මේ දිනවල කඩින් කඩ ඇති වන වැසි තත්වය නිසා දිවයින පුරා ශීඝ්‍ර ලෙස ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් තිබේ. මෙලෙස සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය අධි අර්බුදකාරී තත්ත්වයක් බවට පත්වීමට ඉඩ නොදී එම තත්ත්වය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538 ක් මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.
එම නම් කිරීම අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක ත්‍රීත්වය තුල ග්‍රාම නිලධාරී වසම් රැසක් මෙම අධි අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුල අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මහර , බියගම, වත්තල, කටාන සහ මීගමුව යන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් ගණනාවක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පසුගිය දිනවල සහ මේ දිනවල කඩින් කඩ ඇතිවන වර්ෂා තත්ත්වය සහිත කාලගුණ තත්ත්වයන් සමඟ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වශයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි එබැවින් ජනතාව සිය නිවාස , ව්‍යාපාරක ස්ථානන සහ වැඩබිම් ඇතුළු අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි.
සෞඛ්‍ය අංශ වැඩි වශයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් ජලය රැඳෙන භාජන, ටයර්, පොල් කටු, ප්ලාස්ටික් බෝතල් සහ අනෙකුත් අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත් කර ඩෙංගු මදුරුන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම රජයේ සෞඛ්‍යංශ විසින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අධි අවධානම් සහිත තත්ත්වයක් පවතින නිසා, මේ දිනවල දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන වැඩසටහන් වලට සහාය දක්වන ලෙසත් , එම අදි අවදානම් කලාපවල ජීවත්වන ජනතාව එම වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම ඉතා වැදගත් වන බවයි.
සටහන .-.
තුෂාර රොහන් ප්‍රනාන්දු.













