියල් මිලියන 1950 ක් වැය කර ලබා දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. ලබන වසර වන විට සී.ටී. ස්කෑන් යන්ත්‍ර අවශ්‍ය සියලුම රෝහල්වලට ඒවා ලබා දීමට හැකි වෙතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. රෝහල්වලට අවශ්‍ය සියලු පරීක්ෂණ යන්ත්‍ර ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව ද ඔහු අවධාරණය කළේය. ගරු ඩැරල් කූඤ්ඤ පියතුමාට රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ල නවීකරණය කර, ඒ සඳහා අවශ්‍ය මෙවලම් සහ නවීන අංගෝපාංගයන් ලබාදීම පිළිබඳව අමාත්‍යවරයා විශේෂයෙන් ස්තූතිය පුද කළේය. ඉදිරි කාලයේදී මීගමුව රෝහලට අවශ්‍ය පරිපූරක වෛද්‍ය සේවා කාර්ය මණ්ඩල ඇතුළු සියලු අංශ වෙත අවශ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මීගමුව මහා රෝහලේ හිටපු විකිරණවේදි විශේෂඥ වෛද්‍ය වසන්ත කුමාර හේවාපතිරණ මහතා සහ වර්තමාන විකිරණවේදි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න රූපසිංහ මහතා ද මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කළහ. තවද රාජ්‍ය නිලධාරීන්, රෝහල් විශේෂඥ වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ.

සටහන සහ ඡායාරූප .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here