ශ්‍රී ලංකාවේ භෞත චිකිත්සක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද විශේෂිත භෞත චිකිත්සක විද්‍යාපති (MSc in Physiotherapy) උපාධි වැඩසටහනේ පළමු කණ්ඩායම පසුගියදා සිය උපාධි ලබා ගත්හ. මෙම කණ්ඩායම නියෝජනය කරමින්, මීගමුව මහා රෝහලේ සේවයේ නියුතු විශේෂඥ හෞත චිකිත්සකවේදී , කුරුකුලසූරිය ටානියා මරීන් අමින්ද්‍රා ප්‍රනාන්දු මෙම ගෞරවනීය උපාධිය හිමිකර ගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මෙතෙක් මෙරට වෘත්තීය භෞත චිකිත්සකවරුන්ට ලබාගත හැකි වූයේ සාමාන්‍ය උපාධියක් පමණක් වූ බැවින්, මෙම නව උපාධි වැඩසටහන ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුවට මහඟු පිටිවහලක් වනු ඇත.

අමින්ද්‍රා ප්‍රනාන්දු දැනට මීගමුව මහා රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ භෞත චිකිත්සකවරියක් ලෙස සේවය කරන අතර, මීගමුව රෝහල් ඉතිහාසයේ මෙම විශේෂිත විද්‍යාපති උපාධිය ලබාගත් පළමු භෞත චිකිත්සකවරිය වන්නේද ඇයයි.
කුලපති , මහචාර්ය එම්.ඒ.කේ.එල් දිසානායක මහතා විසින් උපාධිය ප්‍රදාහය කල අවස්ථාව….
ඇයගේ මූලික අධ්‍යාපනය මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර, උසස් පෙළ විභාගය සඳහා වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා පාසලෙන් ජීව විද්‍යා විෂය ධාරාව හදාරා ඇත. අනතුරුව උසස් පෙළ විභාගයෙන් සමත්ව , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ භෞත චිකිත්සක දෙපාර්තමේන්තුවට ඇතුළත්ව, BSc in Physiotherapy උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ඇත.
උපාධියෙන් පසු, මාස 06ක සීමාවාසික භෞත චිකිත්සක පුහුණුව කළුබෝවිල රෝහලේදී සහ කොළඹ ජාතික රෝහලේදී ලබාගෙන ඇති අතර .2017 වසරේදී ආරම්භ කරන ඇයගේ භෞත චිකිත්සකවේදී වෘත්තීයේ පළමු සේවා ස්ථානය වූයේ මීගමුව මහා රෝහලයි.
ඇය විසින් අභිනවයෙන් ලබාගත් මෙම භෞත චිකිත්සක විද්‍යාපති උපාධිය වසර 03 ක පාඨමාලා කාලයක් පුරා පැවති අතර, ඒ සඳහා පර්යේෂණයක්ද ඇතුළත් විය. එහිදී අමින්ද්‍රා මහත්මිය විසින් සිදු කළ පර්යේෂණය වූයේ මුල් කාලීන උප-උග්‍ර ආඝාතයෙන් පෙළෙන රෝගීන්ගේ ඉහළ අතෙහි ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය ව්‍යයාම මාලවක් සමඟ චක්‍රීය විද්‍යුත් උත්තේජනයේ කාර්යක්ෂමතාව විමර්ශනය කිරීමයි, එය අහඹු ලෙස පාලනය කරන ලද පර්යේෂණයක් ලෙසද හඳුුන්වාදිය හැක.

එලෙසම ඇයගේ මෙම පර්යේෂණ වාර්තාව ග්‍රන්ථයක් ලෙස 2026 වසරේදී වැඩිහිටි වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකා සංගමයේ 12 වන සංවත්සර වැඩමුළුවේදී එළිදැක්වීමටද ඇය වෙත අවස්ථාව ලැබීණි.
මෙම වසර දෙකක අධ්‍යයන කාලය තුළදී, ඇයගේ සායනික පුහුණුව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඕමානය සහ ඉන්දියාව වැනි රටවලින් පැමිණි ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරුන් සහ විශේෂඥ භෞත චිකිත්සකවරුන් වන මහාචාර්ය බාබරා බිල්ලික්, ආචාර්ය රාජ් සොහානි, ආචාර්ය ස්ටීව් මිලානීස් , ආචාර්ය නරසිම්මන් ස්වාමිනාතන්, සහ මහාචාර්ය පොන්මති යන ජාත්‍යන්තර භෞත චිකිත්සක ක්ෂෙත්‍රයේ දැවැන්තයන්ගේ මඟපෙන්වීම ලැබී ඇත. විශේෂයෙන්ම ස්නායු රෝග සඳහා අදාළ භෞත චිකිත්සාව පිළිබඳව ගැඹුරු දැනුමක් හා පුහුණුවක් ලබා ගැනීමට ද ඇයට අවස්ථාව උදා වය.
අවුරුදු 08 කට අධික කාලයක් ස්නායු රෝග පිළිබඳ විශේෂඥ භෞත චිකිත්සකවරියක් ලෙස මීගමුව මහා රෝහලේ සේවය කරන අමින්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලංකා විශේෂ සායනික භෞත චිකිත්සකවේදීන්ගේ සංගමයේ ලේකම් ලෙසද විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එමෙන්ම ඇය මීගමුව රෝහල් කතෝලික සංගමයේ ලේකම්වරිය ලෙසද කටයුතු කරයි.
ඇයට අභිනවයෙන් හිමි වූ මෙම විශේෂිත භෞත චිකිත්සක විද්‍යාපති උපාධිය පිරිනැමීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්සවයේදී කුලපති මහාචාර්ය එම්.ඒ.කේ.එල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මීගමුව රෝහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට භෞත චිකිත්සක විද්‍යාපති උපාධියක් ලැබූ විශේෂඥ භෞත චිකිත්සකවේදී අමින්ද්‍රා ප්‍රනාන්දු ට අපගේ උණුසුම් සුභ පැතුම් මෙලෙස එක් කරමු.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

















