spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යුක්තිය ඉටු නොවුන සත් වසරක්..

Must read

යුද්ධය පැවති සමයේ උතුරු-නැගෙනහිර, රාජ්‍ය ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ අයගේ ඥාතීන් යුක්තිය ඉල්ලා අඛණ්ඩ අරගලයක් ආරම්භ කළ අතර ඒ සදහා වසර හතක් පිරුණු දිනයේදී එම ගැටළුව කෙරෙහි නැවතත් අවධානය ලබා ගැනීමේ අරමුණින් විරෝධතා රැළියක් පවත්වා සාධාරණ කරුණු හයක් සහිත ඉල්ලීම් ලිපියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් වෙත බාර දුනි. තම ඥාතීන් අහිමිවීමේ වේදනාවන් සමඟ අඛණ්ඩව අරගල කරන උතුරු-නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ ව්‍යාපාරයට ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහාය දෙන අතර ඔවුන් ඉල්ලා සිටින සාධාරණ ඉල්ලීම් කඩිනමින් ඉටු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියි.

යුද සමයේදී අතුරුදහන් වූ අය සොයා අරගල කරන ඔවුන්ගේ ඥාතීන්, සන්නද්ධ ගැටුම් අවසන් වීමෙන් පසු 2017 වසරේ සිට අගනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සංවිධානය කරමින් සංක්‍රාන්ති යුක්තිය ඉල්ලා උද්ඝෝෂණ කළහ. විවිධ රෝගාබාධ, මහලු විය,ඥාතී සබඳතා අහිමි වීම නිසා පෙලෙන වේදනාවෙන් මේ වන විට 200කට අධික ඥාතීන් පිරිසක් මිය ගොස් ඇත. ඒවා ස්වභාවික මරණය ලෙස සැළකිය නොහැක. ශ්‍රී ලංකා රජය විසින් යුක්තිය ප්‍රතික්ෂේප කර ඔවුන්ව ඝාතනය කළ බව අපගේ අදහසය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ තත්ත්වය තවදුරටත් පැවතීමට ඉඩ නොතැබිය යුතු බව අපගේ බලවත් ඉල්ලීමයි.

එදිරිවාදිකම් නතර වී වසර 15ක් ගතවී ඇතත්, වින්දිතයන්ට යුක්තිය ඉටු වී නොමැත. දෙමළ ජනතාවට පමණක් නොව උතුරු නැගෙනහිරින් පිටත සිටින යුක්තිය ඉල්ලා මොර ගසන දේශපාලන ක්‍රියාකාරීන්ට ද මේ ප්‍රශ්නයේදී අතුරුදහන් වූවන්ට ඉටුවිය යුතු යුක්තිය ගැන බලාපොරොත්තුවක් නැත. කාලය ප්‍රමාද කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයන් සියලු පාලකයින් දිගින් දිගටම මග හරිමින් සිටිති. මෙය නිමා විය යුතුය.

1956 වසරේ සිට ශ්‍රී ලංකාවේ සිදු වූ විවිධ බරපතල සිදුවීම්වල සත්‍ය අසත්‍ය සොයා ගැනීමටත්, යුක්තිය තහවුරු කිරීමටත්, එවැනි සිදුවීම් යළි ඇති නොවීමටත් කොමිෂන් සභා 36ක් පිහිටුවුවද, එම වාර්තා වසන් කිරීමට පාලකයන් ක්‍රියා කර ඇත. එපමණක් නොව කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කරන්න කිසිම පාලකයෙකුට ධෛර්‍යයක් තිබුණේ ද නැත . එයට හේතුව වූයේ සත්‍ය වසන් කර දේශපාලන වාතාවරණය තමන්ට වාසි වන ලෙස සකස් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වීමය.

එලෙසම යුද්ධය අවසන් වූ පසු අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභා පත් කෙරිණි. ඒ කොමිෂන් සභා සාධාරණ නිර්දේශ ඉදිරිපත් කළත් ඒවා ක්‍රියාත්මක කරන්න පාලකයෝ එඩිතර නොවීය.
ජාත්‍යන්තර ප්‍රජාවගේ ඇසට වැලි ගසා දේශීය යාන්ත්‍රණය යටතේ යුක්තිය තහවුරු කරන බව ප්‍රකාශ කරමින් බොරු කිරීම තවදුරටත් නොකළ යුතුය. පීඩාවට පත් වී ඇති ජනතාව ඊට එකඟ නොවන බව අපි බලවත් ලෙස ප්‍රකාශ කරමු. එබැවින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කර ඇති සාධාරණ ඉල්ලීම් ඉටු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙන මෙම අවස්ථාවේදී ජාත්‍යන්තර මානුෂීය සංවිධානවලින් සහ මානව හිමිකම් සංවිධානවලින් ඊට සහය දක්වන ලෙස අපි ඉල්ලා සිටිමු.

පවතින ආර්ථික තත්ත්වය තුළ ජාත්‍යන්තර මානුෂීය සංවිධාන සහ ශ්‍රී ලංකා පාලකයන් විපතට පත් ජනතාවට ලබාදෙන බව කියන ආධාර තුළින් ඔවුන්ගේ අවශ්‍යතා තාවකාලිකව ඉටු කළ හැකිය. සත්‍යය නම් ඔවුන් අපේක්ෂා කරන යුක්තිය ඒවා දීමෙන් ඉටු කළ නොහැකි බවය. එබැවින් එම තාවකාලික ආධාර දීමෙන් නොනැවතී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර ඇති සාධාරණ ඉල්ලීම් ඉටු කරන ලෙස ජාත්‍යන්තර ආධාර සංවිධාන සහ සුබ පතන්නන් බල කළ යුතු බව

අපි තරයේ ප්‍රකාශ කරමු.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් ශ්‍රී ලංකාවේ පාලකයින් කෙරෙහි විශ්වාසය තැබිය යුතු නැති අතර අතුරුදහන් කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු; යුද අපරාධකරුවන් හඳුනාගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර ජාත්‍යන්තර ප්‍රජාව දෙමළ ජනවාර්ගික සංහාරය දෙස දිගින් දිගටම අක්‍රියව බලා සිටීම එය පිළිගැනීමක් වන බැවින් එය වැළැක්වීම සඳහා ගත යුතු දේශපාලන පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

-ක්‍රිස්තියානී සහයෝගිතා ව්‍යාපාරය-

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article