‘කොරෝනා වෛරසයෙන් බේරෙන්න මුඛවාඩම් දාන්න කියල සෞඛ්‍ය අමාත්‍යංශය මුලින් කිව්වා. අපි වැඩි ගාණක් දීලා අමාරුවෙන් පවුලටම ඒවා ගත්තේ. දැන් කියනවා ඕනේ නෑ කියලා. සල්ලිත් අපරාදේ. අපිට හිතාගන්න බෑ දැන් මොනවා කරන්නද කියලා.”ඉහත දැක්වෙන්නේ චීනයෙන් ඔබ්බට පැතිර යමින් පවතින කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන කාන්තාවක් බීබීසී සිංහල සේවය වෙත පළ කළ අදහසකි.

මුහුණු ආවරණ පැළදිය යුතුද? නැද්ද? යන්න පිළිබඳ නිවැරදි වැටහීමක් නොමැති තවත් සැලකිය යුතු පිරිසක් සිටින බව ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අදහස් සහ මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී පෙනී යයි.

නව කොරෝනා වෛරසය (2019-nCoV) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා වඩාත් සුදුසු පියවර ලෙස මුහුණු ආවරණ පැළඳීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පළමුව පෙන්වා දෙනු ලැබුණු නමුත් මේ වනවිට එය දෑත් පිරිසිදුව තබා ගැනීම දක්වා වෙනස් වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මග තොටදී මුහුණු ආවරණ පැළඳීමට තරම් අවශ්‍යතාවක් නොමැති බව ද දැන් සෞඛ්‍ය බලධාරීහු පවසති. මේවන විට වෙළඳ පොළ තුළ මුහුණු ආවරණවල හිඟයක් දක්නට ලැබෙන අතර ඒවායේ මිළ පාලනයට මැදිහත් වන්නට ද රජයට සිදුවිය.

unnamed

”මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසුයි”

ශ්‍රී ලංකා රජයේ නිල පුවත් ඇතුළත් News.lk ෆේස්බුක් ගිණුමේ ජනවාරි 27 වෙනිදා සඳහන් කර තිබුණේ ”කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්, මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා අද (27) රජයේ නිල පුවත් අඩවිය පැවසීය” යනුවෙනි. ඊට අදාළ වීඩියෝ පටයක්ද පළකර තිබුණි.

unnamed 1

මීට අමතරව, ලෙඩරෝගවලින් ආරක්ෂාවීම පිළිබඳ සමාජ ජාල ඔස්සේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන පාර්ශව ද මුඛ ආවරණ පැළදීමේ වැදගත්කම හා ඒවා නිවැරදිව පළදින ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීමට පළමුව පියවර ගෙන තිබුණි. මේ වන විට ඔවුන් ද මුඛ ආවරණ භාවිතයට වඩා දෑත් පිරිසිදුව තබා ගැනීම හා වෙනත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වඩාත් යෝග්‍ය බව පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුඛ ආවරණ මිලදී ගැනීම සඳහා පියවර ගෙන ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ විය.

“පහසුකම් නෑ”

චීනයේ සිට සංචාරය සඳහා පැමිණෙන්නන්, ශ්‍රී ලංකාවේ රැකියා කරන චීන ජාතිකයන් හා චීනයට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නිතර ශ්‍රී ලංකාවට පැමිණේ.

ඔවුන් සියලු දෙනා වෙනම රඳවා අධීක්ෂණය කිරීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව සිදු කෙරෙන්නේ වූහාන් නගරයේ සිට පැමිණෙන සිසුන් දියතලාව කඳවුරට යොමුකර දින 14ක කාලයක් අධීක්ෂණය කිරීම සහ චීනයේ සිට පැමිණෙන, රෝග ලක්ෂණ නොපෙන්වන අයට රට තුළට ඇතුළු වීමට ඉඩ ලබා දීමය. ඔවුන් සිටිනා ස්ථාන ගැන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී අධීක්ෂණය කෙරෙන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

එහෙත් චීනයේ සිට සෘජු ගුවන් සේවාවලින් නොපැමිණ වෙනත් රටවල් හරහා පැමිණෙන ගුවන් මගීන් අධීක්ෂණය කිරීම ගැන ගැටලු පවතී.

මේ තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් අතර රෝග ලක්ෂණ නොපෙනෙන රෝගීන් සිටිය හැකි බැවින් ඔවුන් රට තුළට ඇතුළු වී තිබේ නම් අවදානම් තත්ත්වයක් උද්ගතවිය හැකි බවය.

මේ වනවිට ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් නැති වුවද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ නිශ්චිතව කිව නොහැකි නිසා ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඉතා වැදගත් බව ඔහුගේ අදහසය.

”කොරෝනා වෛරසයට පමණක් නෙමෙයි, ඕනෑම කෙනෙකුට උණ, කිවිසුම් යාම, උගුරේ අමාරුව වගේ රෝග ලක්ෂණ තිබේ නම් මාස්ක් එකක් දාන එක ඉතා සුදුසුයි. විශේෂයෙන් මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා. වැදගත්ම දේ රෝග ලක්ෂණ නොපෙන්නන රෝගීන් ඕන තැනක ඉන්න පුළුවන්. ඒ වගේ අය ලෙඩේ අනිත් කට්ටියට බෝ කරනවා. මම කියන්නේ යම්කිසි කෙනෙකුට පුලුවන්නම් මුඛ ආවරණයක් දාගන්න, ඒක ඉතාම හොඳයි.”

මුඛ ආවරණ හිඟය

unnamed 3

මුහුණු ආවරණයක් පැළඳීම තමන්ට රෝග බෝවීම වළක්වා ගැනීමට මෙන්ම අන් අයට තමන්ගෙන් රෝග පැතිරයාම වළක්වා ගැනීමට ඉවහල්වන ආරක්ෂිත උපක්‍රමයකි. එබැවින් කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමගම මුඛ ආවරණ සඳහා ඉල්ලුම එක්වරම ඉහළ ගියේය. ඒ තුළින් මුඛ ආවරණවල හිඟයක් රටපුරා ඇති වුණි. එමෙන්ම ඇතැම් වෙළෙන්දෝ අධික ලාභයක් ලැබීම සඳහා ඒවා වැඩි මිලට අලෙවි කරන්නට වූහ.

මේ ගැන පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී තිබුණු අතර, පසුගිය සතියේ වෙළඳසල් 106ක් පරික්ෂා කිරීමට පියවර ඔවුහු පියවර ගත්හ. එහිදී වැඩි මිළට මුඛ ආවරණ අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකු හඳුනා ගැණුනි.

වැඩි මිළට අලෙවිය වැළක්වීම සඳහා මුඛ ආවරණ සදහා ජනවාරි 29 වෙනිදා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. එම මිළ සීමාවන් පහත දැක්වේ.

ඉවත දැමිය හැකි මුඛ ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15 යි.
ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15 යි.
මුඛ ආවරණ (එන් 95 වර්ගය – අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 යි.
මුහුණු ආවරණ කඩිනමින් වෙළඳ පොළට නිකුත් කරන්නැයි උපදෙස්

මේ අතර ප්‍රමාණවත් මුඛ ආවරණ වෙළඳපොළට කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දේශීය නිෂ්පාදකයන් තිදෙනෙකුට දැනුම් දී තිබේ. එහිදී ඔවුන් පවසා තිබෙන්නේ අමුද්‍රව්‍ය වැඩි වශයෙන් ගෙන්වන්නේ ද චීනයෙන් බැවින් එකවර නිෂ්පාදනය වැඩි කිරීමේ ගැටලුවක් ඇති බවය.

මේ පිළිබඳව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ජනවාරි 28 වෙනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළාය.

”චීනයෙන් මුඛ ආවරණ ගේන්න සමහරු අහනවා. ඒක ඊට වඩා භයානක තත්ත්වයක්. මේ වෙලාවේ ලෝකේ ඉල්ලුම වැඩි නිසා හැම රටකම හිඟ තත්ත්වයක් තියෙන්නේ. ඒක නිසා ප්‍රධාන විකල්පය විදියට අපේ කර්මාන්ත ශාලාවලට උපදෙස් දුන්නා නිෂ්පාදනය වැඩි කරන්න කියලා. ඒ වගේම මුඛ ආවරණ ගෙන්නන්න බලාපොරොතු වෙන අයට නීතිමය අවශ්‍යතාවන් කඩිනමින් ඉටු කර දෙනවා,” යනුවෙන් සෞඛ්‍ය ඇමතිනිය කියා සිටියාය.

කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති අතර, මේ වනවිට සාර්ස් වසංගතය පැතිරුණු ප්‍රමාණයට වඩා පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මාස අටක් පුරා සාර්ස් (Sars – severe acute respiratory syndrome) වසංගතය පැතිර ගිය අවස්ථාවේ 8,100 කට වැඩි පිරිසකට එය වැළඳී තිබුණි. කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා 10,000 කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. ඒ අතරින් 100 කට වැඩි පිරිසක් චීනයෙන් පිටත වෙනත් රටවලය.

වෛරසය ශරීරගත විය හැකි ක්‍රම

කැස්ස සහ කිවිසුම් යාම ඔස්සේ රෝග කාරක වෛරසය ශරීර ගත විය හැකි බව විශේෂඥ මතයයි.

“ආසාදිත පුද්ගලයෙකුට කැස්සක් ඇති වූ විට හෝ කිවිසුම් ගිය විට ඒ අසල සිටින අයෙකු ඒ වෛරස් රෝගකාරක ශ්වසනය කරනවා. නැතිනම් කැස්සෙන් හෝ කිවිසුම් යාමෙන් පිට වූ වෛරස් රෝගකාරක අවට මතුපිට තැන්පත් වෙනවා. යම් අයෙක් ඒ මතුපිට ස්පර්ශ කර ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට වෛරසය ශරීර ගත විය හැකියි,” යනුවෙන් හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ වෛරස් අධ්‍යයන විද්‍යාව අංශයේ මහාචාර්ය මලික් පීරිස් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

වෛරසය අසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සමීප ඇසුරකින්, රෝගී පුද්ගලයා කසින විට, කිවිසුම් පිට කරනවිට වාතය හරහා එන කෙළ බිඳිති මගින් මෙම රෝගය බෝවන බව වසංගත රෝග විද්යා අංශය පවසයි.

දියවැඩියාව, කාලින ශ්වසන රෝග හා වකුගඩු රෝග ඇති පුද්ගලයන්ට කොරෝනා වෛරසය ශරීර ගත වීමේ අවදානමක් පවතින බවට ද සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.

ඔවුන් පවසන පරිදි උණ, උගුරේ අසාදනය, කැස්ස, ශ්වසන අපහසුව බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ වේ.

unnamed 4

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා

ශ්වසන රෝග සඳහා භාවිත කරන ආරක්ෂිත ක්‍රමවේද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ද පිළිපැදිය හැකි බව වෛද්‍යවරු පවසති. අතර ඒ සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක පහත දක්වා ඇත.

නිතරම තම දෑත් සබන් ගා සෝදා ගත යුතු අතර මෙය පොදු ස්ථානයක සිටී නම් කළ යුතුමය. සබන් වෙනුවට දෑත් පිරිසිඳු කරන වෙනත් ආදේශක වුවද භාවිත කළ හැකිය.

කසින විට සහ කිසිවුම් පිට කරන විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් මුව සහ නාසය වසාගැනීම සඳහා භාවිත කළ යුතුය. ටිෂූ කඩදාසි භාවිතයෙන් පසු ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.

කසින විට සහ කිවිසින විට වැලමිට නවා මුව සහ නාසය ආවරණය වන පරිදි එය කළ යුතුය.

සෑම විටම ශ්වසන රෝගීන් ඇසුරෙන් ඉවත් වී සිටිය යුතු අතර පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.

ශ්වසන රෝග ලක්ෂණ පහළ වුයේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගත යුතුය.

මස්, මාළු ආහාරයට ගැනීමේදී හොඳින් පිසින ලද ඒවා ගත යුතුය.

වන සතුන්ගෙන් හෝ සත්ව ගොවිපළවල සේවය කරන්නේ නම් රෝගී සත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය. මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.

(බීබීසී )