spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව, රෝහල් සංවර්ධන පදනමේ වැඩ ඇණ හිටලාද ?

Must read

4 වාට්ටුවට විදුලි පංකා

මීගමුව මහා රෝහලේ පවතින ගැටලු, ප්‍රශ්න සහ අඩුපාඩු පිළිබඳව සොයා බලන්නටත් ඒවාට විසඳුම් සෙවීමේදී ඊට මැදිහත්වන්නටත් පුරවැසි සමාජ කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාකාරීව කටයුතු කරනු පසුගිය කාලයේ දී දක්නට ලැබිණි. එහෙත් පසුගිය සිව් වසරක පමණ කාලයක සිට එම පුරවැසි සමාජ කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය එතරම් දක්නට නොලැබුණු තරම් විය. පසුගිය කාලයේ මීගමුව මහා රෝහලේ ප්‍රශ්න ගැටලු අඩුපාඩු ගණනාවක් ඉස්මතු වී රෝහලට පැමිණෙන රෝගීන් දැඩි ලෙස අපහසුතාවයට හා අසරණ තත්ත්වයන්ට පත්වෙද්දී රෝහල පිළිබඳ සැලකිලිමත් වන බොහෝ අය පවසා සිටියේ, රෝහල පදනම් කරගෙන පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ පුරවැසි සමාජ කණ්ඩායම් වල ක්‍රියාකාරිත්වය මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවයි. පසුගිය කාලයේ රෝහලේ අඩුපාඩු සහ ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වූ සහ පෙනී සිටි කණ්ඩායම් අතරින් වඩාත් කැපී පෙනෙන සමාජ කණ්ඩායමක් බවට පත්ව තිබුනේ “” රෝහල් සංවර්ධන පදනම “”යි. වර්ෂ 2011 දී ආරම්භ කරන ලද මෙම සංවිධානයේ ආරම්භක සභාපති බවට පත් වූයේ මීගමු පුරවරයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් වු දෘෂ්ඨි විශේෂඥ වෛද්‍ය ඉයන් මහතාය. වෛද්‍ය ඉයන් මහතා සභාපතිව සිටි කාලයේ රෝහලේ ප්‍රශ්න ගැටලුවලට සෘජු⁣⁣ ලෙස මැදිහත් වී ඒවා විසඳාලීමටත් , අඩුපාඩු පිළිබඳ සොයා බලා එම අඩුපාඩු ඉතා ඉක්මනින් සපුරාලීමටත් මහත් පරිශ්‍රමයක් ගෙන කටයුතු කළ ආකාරය දැකගත හැකි විය. එම කාලය තුළ රෝහල් සංවර්ධන පදනම මඟින් විශාල වැඩ කොටසක් සිදු කරනු දක්නට ලැබිණ. එහෙත් මෑතකදී එවැනි ක්‍රියාකාරීත්වයක් රෝහල් සංවර්ධන පදනම මඟින් සිදුවනු දැකගත නොහැකි විය.
මේ පිළිබඳව කරුණු සොයා බැලීමේදී රෝහල පිළිබඳව සැලකිලිමත් වන වන ඇතැම් අය ප්‍රකාශ කළේ රෝහල තුළ ක්‍රියාකාරී වු ප්‍රධානතම සමාජ පුරවැසි සංවිධානය වන මීගමු රෝහල් සංවර්ධන පදනම මෑතකදී නීත්‍යානුකූලව නිලවරණයක් පවත්වා නොමැති නිසා එහි පෙර මෙන් ක්‍රියාකාරීත්වයක් මෙි වන විට දක්නට නොමැති බවයි. මෙවැනි සංවිධානයක් වඩා වැදගත් වන්නේ රෝහල තුළ ඇතිවන යම් ප්‍රශ්නයකදී ,ගැටලුවකදී රෝහලින් ලැබෙන සුව සේවාවන් ලබාගන්නා රෝගීන්ගේ පාර්ශ්වයේ සිට ඊට මැදිහත් වන්නට සහ රෝහල් බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නට සහ හඬක් නගන්නට , බලකරන්නට ඇති අයිතිය සහ බලය නිසාවෙනි. මේ පිළිබඳවප කරුණු විමසා බැලීමේදී රෝහල් සංවර්ධන පදනමේ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ වසර දෙකෙන් දෙකට නිල වර්ණ පවත්වා නව නිලධාරී මඩුල්ලක් පත් කර ගත යුතු බවයි .වාර්තා වන පරිදි මෙම පදනමේ නිලවර්ණයක් පවත්වා ඇත්තේ කොරෝනා වසංගතය පැමිණි 2019 වසරටත් කලින්ය .එහෙයින් මෙතෙක් එනම් වසර කිහිපයක් ගතවන තුරුම රෝහල් සංවර්ධන පදනම නියමිත පරිදි නිල වර්ණයක් පවත්වා නොමැත.මේ පිළිබඳව සොයා බලද්දී ඇතැම් අය ප්‍රකාශ කරන්නේ මෙම පදනමේ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම තනතුරු වලට ඇති ලොල් බව නිසාම නව නිලධාරී මඩුල්ලක් තෝරාපත් කර ,ඒ අයට එම තනතුරු භාරදීමට ඇති අකමැත්ත නිසාවෙන් නිලවරණ නොපවත්වන්නට විවිධ හේතු කාරණා ගෙනහැර දක්වන බවයි.

මේ පිළිබඳව මෙම පදනමේ ආරම්භයේ සිටම අද දක්වාම ලේකම් හැටියට කටයුතු කරන මාකස් කාරියකරවන මහතාගෙන් අප විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කරන්නේ 2019 වසරේ පැමිණි කොරෝනා වසංගතය සමඟින් රෝහල් සංවර්ධන පදනම ඇතුළු රෝහල තුළ ක්‍රියාත්මක වූ වෙනත් සංවිධාන වල සාමාජිකයන්ගේ සහභාගිත්වයද අවම වූ බවයි. එවැනි තත්ත්වයක් තුළ රෝහල තුළ ක්‍රියාත්මක වූ සංවිධාන වලින් සිදුවන කාර්යයන්හි යම් අඩුපාඩුවක් සිදුවූ බවත් යම් යම් අවස්ථාවලදී අවශ්‍ය මැදිහත්වීම් ද සිදු නොවූ බව ඔහුගේ අදහසයි. එහෙත් රෝහල් සංවර්ධන පදනම මගින් එම කාලයේ සිට යම් යම් සංවර්ධන වැඩ කටයුතු රෝහල තුළ සිදු කල බව ඔහු පවසයි. රෝහලට පැමිණෙන අසරණ රෝගීන් සඳහා විශේෂයෙන්ම වයෝවෘද්ධ වැඩිහිටි රෝගීන් සඳහා සිමෙන්ති වලින් තැනූ ආසන ගණනාවක් රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති බවත් එලෙසම රජයේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැතිව නව හෘද රෝගී ඒකකයක් මේ වන විට තනා අවසන් බවත්, ඉතාම සුළු කාලයකදී එම ඒකකය රෝගීන් සඳහා විවෘත කිරීමට හැකියාව පවතින බවත් ඔහු පවසයි. එලෙසම කාලයක් තිස්සේ අක්‍රියව තිබූ එක්සසයිස් ඊ.සී.ජී.( Exercise ECG) යන්ත්‍රයද මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවත් ඒ සඳහා සුදුසුකම්ලත් ශිල්පියකුගේ අඩුපාඩුව පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසයි .ඔහු පෙන්වා දෙන පරිදි මෙම සංවිධානයේ ආරම්භක කාලය තරම් ක්‍රියාකාරී නොවුනත් රෝහල් සංවර්ධන පදනම මඟින් රෝහලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් නිහඬ සේවාවක් මේ කාලය තුළ සිදුව ඇති බවයි.
නිලවර්ණයක් නොපැවැත්වීම පිළිබඳව අදහස් දක්වන මාකස් කාරියකරවන මහතා පවසන්නේ පෙර ආරම්භක කාලයේ මෙන් රෝහල් සංවර්ධන පදනමෙි තනතුරු භාර ගැනීමට සාමාජිකයින් ඉදිරිපත් නොවීම නිසා පසුගිය කාලයේ සිටි නිලධාරි මඬුල්ල ඔවුන්ගේ ස්ව කැමැත්තෙන් ම 2023 සැප්තැම්බර් මස දක්වා එම තනතුරුවල කටයුතු කළ බවයි.
ඒ අනුව 2023 සැප්තැම්බර් මාසයේදී නව නිලධාරි මඩුල්ලක් පත් කර ගැනීම වෙනුවෙන් රෝහල් සංවර්ධන පදනම රැස්වූ නමුත් එහිදී ද නිලවරණයක් නොපවත්වා සියල්ලන්ගේම එකමුතුවෙන් සහ සියල්ලන්ගේම කැමැත්ත පරිද එම නිලතල භාරගත් බව සඳහන් කළේය.

ඒ අනුව මීගමු රෝහල් සංවර්ධන පදනමේ සභාපතිව සිටි ක්‍රිෂාන්ත දල්පදාදු මහතා නැවතත් සභාපති ලෙසද , ලේකම් ලෙස පත්ව සිටි මාකස් කාරියකරවන වන තමන් නැවතත් ලේකම් ලෙසද එලෙසම භාණ්ඩාගාරික ලෙස හුසෙන් ෆාරුක් මහතාවද සියල්ලන්ගේම ඒකමතික කැමැත්ත මත පත්ව ඇත.මාකස් කාරීයකරවන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාව තුළ උප සභාපතිවරු දෙදෙනෙක් පත් කර ගත යුතුව තිබේ.එහෙත් පදනමේ වැඩ කටයුතු වල පහසුව සඳහා සියල්ලන්ගේම කැමැත්ත පරිදි තවත් එක් උප සභාපතිවරයෙකු එනම් උපසභාපතිවරු තිදෙනෙක් මේ වන විට පත්ව ඇත.ඒ අනුව ජීවක පෙරේරා , ඇන්ටන් ගෝමස් සහ තේවානන්දන් යන මහත්වරුන් මෙලෙස පත්ව ඇත. එලෙසම පදනමේ හිටපු අනුශාසක වෛද්‍ය ඉයන් මහතා නැවතත් එහි අනුශාසකවරයා ලෙස නම්කර ඇත. මාකස් කාරියකරවන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ මීගමුව පුරවරයේ වෙසෙන සියලු ජාතීන් නියෝජනය වන පරිදි මීගමුව රෝහල් සංවර්ධන පදනමේ සියළු තනතුරු සඳහා සිංහල දමිළ සහ මුස්ලිම් යන සියලු ජාතීන් එක් කරගත් බවයි

ඒ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ තනතුරු සහ නම්බුනාම වලට වඩා තමන් ඇතුළු මීගමුව රෝහල් සංවර්ධන පදනමේ සියලුම දෙනාට අවශ්‍ය ඇත්තේ රෝහලට පැමිණෙන අසරණ රෝගී ජනතාවට වඩා හොඳ සුව සේවාවක් සැලසීමට සහය වීමට බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article