.ලෝක ශූර රුමේෂ් තරංගට හා ඔහුගේ පුහුණුකරු,මීගසුවේ ටෝනි ප්‍රසන්න ට ගුවන්තොටේදී උණුසුම් පිළිගැනීමක්..

0
63

 

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ගෞරවයක් හිමිකර දෙමින්, රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කමක් දිනාගත්, අපේ රටේ හෙල්ල විසි කිරීමේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සහ ඔහුගේ මෙම අති විශිෂ්ට ජයග්‍රහණයන් සඳහා මග පෙන්වූ, විශිෂ්ට පුහුණුකරු මීගමුව පුරවරයේ ටෝනි ප්‍රසන්න මහතා පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ. ශ්‍රී ලාංකීය ධජය ජාත්‍යන්තරය තුළ ඉහළින්ම රඳවමින් මෙරටට පැමිණි ඔවුන් දෙදෙනාට, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය එක්ව උණුසුම් සහ අභිමානවත් පිළිගැනීමක් සංවිධානය කර තිබුණි.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම් දර්ශන වරගොඩ මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්, මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සහ සමීපතමයන් ඇතුළු විශාල පිරිසක් මෙම ඓතිහාසික මොහොතට එක්ව සිටියහ.

2003 වසරේ මාර්තු මස 21 දින කළුතර ප්‍රදේශයේ උපත ලැබූ රුමේෂ් තරංග පතිරගේ, හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි, පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකු වන තුෂාර ප්‍රේමකීර්ති පතිරගේ මහතාගේ එම මහත්මියගේ වැඩිමහල් දරුවාය. හොරණ ශ්‍රී පාලී විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් වූ ඔහු, 2017 වසරේදී තම ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරමින්, ඔහුට මෙරට ජ්‍යෙෂ්ඨතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන මීගමුවේ ටෝනි ප්‍රසන්න මහතා හමුවිය. කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් තම ක්‍රීඩා දිවිය ආරම්භ කළ රුමේෂ්, පුහුණුකරුගේ මඟපෙන්වීමෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට යොමු විය. මෙම නිර්භීත තීරණය, ඔහුගේ ක්‍රීඩා දිවියේ දිශානතිය පමණක් නොව, ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා වංශ කතාවේ නව පරිච්ඡේදයක් ද සනිටුහන් කළේය.

රුමේෂ්, පසුගිය දින කිහිපය තුළ ලොවම මවිතයට පත් කළ දස්කම් පෑවේය. මොරොක්කෝවේ රබාර්ට් හි පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කම ජය ගත් ඔහු, ඉතාලියේ රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර 92.62ක දක්ෂතාවයක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමඟින් රන් පදක්කමක් දිනා ගත්තේය. එපමණක් නොව, චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 86.57ක දක්ෂතාවයක් දක්වමින් තවත් රන් පදක්කමක් සිය රටට ගෙන ඒමට ඔහු සමත් විය. මෙම දස්කම් හේතුවෙන්, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වත්මන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට රුමේෂ් සමත් විය. එය මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලාංකිකයකු පැමිණි ඉහළම ස්ථානයයි.

දින 20ක කාලයක් තුළ ලොව ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලි කිහිපයකදී ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම ඔසවා තැබූ රුමේෂ්, කටාර් රාජ්‍යයේ දෝහා හිදී පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 07 වන අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වටද තරග වැදුනේය. ලෝක හෙල්ල විසි කිරීමේ ශූරයෙකු වු ,ග්‍රෙනිඩාවේ, ඇන්ඩර්සන් පීටර්ස්, ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉන්දියාවේ නීරාජ් චොප්රා වැනි සුපිරි ක්‍රීඩකයන් අතරින්, මීටර 88.68ක විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් සමත් විය. ඔහුගේ මෙම අතිවිශිෂ්ට දක්ෂතා ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ පවා ඉහළ ඇගයීමකට ලක් විය.

රුමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරු වු මීගමුවේ ටෝනි ප්‍රසන්න මහතාගේ මෙම ජයග්‍රාහී ගමන, අපේ රටේ ක්‍රීඩා ඉතිහාසයේ සදා අනුස්මරණීය පරිච්ඡේදයක් සනිටුහන් කරයි. ඔවුන් දෙදෙනාගේ කැපවීම, නොපසුබට උත්සාහය සහ දක්ෂතාවය, මළල ක්‍රීඩාවේ නිරත වන මෙරට අනාගත පරපුරට මහත් ආදර්ශයක් වනු නොඅනුමානය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

ඡායාරූප .-.
ටී.ජී.කේ. කපිල
( කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ සිට)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here