ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයෙක් හමුවෙයි! – ආගිය තැන් සොයා ගැනේ! (VIDEO)

0
257

Image result for idh hospital

කොරෝනා වෛරස් ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් හමු වූ බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ,විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය.එම කාන්තාව පසුගිය සෙනසුරාදා (ජනවාරි 25) අයිඩීඑච් රෝහලට ඇතුළත් වී තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.ශ්‍රී ලංකාවේදී හමු වූ පළමු කොරෝනා රෝගියා ඇය වේ.

බොහෝ මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි, 43 හැවිරිදි එම කාන්තාව චීනයේ හුබෙයි (Hubei) ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි තැනැත්තියකි.

ඇය සිය සංචාරක කණ්ඩායම සමග යලි චීනය බලා යාමට සුදානම්ව සිටියදී උණ රෝගයට ගොදුරුව ඇති අතර පසුව ඇය අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර ඇත. කෙසේ වුවත් ඇය සමග පැමිණි අනෙක් චීන ජාතිකයින් යලි සිය රට බලාපිටත්ව ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය වැලදී ඇති කාන්තාව සංචාරය කළ ස්ථාන සහ ඇය නවාතැන්ගත් ස්ථාන පිළිබද සියලු විස්තර මේ වන විට සෞඛ්‍ය බලධාරින් සතුව පවතින බවයි.

එම කාන්තාව ගමන් කළ ස්ථාන සහ නවාතැන් ගෙන සිටි ස්ථාන පරික්ෂා කිරීමට සෞඛ්‍ය සේවා බලධාරින් මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් එහි සිටි අනෙක් පුද්ගලයින් දැනුවත් කිරිමද සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එමෙන්ම මෙම කාන්තවගේ රුධිර සාම්පලයක් වැඩිදුර විමර්ශන සඳහා විදෙස් රටකට යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු පැවසිය.

 

අංගොඩ මූලික රෝහලෙහි රෝගීන් නිරෝධායනයට කටයුතු සියල්ල සූදානම් කොට ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළේය.

කොරෝනා වෛරස් වැළඳී ඇතැයි සැකපිට චීන ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුළු රෝගීන් සිව් දෙනෙකු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කොට තිබුණි. අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකික පුරුෂයෙකු සහ කාන්තාවකි.

මීට ඉහතදී වාර්තා වූයේ ඔවුන් සම්බන්ධ කළ මූලික පරීක්ෂණවල දී ඔවුන්ට රෝගය වැළඳී ඇතැයි අනාවරණය නොවූ බවය.

විශේෂඥ වෛද්‍ය උපදෙස්:

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්, මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීරගේ උපදෙසය.

රජයේ නිල පුවත් අඩවිය සමඟ අදහස් දක්වමින් ඒ බව පවසන විශේෂඥ වෛද්‍යවරයා, සාමාන්‍යයෙන් ස්වසන රෝග වළක්වා ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වන්නේ පොදු ස්ථානවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වැළකීම බව ද පෙන්වා දෙයි.

සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන රෝගීන් සමාජයේ ගැවසීමෙන් වැළකී සිටීම, නිතරම දෑස් සබන් යොදා සේදීම, ජීවානුහරණය කරන ලද ආලේපනයන් භාවිතය මෙන් ම කැස්ස, කිවිසුම් යන විට නාසය වසා ගැනීම සහ පිරිසිදු අත්පිස්නා, ලේන්සු වැනි දේ භාවිතා කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර පවසයි.

චීනයේ සිට ශ්‍රී ලංකාවට ලඟා වූ පුද්ගලයන් නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්විය යුතු අතර, සිය ශරීරයේ උෂ්ණත්වය ගැන විමසිල්ලෙන් සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. අඩුම තරමින් දින 20ක්වත් මුහුණු ආවරණ පළඳින මෙන් ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

චීනයේ සිසුන් 50ක් දිවයිනට

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු ඊයේ සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය.

මෙයින් පළමු ගුවන් යානය සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි එම්.යූ.- 713 දරන ගුවන් යානයයි.  අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම්.යූ.- 231 දරණ ගුවන් යානයයි.

මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වේ. මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් , ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය ගුවන් තොටුපලේ හදිසි නිරීක්ෂණක;

Pavithra wanni

මේ අතර, චීනයේ සිට පැමිණෙන මගීන් පරීක්ෂාවට ලක් කිරීම පහසුවනු පිණිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ වෙනම පර්යන්තයක් සකස් කොට තිබේ.

text 28 2සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් කොරෝනා වෛරසය රට තුලට ඇතුලුවීම සහ පාලනය සදහා ගෙන ඇති පියවර සොයා බැලීම සදහා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවුවාය.

මෙහිදී ගුවන්තොටුපලේ සවිකොට ඇති ශරීර උෂ්ණත්වය උපයෝගි කරගෙන ආසාදිතයින් හදුනාගැනීමේ යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය, මගීන් පරීක්ෂාවට ලක්කරන ආකාරය සහ ගුවන් තොටුපල සෞඛ්‍ය අංශ ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්විය.

නිරික්ෂණ චාරිකාවන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.

“ගුවන් මගීන් ලංකාවට පැමිණෙන විට ඔවුන් පරීක්ෂා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ගුවන්තොටුපල අධිකාරියත් ගත් ක්‍රීයා මාර්ග පිළිබද සොයා බැලීමටත්, මින් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සොයා බැලීමටත් තමයි අද අපි මෙතනට පැමිණියේ.

ලංකාවට පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම ඔවුන්ගේ ශරීරයේ තිබෙන උෂ්ණත්වය අනුව කොරෝනා වෛරසය වැළැදී ඇත්ද යන්න සොයාබැලිම සදහා වන නවීන උපකරණ  මේ වන විට මුළු ගුවන් තොටුපලේම ස්ථාන ගත කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපල අධිකාරියට අපි ස්තූතිවන්ත වෙනවා. ඒ අනුව අපි ආසාධිතයින් හදුනාගෙන අපි යොදවා ඇති ගිලන් රථ මගින් අදාල රෝහල්වෙත සහ අයි.ඩි.එච් උණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන් පසුව මෙම රෝගීන් වෙනමම රදවා අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ගුවන් මගීන් එලෙස නවීන උපකරණ ඔස්සේ පරීක්ෂාවකට ලක්වනවාට අමතරව වෛද්‍ය කාර්ය මණ්ඩල ද යොදවා තිබෙනවා.

චීනයෙන් පැමිණෙන ගුවන් මගීන් සදහා වෙනමම ස්ථානයක්:

විශේෂයෙන් චීනයෙන් පැමිණෙන ගුවන් මගීන් සදහා වෙනමම ස්ථානයක් වෙන් කරලා තිබෙනවා. ඔවුන් සාමාන්‍ය මගීන් සමග නොවෙයි ගුවන් තොටුපලට ඇතුලු වන්නේ. ඒ සදහා වෙනම දොරටු සහ මාර්ග සකස් කර තිබෙනවා.

මෙහිදී තනි තනි පුද්ගලයාව පරීක්ෂාවට ලක් කරමින්, වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් කරමින් අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදාවා ගනිමින් එම කටයුතු ද සිදු කරනවා. වෛද්‍ය සංගමයත් මේ අවස්ථාවේදී අපට වෛද්‍යවරු සපයා දීමට එකගතාවය පළ කර තිබෙනවා.

එම නිසා ලංකාවට පැමිණෙන අයගේ යම්කිසි උණ තත්ත්වයක්, උෂ්ණත්වයක් තිබෙනවා නම් ගුවන් තොටුපලේදීම හදුනා ගැනීමටත් එයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමටත් අවශ්‍ය කාර්ය මණ්ඩලත්, අවශ්‍ය පරීක්ෂණ කටයුතුත් ගුවන්තොටුපලේ සකස් කර තිබෙන බව දැනුම් දෙන්න ඕනි.

text 28 3

චීන ජාතිකයින්ට විසා ලබාදීමේ ක්‍රමයේ වෙනසක් !

“චීන ජාතිකයින් ලංකාවට පැමිණියාට පසු ඔවුන්ට විසා ලබාදීම තමයි සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ. මේ තත්ත්වය පිළිබද අද ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් සාකච්ඡාවකට ලක් කළා. එහිදි ආගමන විගමන පාලක තුමා අප සමග සාකච්ඡා කළා.

ඒ අනුව ජනාධිපතිතුමාට මා නැවැත කථා කර උපදෙස් ලබාගත්තා. ඒ අනුව මෙතනනින් එහාට ලංකාවට චීන ජාතිකයින් පැමිණීමේ දී ලංකාවට ආවට පසු ගුවන්කොටුපලේ දී වීසා ලබාදීමක් සිදු වෙන්නේ නැහැ. ඔවුන් චීනයේ දී ලංකාවට වීසා ඉල්ලුම් කළ යුතුයි.

ඒ අනුව ඒ වීසා ඉල්ලුම් පත්‍රය ඔවුන් පැමිණෙන ප්‍රාන්තය සහ ආදාල කාරණ නිරීක්ෂණය කර තමයි ලංකාව ඔවුන්ට වීසා නිකුත් කරන්නේ.” යනුවෙන් ඇමතිවරිය වැඩිදුරටත් පැවැසීය.
ඔබටත් ආසාදනය වී ඇත්දැයි සොයා ගන්නේ කෙසේද?

(මුලාශ්‍රය – බීබීසී සිංහල සේවය)
උපුටා ගැනිම – theleader.lk