තායිලන්තයේ , බැංකොක් සිට මෙරටට කුෂ් හා හෑෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී සිටින චීවරධාරීන් 23 දෙනා එළැඹෙන මැයි 26 දා (23/05/2026) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය විසින් අද දින (12/05/2026) නියෝග කළාය.
ඒ එම චිවරධාරීන් පිරිස මීගමුව බන්ධනාගාරය මගින් , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේදී ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
තායිලන්තයේ සංචාරයක යෙදුනු චීවරධාරීන් 22 නෙකු පසුගිය අප්‍රෙල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ක් සඟවා තිබියදී, ඒවා හමුවීමත් සමඟය.
ඒ අනුව එම චීවරධාරීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අගුණකොලේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.
ඒ අනුව අඟුනකොළේ අමිතාන්නද නම් චීවරධාරියාද පසුව ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන මින් පෙර අවස්ථාව වලදීද මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ඊට ආධාර අනුබලදුන් ” මහමුද් මොහොමඩ්” නැමැති පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයේදී ඉකුත් මැයි 08 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් මැයි 09 දින ඉදිරිපත් කර ඇති අතර එළැඹෙන 14 වැනිදා (14/05/2026) දක්වා ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන ලෙසද මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකාර චීවරධාරීන් පිරිස දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර බන්ධනාගාර නිලධාරීන් විසින් මෙහි ප්‍රධාන සැකකාර අඟනකොලේ අමිතානන්ද නම් චීවරධාරියා සහ සෙසු චීවරධාරීන් 22 දෙනා අද දින (12/05/2026) පෙරවරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය හමුවේ මෙම නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් කිසිවෙක් අධිකරණ ශාලාවට පැමිණ සිටියේ නැත. එහිදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් එම නිලධාරීන් පැමිණෙන තුරු එම නීති කෘත්‍ය ආරම්භ කිරීම සිව් වාරයක් කල් කැබීය. එහිදි වෙනත් නඩු සඳහා පැමිණ සිටි මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිලධාරීන්ට කියා සිටියේ මෙම නඩුව සඳහා පැමිණෙන නිලධාරීන් ප්‍රමාද වීමට හේතුව සොයා බලන ලෙසයි. එහිදී එම නිලධාරීන් සඳහන් කලේ අදාළ නිලධාරීන් තවමත් අධිකරණයට පැමිනෙමින් සිටින බවයි. ඒ අනුව අද දින වේලාව පෙරවරු 11.30 වන තුරු අදාළ නිලධාරීන් අධිකරණයට නොපැමිණි නිසා නඩු විභාගය ආරම්භ කිරීමට, මීගමුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම සිදුවීමට අදාලව නඩු 22 ක් ඇති බැවින් පලමු නඩුව ආරම්භ කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය නියෝග කලේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිල්වා මහතා, උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා , කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මහත්මිය යන අය එළඹෙන මැයි 26 වෙනිදා (26/05/2026) වැනිදා අධිකරණයට පැමිණ විවෘත අධිකරණයේදී මෙලෙස නොපැමිණීමට හේතුව දැක්විය යුතු බවයි. කේසේ වෙතත් එම නියෝග ලබා දුන් අවස්ථාවේ කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මහත්මිය අධිකරණයට පැමිනියාය. එහිදී මිගමුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් විමසා සිටියේ
” දැන් වේලාව කියද ? ” යැයි කියාය. ඊට පිලිතුරු දෙමින් උප පොලිස් පරීක්ෂක ලක්මාලි මහත්මිය සඳහන් කලේ 11.45 යැයි කියාය. එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ අධිකරණ කටයුතු පෙරවරු 9.00ට පටන් ගන්නා බැවින් මෙසේ ප්‍රමාද වීම අධිකරණය හැල්ලුවට ලක් කිරිමක් බවයි,
” මේක සාමාන්‍ය නඩුවක් නෙවෙයි, ඔයලා එනකන් අධිකරණයට බලන් ඉන්න බැහැ. මෙි නඩුව වෙනස් සංවේදී නඩුවක්, මේ නඩුවේ විත්තිකරුවන් දෙස බලන්න. ඒ සාමාන්‍ය අය නෙවෙයි, භික්ෂුන් වහන්සේලා. මං සියලුම නිලධාරීන්ට තරයේ අවවාද කරනවා, සියලුම දෙනා ඉදිරි දිනයේ අධිකරණයට පැමිණ හේතු දැක්විය යුතුයි මේ සම්බන්ධයෙන් ”
යැයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී වැඩි දුරටත් සඳහන් කළාය. එලෙසම එහිදී කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මහත්මිය මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
“ස්වාමිනි, මේ සියලුම ස්වාමින් වහන්සේලාව එකතු කරලා තියෙන්නේ පූජ්‍ය අගුණුකොළ අමිතානන්ද හිමි විසින් මෙහෙයවා තිබෙන වට්ස් ඇප් සමුහයක් ( Whatsapp Group): හරහායි. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මේ සියලුම දෙනාගේ ජංගම දුරකථන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ එම ගමන්මලු රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා. තායිලන්තයේදි “”ධම්මා”” නමින් හැදින්වුණු බේල්පිටියේ ධම්මරක්කිත නැමැති පැවිදි නමක් මේ ස්වාමින් වහන්සේලා රැගෙන ගිහින් නවාතැන් පහසුකම් සඳහා ඊට අවශ්‍ය හෝටල් සපයා තිබෙනවා. මේ හාමුදුරුවරු තායිලන්තයේ දි සිවිල් ඇඳුමින් සැරසි සාප්පු සවාරියේ යෙදිලා තියනවා. ඒ වගේම මේ හාමුදුරුවන් සම්බන්ධයෙන් කළ මත්ද්‍රව්‍ය පරික්ෂනයේදි හාමුදුරුවෝ 22 දෙනා ගෙන් 21දෙනෙකුම එම මත්ද්‍රව්‍ය පරික්ෂණය සමත් වෙලා තියනවා. ඒ අනුව ඔවුන් “”කැනපීස”” නැමති මත්ද්‍රව්‍ය ( ගංජා සහ කුෂ් ) ශරිර ගතව ඇති බව එම වාර්තා වල දැක්වෙනවා. අප්‍රෙල් 25 වැනිදා මේ ස්වාමින් වහන්සේලා යළි දිවයිනට එද්දි රැගෙන එන්න මත්ද්‍රව්‍ය සහිත ගමන්මලු රැගෙන යාමට පැමිණිමට සුදානමව සිටි පුද්ගලයන් දෙදෙනෙකු හඳුනා ගත්තා. ඉන් එක් පුද්ගලයෙකු එනම් “”මහමුද් මෙහොමඩ්”” නැමැත්තා 08 වැනිදා අත්අඩංගුවට ගත්තා, 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරා, 14 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන තියෙනවා, ඒ පුද්ගලයා මෙම නඩුවේ 06 වන සැකකරු ලෙස නම් කිරිමට අවසර ඉල්ලනවා, එමෙන්ම අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින “”මොහොමඩ් මුසිම් අබ්දුල්ලා”” නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ පුද්ගලයා මේ නඩුවේ 07 වන සැකකරු ලෙස නම් කිරිමටත්, පුජ්‍ය රනාලේ ඥානසීල හිමි 08 වන සැකකරු ලෙස නම් කිරීමටත් අවසර ඉල්ලා සිටිනවා.
චන්ද්‍රකුමාර නැමැති පුද්ගලයා මේ අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් ඉදිරි දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට නියෝග කරන ලෙසද ඉල්ලා සිටිනවා.”
මෙහිදී සැකකාර ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් කියා සිටියේ සිය සේවාදායකයන්ට එරෙහිව වෙන් වෙන්ව සාක්ෂි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත්, නඩු භාණ්ඩ ලෙස අම්තානන්ද හිමිට ඉදිරිපත් කිරීමට කිසිවක් නැති හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. එමෙන්ම ඔවුන්ගේ ජංගම දුරකථනය වල තිබු පුද්ගලික ඡායාරූප මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය වෙත මුදා හැරිම සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇති බව සඳහන් කලේය. එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය නිලධාරීන්ගේ න් විමසා සිටියේ අදාල තොරතුරු මාධ්‍ය වෙත ලබා දුන්නාද යන්නයි. ඊට පිලිතුරු දෙමින් නිලධාරීන් සඳහන් කලේ මේ වන විට එම ජංගම දුරකථන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලන බවයි.
ඒ අනුව එම තිදෙනා වෙන් වෙන් වශයෙන් පවරා ඇති නඩු 22 කට අදාළ සැකකරුවන් 8 දෙනෙකු ලෙස නම් කෙරිණි .
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය එළැඹෙන මැයි මස 26 වැනි දින (26/05/2026) දක්වා මෙම චීවරධාරින්ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. එමෙන්ම අඹගස්මුල්ලේ පුන්‍යරතනට සහ බෙල්පිටියේ ධම්මරක්කිත යන හිමිවරුන් දෙදෙනාට ගුවන් ගමන් තහනමක් පනවනු ලැබීය. දැනට රැඳවුම් නියෝග ලබා සිටින මහමුද් මොහොමඩ් නැමති විත්තිකරුද එළඹෙන 14 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, ලබන 26 වැනිදා චන්ද්‍රකුමාර නැමැත්තා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත් බන්ධනාගාර අධිකාරිවරයාටද එහිදී නියෝගයක් නිකුත් කලාය.
ඒ අනුව …….
01.මාලිගාවිල ස්වර්ණාලොක හිමි.
02.ගල්වත්තේ සුනන්ද හිමි.
03.මාදලේ රාහුල හිමි
04.ඇතිමලේ සුභෝධාලංකාර හිමි
05.දම්මල ගුණානන්ද හිමි
06.පන්නල අමරබුද්ධි හිමි
07.මාරඹ ජෝති රතන හිමි
08.හදගනාවේ නන්දරතන හිමි
09.දෙමටනාවේ මහානාමතිලක හිමි
10.පොතුපිටියේ සමිත හිමි
11.මහවඩුගේ සද්ධානන්ද හිමි
12.නිකපොත සුමනරක්ඛිත හිමි
13.වාහල්කඩ අරියරක්ඛිත හිමි
14. රණාලේ ඤාණතුසිත හිමි
15.හිදිගහවත්තේ සීලරතන හිමි
16.නුගගොල්ලේ පවරසිරි හිමි
17.ලුණුගම්වෙහෙරේ වේළුසුමන හිමි
18.ගොඩකුඹුරේ පඤ්ඤාදේව හිමි
19.සියඹලාපේ අමිතරංසි හිමි
20.අකුරැස්සේ ජිනරතන හිමි
21.රිදීඇල සුමනරතන හිම්
22.බුල්ගල්ලේ ජිනානන්ද හිමි. 23. අගුණකොලේ අමිතානන්ද හිමි …..
යන චීවරධාරීන් 23 දෙනා ලබන 26 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඡයාරූප .-.
අකිලා නදීෂානි බණ්ඩාර











