මීගමුව, නිවුස්ටෙඩ් බාලිකාව, සිය වසර 210 ක ඓතිහාසික අභිමානය මහත් හරසරින් සැමරීමට සූදානම්. ….

0
52

 

ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම නාමයක් සනිටුහන් කරමින්, මීගමුව පුරවරයට විසල් කීර්තියක් සහ ගෞරවයක් එක් කල මෙරට මෙන්ම ආසියානු කලාපයේ ද පළමු බාලිකා පාසල ලෙස පිළිගැනෙන, මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලය, සිය අභිමානවත් වසර 210 යේ සංවත්සරය මේ වසරේදී මහත් හරසරින් සමරනු ලබයි.

ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීණි. එහිදී, වසර 210 ක අතිවිශිෂ්ට ගමන් මගක් සනිටුහන් කරමින් නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලය මෙතෙක් ආ එම විශේෂිත සහ ඓතිහාසික ගමන් මග පිළිබඳව කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර 210 යේ සංවත්සරික වැඩසටහන් ත්‍රිත්වය නිල වශයෙන් එළි දැක්වීම සිදුකෙරිණි.
මෙම මාධ්‍ය හමුව, නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය සහ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති එච්. ඒ.එස්.පී . සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එමෙන්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ෂෙයාරා නිෂාදී මහත්මිය, ආදි ශිෂ්‍ය සංගමයේ නීති උපදේශිකා සහ මෙම ඓතිහාසික සංවත්සරික වැඩසටහන් මාලාවේ ප්‍රධාන සංවිධායිකා නීතිඥ චම්පිකා අලහකෝන් මහත්මිය ඇතුළු එම සංගමයේ උප සභාපති නේපාලි මිරැන්ඩෝ , භාණ්ඩාගාරිකා ශ්‍රීමා ප්‍රනාන්දු සහ අදි ශිෂ්‍ය සංගමයේ මධ්‍ය ලේකම් සන්හා සියව්ඩීන් යන මහත්මීන්ද මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූහ.
ඒ අනුව වර්ෂ 210 වැනි සංවත්සරය වෙනුවෙන් නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයේදී එළඹෙන , ජුනි 30, ජූලි 31 සහ සැප්තැම්බර් 12 යන තෙදිනේ විශේෂ වැඩසටහන් ත්‍රීත්වයක් සංවිධානය කර තිබේ. ඒ අනුව ජුනි මස 30 වැනි දින ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා නායක ගරු කිංස්ලි වීරසිංහ දේවගැති තුමන්ගේ ප්‍රධානත්වයෙන්, එදින පෙරවරුවේ නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය ආරම්භ කිරීමටත්, එහි සංවර්ධනයටත් උරදුන් ආදී ගරු දේව ගැතිවරුන් සහ ප්‍රභූන් සිහිකිරීම පිණිස පවත්වනු ලබන ” අ ලෙගසී ඔෆ් ෆෙයිත් ඇන්ඩ් ග්‍රේස් ” ( A Legacy of Faith and Grace ) හෙවත් ඇදහිල්ලේ සහ දේවප්‍රසාදීය උරුමයන් සනිටුහන් කිරීමේ ආශිර්වාදාත්මක දේව මෙහෙය මෙම විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එලෙසම විද්‍යාලීය 210 වැනි සංවත්සරය නිල වශයෙන් සමරනු ලබන දිනය හෙවත් ජූලි මස 31 වැනි දින විද්‍යාලය තුළ චාම් සංවත්සරික සැමරුම් වැඩසටහනක් පැවැත්වෙන අතර එදින එම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් විද්‍යාලය වෙත ඓතිහාසිකමය වශයෙන් වැදගත් වන සහ සදා මතකයේ රැඳෙන ප්‍රදානයක් ලෙස පාසලට අවැසිව ඇති විශාල ප්‍රමාණයේ සීනුවක් සහ එම සීනුව ස්ථාපිත වන අලංකාරවත් සීනු කුලූනක්ද විවෘත කිරීමට නියමිතව ඇත.
එමෙන්ම මෙම සංවත්සරික වැඩසටහනේ අවසන් දිනය වන සැප්තැම්බර් 12 වැනිදා මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ 210 වැනි සංවත්සරික සැමරුම් පා ගමන හෙවත්
” නිවුස්ටෙඩ් වෝක් – 2026 ” (NEWSTEAD WOLK 2026) පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවතී. තූර්යවාදක කණ්ඩායම් පෙරටුකොට ගනිමින් ගරු විදුහල්පතිනිය, ගුරු භවතුන් ,සිසු දැරියන් සහ ආදි සිසුවියන් ඇතුළු විද්‍යාලීය සුභ පතන්නන් ද මෙම සංවත්සරික පා ගමන සඳහා සහභාගි වීමට නියමිතව ඇත. එලෙසම පෞරාණික වටිනාකමක් සහිත සහ නවීකරණය කල සිත් ඇදගන්නා සුළු මෝටර් රථවලින් සවන්විත ආකර්ෂණීය මෝටර් රථ රැලියක්ද මෙම පා ගමනට එක් කර ඇත. ඒ අනුව එදින එනම් සැප්තැම්බර් 12 වැනි සෙනසුරාදා දින උදැසන 8.00 ට මීගමුව කොටුව පිට්ටනිය පරිශ්‍රයෙන් ආරම්භ වන මෙම සංවත්සරික පා ගමන තෙල්වත්ත හන්දිය, කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගය ඔස්සේ කොප්පරා හන්දියට පැමිණ මහා වීදිය ඔස්සේ මිගමුව ශාන්ත මරියා දේවස්ථානය පසුකොට නිවුස්ටඩ් බාලිකා විද්‍යාල පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුව මෙම සංවත්සරික පා ගමන අවසන් වේ.
ඉන්පසු එදින සවස විද්‍යාලීය භූමියේදී
නැදිමාල් පෙරේරා සහ ෆැලන් ඇන්ඩ්‍රියා ඇතුළු ජනප්‍රිය ගායන ශිල්පීන් සහභාගි වන ” ට්‍රොපික් කැන්ඩි ” සංගීත කණ්ඩායමේ සුමියුරු සංගීතයෙන් හැඩවෙන ” ද නිවුස්ටඩ් පල්ස් ෆ්‍රොම් වෝක් ටු වේව් ” ( THE NEWSTEAD PULSE FROM WSLK TO WAVE ) සංගීත ප්‍රසංගය පැවැත්වේ.

මෙම මාධ්‍ය හමුවේදී මෙම සංවත්සරික පා ගමන සඳහාම නිර්මාණය කල නිල ටී ෂර්ටඩය සහ සංවත්සරික සැමරුම වෙනුවෙන් නිර්මාණය කර ඇති සැමරුම් සිහිවටන ( commemorative souvenirs ) එලිදැක්විම හා ඒවා විද්‍යාලයේ ජේෂ්ඨතම ආදි සිසුවියන් වෙත පිරිනැමීමද වර්තමාන විදුහල්පතිනි එච්.ඒ
එස්.පී. සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උප විදුහල්පතිනි දිල්හානි මහත්මිය ඇතුළු ගුරු භවතුන් පිරිසක් සහ, විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවන් පිරිසක්ද, එලෙසම විද්‍යාලීය ප්‍රගමනය වෙනුවෙන් සුභ පතන්නන් රැසක් ද සහභාගි වී සිටියහ.

මෙලෙසින් මේ වසරේදී ඓතිහාසිකමය වශයෙන් වැදගත් 210 වැනි අභිමානවත් සංවත්සරය සමරන නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ ආරම්භය සනිටුහන් වන්නේ වර්ෂ 1815 දී ය. එම වසරේ මෙතෝදිස්ත මිෂනාරි සමාගම මගින් , ඉරුදින දහම් පාසලක් ආරම්භ කළ අතර, ඉන් වසරකට පසුව එනම් වර්ෂ 1816 දී එම ඉරුදින දහම් පාසල, දිනපතා පාසැලක් බවට පත්විය. එහි මුල් ගුරුභවතා ලෙස ගරු දොන් දානියෙල් දේවගැතිතුමා කටයුතු කළේය ඉන් අනතුරුව තවත් වසරකට පසු එනම් 1817 දී ගරු රොබට් නිවුස්ටෙඩ් දේව ගැතිතුමා, එවකට මෙරට භාවිතා කළ මුදල් ඒකකයක් වන රික්ස් ඩොලර් 1500 ක් වැය කරමින් දැනට පවතින මිෂන් නිවාසය සහ පාසල් භූමිය මිලදී ගත් අතර වර්ෂ 1933 දී කලින් පැවති පොල් අතු පන්ති කාමර වෙනුවට නව ගොඩනැගිලි කිහිපයක් ඉදිකරන ලදී. ඉන් පසුව මෙම පාසල පියවරෙන් පියවර සංවර්ධනය කරා ගමන් කළ අතර වර්ෂ 1942 වන විට විශේෂයෙන්ම විද්‍යාලයේ වර්තමාන නාමයද , නිල ඇඳුම, පාසල් ලාංඡනය, පාසල් කමිටුව සහ විෂය මාලාව ඇතුළු උසස් බාලිකා පාසලකට අවශ්‍ය ගුණාංග සපුරා ගත හැකි විය.

එලෙසම වර්ෂ 1962 දී ක්‍රියාත්මක වූ පාසල් රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළ අනුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයද රජයට පවරා ගැනිණි. එලෙසම වර්ෂ 1989 දී මෙම බාලිකා විද්‍යාලයට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ජාතික පාසල බවට පත්වීමේ භාග්‍යයද උදාවිය.

2004 වසරේ සුනාමි ව්‍යවසනයෙන් රටම ඇලී ගිය කාලවකවානුවේ මෙම පාසල යථා තත්ත්වයට ගෙන ඒමට එවක සිටි විදුහල්පතිනිය වූ බී.එම්. වීරසූරිය මහත්මියට හැකි විය. අද වන විට , අංග සම්පූර්ණ ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනයට මෙන්ම පාසැලේ ඉගෙනුම ලබන සිසු දැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සහ දක්ෂතා නන්වාලීමටද අවශ්‍ය නවීන සියලු පහසුකම් වලින් සපිරි මෙරට ප්‍රමුඛ පෙලේ බාලිකා පාසැලක් ලෙස නිවුස්ටෙඩ් බාලිකා පාසල නම් කළ හැකිය. මේ වන විට සිංහල ,දමිළ මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ට අයත් සහ , බෞද්ධ කතෝලික, මෙතෝදිස්ත , ඉස්ලාමීය සහ හින්දු යනාදී විවිධ ආගම් අදහන 3000 ක් පමන වන සිසු දැරියන් සිප් සතර හදාරණ මෙම පාසල තුළ ගුරුභවතුන් 150 දෙනෙකු පමන මේ වන විට සේවයේ යෙදී සිටී.
අභිමානවත් වසර 210 ක් පුරාවට දහස් ගණනක් දියණිවරුන්ට දැනුමේ ආලෝකය ලබා දෙමින් සමාජයට වැඩදායි, ගුණගරුක සහ යහපත් කාන්තා පුරවැසියන් දායාද කළ මීගමුව, නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලය තම අභිමානවත් උරුමය සහ සාර්ථකත්වය ඉදිරියටත් රැගෙන යමින් සිටි..

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here