මේ මෙවර ලෝක කුසලානය සැබවින්ම ගෝල රකින්නන්ගේ තරගාවලියක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටමක සිටින රටවල ගෝල රකින්නන්ගේ දක්ෂතා හමුවේ ලෝකයම මවිතයට පත්විය. කුරසාවෝ දේශයේ හා කේප් වර්ඩ් රාජ්‍යයේ දැල් රකින්නාගේ දක්ෂතා අපි පහුගිය ටිකේ දුටුවා. අද දිනයේදීද එවැනිම වූ විශිෂ්ට ගණයේ දක්ෂතාවක් ඉරානය හා බෙල්ජියම අතර තරඟයේදී ඉරානයේ අලි රේසා බෙයිරන්වන්ඩ්ගෙන් අපි දුටුවෙමු. පර්සියාවේ ප්‍රාකාරය ලෙස විරුදාවලි ලත් හෙතෙම මේ වන විට පාපන්දු ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති චරිතයකි.
අලි රේසා බෙයිරන්වන්ඩ්ගේ මෙම ගමන හුදෙක් ක්‍රීඩා කෞශල්‍යයකට පමණක් සීමා නොවන්නකි. එය දරිද්‍රතාවයේ සිට ලෝක පූජිත මට්ටම දක්වා පැමිණි අතිශය දුෂ්කර ජීවන අරගලයක කතාවකි. ඉරානයේ ලොරෙස්තාන් පළාතේ කුර්දි වාර්ගික එඬේර පවුලක උපත ලැබූ අලි රේසා කුඩා කල සිටම සිය පවුලේ බැටළුවන් රැකබලා ගනිමින් දින ගෙවීය. පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ ඔහු මුලින්ම ක්‍රීඩා කළේ ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු ලෙස වුවද, තම කණ්ඩායමේ ගෝල රකින්නා ආබාධයකට ලක්වූ අවස්ථාවේදී ඔහු ගත් තීරණය ඔහුගේ ජීවිතය වෙනස් කළේය. එතැන් පටන් ඔහු ගෝල රකින්නෙකු ලෙස විශිෂ්ට දක්ෂතා පෙන්වීමට සමත් විය. කෙසේ වෙතත් ඔහුගේ පියාට අවශ්‍ය වූයේ පුත්‍රයා බැටළුවන් රැකබලා ගනිමින් සිය පවුලේ වෘත්තියේ නියැලෙනු දැකීමටය. පියා විසින් බෙයිරන්වන්ඩ්ගේ පාපන්දු ඇඳුම් පවා ඉරා දමන ලද අවස්ථාවන් තිබිණි. නමුත් තම සිහිනය වෙනුවෙන් කැපවූ ඔහු වයස අවුරුදු දොළහේදී නිවසින් පලා ගොස් ටෙහෙරාන් නුවරට පැමිණියේය.
ටෙහෙරාන් නුවරදී ඔහු මුහුණ දුන් අත්දැකීම් අතිශය කටුකය. කිසිදු නවාතැනක් නොමැතිව වීථිවල නිදා ගැනීමට ඔහුට සිදුවිය. ජීවිකාව ගැටගසා ගැනීමට ඇඳුම් මහන කර්මාන්තශාලාවක වැඩ කිරීමටත්, මෝටර් රථ සේදීමටත්, පීසා අලෙවි සැලක වැඩ කිරීමටත්, වීදි අතුගාන්නෙකු ලෙස පවා සේවය කිරීමටත් ඔහුට සිදුවිය. කෙසේ වෙතත්, ඔහුගේ දෛවය වෙනස් වූයේ දක්ෂතා හඳුනාගත් පුහුණුකරුවෙකු ඔහුට නොමිලේ පුහුණුවීම් සඳහා අවස්ථාව ලබා දීමත් සමඟය. ඒ අනුව 2011 වසරේදී ඔහු නාෆ්ට්-ඊ-ටෙහෙරාන් කණ්ඩායම හා එක්වූ අතර එතැන් සිට ඉරානයේ ප්‍රධාන පෙළේ ගෝල රකින්නා බවට පත්විය. ඉන් අනතුරුව පර්සෙපොලිස් කණ්ඩායම නියෝජනය කරමින් දේශීය ලීග් ශූරතා රැසක් දිනාගත් ඔහු බෙල්ජියමේ රෝයල් ඇන්ට්වර්ප් සහ පෘතුගාලයේ බොආවිස්ටා යන කණ්ඩායම් හරහා ජාත්‍යන්තර පාපන්දු පිටියේද සිය දක්ෂතා විදහා දැක්වීය.
ජාත්‍යන්තර තලයේදී ඔහු තබන ලද සලකුණු අතිමහත්ය. 2018 ලෝක කුසලානයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ දඬුවම් පහරක් සාර්ථකව වළක්වා ගැනීමට ඔහු සමත් වූ අතර, 2026 ලෝක කුසලානයේදී බෙල්ජියමට එරෙහිව ලබාදුන් දක්ෂතා ඔහුගේ වෘත්තීය ජීවිතයේ කූටප්‍රාප්තියක් විය.
ඔහු සතු අතිවිශාලතම හැකියාවක් වන්නේ ලෝක වාර්තාවක් පිහිටුවා ඇති ඔහුගේ පන්දු විසිකිරීමේ දුර ප්‍රමාණයයි. එය මීටර් හැත්තෑ අටකට වඩා වැඩි දුරක් වේ. මෙවන් වූ අභියෝගාත්මක ගමනක් අවසානයේ ඔහු පළමු ඉරාන ක්‍රීඩකයා ලෙස ෆිෆා සම්මාන උළෙලකදී තනි පුද්ගල සම්මානයක් සඳහා නිර්දේශ වීමටද වාසනාව ලැබීය. අලි රේසා බෙයිරන්වන්ඩ් යනු හුදෙක් ගෝල රකින්නෙක් පමණක් නොව, නොපසුබට උත්සාහයේ සහ දෛවය ජය ගැනීමේ සැබෑ සංකේතයකි
Sreen yapa boralessa













