spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විදුරගේ නිවසත් නිරෝධායන මධ්‍යස්ථානයක් !

Must read

විදුරගේ නිවසහිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, තමා පදිංචි, හොරණ පිහිටි සිය නිවෙස, කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා ලබා දීමට තීරණය කර ඇත. ඒ පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි මේ.
කොවිඩ් 19 මර්දනය කිරීමේ කාර්යයට උර දෙමින්, ඔබතුමා පදිංචි නිවෙස නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ලබා දීමට තීරණය කළ බව මාධ්‍ය මඟින් වාර්තා වුණා. ඒ පිළිබඳ කතා කෙළාත්?

මං ඒ වගේ තීරණයක් ගත්තෙ, කාටවත් අභියෝග කරන්න නෙමයි. මං කොහොමත් මේ නිවස, සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් ලබා දීමට තීරණය කරලයි තිබුණෙ. ඒ කටයුත්ත ඉදිරියේදි සිදුවෙයි. මගේ පියාට සහ මවට පින් පිණිස මේ නිවෙස නිරෝධායන කාර්යය සඳහා ලබා දීමට මම මේ වනවිට තීරණය කර තිබෙනවා. ඒ බව, ‍සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාට සහ කොවිඩ් 19 වැළැක්වීම සඳහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මම ලිඛිතවම දැනුම් දුන්නා. මේ, මම පදිංචි නිවෙස. ඒ නිවසින් මේ වෙද්දි මම භාවිතයට ගන්නෙ කාමර දෙකයි. අපේ රට විතරක් නෙමෙයි, මුළු ලෝකයම මේ ප්‍රශ්නය හමුවේ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටින මොහොතක්. එවන් අවස්ථාවක, රටක් විදිහට අපට මේ අභියෝගය ජය ගැනීම සඳහා හැකි අයුරින් දායකත්වයක් ලබා දීම, මේ මොහොතේ අත්‍යවශ්‍ය ම දෙයක්. මං මේ අවස්ථාවේ මේ වගේ තීරණයක් ගත්තෙ, ඒ නිසයි. මට ඔවුන් දැනුම් දුන් වහාම, මම මගේ නිවෙස ඕනැම මොහොතක මේ සඳහා ලබා දීමට සූදානමින් ඉන්නෙ.

බොහෝ වෙලාවට නිරෝධායන මධ්‍යස්ථාන විදිහට ගැනුණු ස්ථානවලට වඩා මේ ස්ථානය වෙනස්. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

නිවසක්, නිරෝධායන මධ්‍යස්ථානයක් විදිහට ලබා දුන්න පළමු අවස්ථාව මෙයයි. මීට කලින් ලබා දුන් ස්ථාන නිවාස නෙමෙයි. විවිධ ගොඩනැගිලි.

සමහර ආයතන නිරෝධායන කාර්යය සඳහා ස්ථානය ලබාදීමේදී, ස්ථානය වගේම, කෑම, බීම සහ අනෙකුත් අවශ්‍යතා ලබා දීමට කටයුතු කරනවා. මේ අවස්ථාවේදී ඔබේ දායකත්වය කොයි වගේද?

මම මේ කටයුත්තේදී ස්ථානය ලබා දීමෙන් දායක වෙනවා. අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීමට සිදු වෙනවා. ඒ අයට මේ ස්ථානය ලබා දුන්නහම, කොයි විදිහට භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවාද කියලා මම තවම දන්නේ නෑ.

මේ වෙද්දි ඔබ නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයත් කොවිඩ් 19 අධි අවදානම් කලාපයක් බවට පත්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ ඔබ ජීවත් වන ස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් විදිහට ලබාදීමේ වැදගත්කම ඔබ දකින්නෙ කොහොමද?

මේ වෙද්දි හොරණ මූලික රෝහලේ එක් වාට්ටුවක් මෙවැනි රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා වෙන්කර තිබෙනවා. රෝහල තුළ ගැබිනි මාතාවන්, දරුවන්, වැඩිහිටි අය ප්‍රතිකාර ගන්න නිසා, මේ වගේ අයගෙන් ඔවුන් වෙන්කර තැබීමට සිදු වෙනවා. පසුගිය පැය 24ක කාලය තුළ අපේ රටෙන් කොවිඩ් වෛරසය ශරීරගත වූවන් කිසිවෙක් හමුවුණේ නෑ. ඉදිරියටත් එය එසේම වෙනවා දැකීම තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. එසේම වේවා කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. ඒත්, කුමන හෝ හේතුවක් නිසා වෛරසය ශරීරගත වූවන් වැඩි වුණොත්, ඒ වගේ අවස්ථාවකදී වෛද්‍යවරු වගේ ම සෞඛ්‍ය සේවා කණ්ඩායම්වලට මේ ප්‍රදේශයට පැමිණීමට සිදු වෙන්න පුළුවන්. එහෙම වුණොත්, ඔවුන්ට මේ ස්ථානයේ රැඳී ඉඳලා, රෝහලට ගොස් ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා. මේ ස්ථානය හොරණ මූලික රෝහලට සමීපව පිහිටීම නිසා, එය ඔවුන්ට පහසුවක් වෙන්න පුළුවන්.

පසුගිය දවස්වල එක් එක් පුද්ගලයන්, විවිධ ස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන විදිහට ලබා දීමට එකඟ වෙද්දි, කිසි ම දේශපාලනඥයෙක් ඒ වගේ දෙයකට ඉදිරිපත් වුණේ නැති බව සමාජ මාධ්‍යවල පළ වුණා. ඔබ මේ ස්ථානය ඒ අයට ලබා දීමෙන් කළේ, ඒ අයට උත්තරයක් ලබාදීමද?

සමාජ මාධ්‍යයට බයේවත්, වෙන කිසි කෙනකුට බයේවත් මම තීරණ ගන්නෙ නෑ. අපි තාවකාලිකයි. හැම දේම තාවකාලිකයි. මං සමාජ වැඩපිළිවෙළකට යාමට අදහස් කරලා තියෙන්නේ ඒ නිසයි.

ඉදිරියේදී මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඔබ මේ වගේ කටයුත්තකට අතගැහුවෙ දේශපාලන වාසි බලාගෙන කියලා කවුරුන් හෝ කියන්න පුළුවන්.
මම මේ කටයුත්ත සඳහා තිබෙන කැමැත්ත, අනෙකුත් දේශපාලනඥයන් හැමෝටම කලින්, ඒ කියන්නෙ පසුගිය 20 වැනිදා තමයි දැනුම් දුන්නෙ. මේ දේ, මැතිවරණයේදි ඡන්ද බලාගෙන කරන කටයුත්තක් නෙමෙයි. එක එක අය විවිධ කතා කියන්න පුළුවන්. ඒත් මං මේ වගේ කටයුත්තකට යොමු වීමෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. මං කළේ, අවස්ථානුකූලව කළයුතු දේයි. සමහර දේශපාලනඥයො මේ වෙලාවෙදි බැනර් ගහගෙන නොයෙක් දේ බෙදා දෙනවා. හෙට අනිද්දා වෙනකොට මේ අය, ආහාර පාර්සල් බෙදලා දීලා, ඡායාරූප අරගෙන, ඒ අයගෙ හිතවතුන් සමාජ මාධ්‍යවල ඒවා පළ කරන්න පුළුවන්. එහෙම කරන්නෙ, ඒ අය එම කටයුත්ත දේශපාලනීකරණය කරගෙන ඉන්න නිසයි. දැන් තියෙන්නෙ මනාප පොරයක්. තරගයක්. සමහරු සමාජ මාධ්‍ය තුළ මේ කටයුත්ත ගැන විවිධ අදහස් පළ කරයි. ඒත් මං මේ කටයුත්ත හරහා කරන්නෙ දේශපාලන ලාභ ලබා ගැනීමක් නොවන බව, ඒ අය තේරුම්ගත යුතුයි.

ලෝකයම මුහුණ දී තිබෙන මේ වසංගත තත්ත්වය, දේශපාලනඥයකු විදිහට ඔබට දැනෙන්නේ කොහොමද?

මේ මොහොත අපි හොඳින් තේරුම් ගත යුතුයි. මේ, පරිසරය අපට ලබා දුන්න හොඳ සංඥාවක්. පරිසරයට අනුගත නොවී කටයුතු කරනකොට, පරිසරය අපට ලබා දෙන්නේ මේ වගේ දඬුවම්. මුළු ලෝකයටම පරිසරය ආරක්ෂා නොකළොත් වෙන්නේ මේ වගේ දඬුවමකට ලක් වෙන්න සිදුවීම බව, පරිසරය මඟින් ම අපට දැනුම් දී තිබෙනවා. දේශපාලනික හෝ කුමන ආකාරයකින් සමාජය තුළ සෑම විටෙකම බල තුලනයක් සිදු වෙනවා. ඒ වගේ ම ජන තුලනයකුත් වෙනවා. ඒ, ලෝකයට ජනගහනය දරා ගන්න පුළුවන් වන විදිහටයි.මේ සිදු වෙන්නෙත් එය වෙන්න පුළුවන්.
අද වෙද්දි මුළු ලෝකයම පරිසරයට අනුගත වෙමින් ජීවත් වෙනවා. හැදෙන ගමේ අපේ රටේ බොහෝදෙනා පුරුදුවෙලා තියෙන්නේ අපේ දේ අමතක කරලා, අලුත් අලුත් දේ පස්සේ යන්නයි. ඒ නිසා අද වෙනකොට විඳවන්න සිද්ධ වෙලා. ඒ නිසයි මම මෙය ආශිර්වාදයක් විදිහට දකින්නේ. අපේ පවුල් එකට එකතු කරන්න මේ මඟින් අවස්ථාව ලැබුණා. දැන් කරන්න ඕනෙ, මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමයි. ඒ තත්ත්වය ආකල්පමය වශයෙන් සිදුවිය යුත්තක්. අප තුළ චින්තනමය වෙනසක් සිදුවිය යුතුයි කියලා මං හැම විටෙකම කියන්නේ, අන්න ඒ නිසයි. මේ මොහොතේ අප තුළ චින්තනමය විප්ලවයක් සිදුවිය යුතුයි.
මේ තත්ත්වයත් සමඟම අපි අරපිරිමැස්මට පුරුදු වුණා. පරිසරහිතකාමී වුණා. දැන් අප සිතිය යුත්තේ, මේ දේ නිවාරණය වුණාට පස්සේ කරන්න ඕනෙ මොකක්ද කියන එකයි. අපට තිබෙන්නේ පරාධීන මානසිකත්වයක්. ඒකට ප්‍රධාන හේතුව අපි වහල්ලු වීමයි. අපි අපේ දේ අතහැරලා, පිටරට දේ කරපින්නා ගැනීම තමයි වහල්භාවයට ප්‍රධානතම හේතුව. අපේ රට ගැන හිතන, අපේ මිනිසුනට ආදරය කරන, අපේ දේ හොඳයි කියන තැනට අපි එන්න ඕනැ. එහෙම වුණොත්, අපට වහල් මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන්.

මේ අවස්ථාවේදී රජය ගෙනයන කොවිඩ් 19 මැඩලීමේ වැඩපිළිවෙළ සමහරුන්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

මේ වගේ අවස්ථාවක කවුරුහරි ආණ්ඩුවට මඩ ගහන්න උත්සාහ කරනවා නම්, ඒක පිළිකුල්සහගත ක්‍රියාවක්. ජාති, ආගම්, පක්ෂ පාට බේද අමතක කරලා, ශ්‍රී ලාංකිකයො විදිහට අපි හැමෝම එක්විය යුතු මොහොතක්. රජය අවස්ථානුකූලව ගතයුතු ක්‍රියාමාර්ග ගත්තහම, සමහරු දේශපාලන වාසි ගැන හිතලා රජයට බණිනවා. ආරක්ෂක අංශවලට බණිනවා. ඒත් කරන්න ඕනෙ බණින එක නෙමෙයි. මේ මොහොතේ හැමෝම එකතුවෙලා, එකමුතුව රට බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමයි. මේ මොහොතේ රට ගැන හිතලා වැඩ කළ යුතුයි. මෙතැනදි අපි ඒ කැප කිරීම අනිවාර්යෙන් ම කළ යුතුයි.
ඒත්, මේ වෙලාවෙත් බොරදියේ මාළු බාන අය ඉන්න පුළුවන්. කොවිඩ් වෛරසය නිසා මුළු ලෝකයම ගැටලුවකට මුහුණ දීලා සිටින මේ වගේ අවස්ථාවක, දේශපාලන වාසි වෙනුවෙන්, පටු අරමුණු ඉෂ්ට කර ගැනීමට, කොවිඩ් මර්දනය කිරීමේ කටයුත්ත සම්බන්ධයෙන් ආණ්ඩුවේ වැරදි දකින අය ඉන්නවා නම් කරන්න තියෙන්නේ, කටවල් ටික ෂට් ඩවුන් කරලා, පක්ෂ ටික ලොක් ඩවුන් කරන එකයි.

ඉරෝෂිණී දීපිකා -දිණිමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article