සජබ යෝජනාවට මීගමුව ආණ්ඩු පක්ෂ , විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය . ..

0
22

මීගමුව මහා නගර සභාවේ මැයි මසට අදාළව පැවැත්වෙන මහා සභා රැස්වීම පසුගිය 07 වැනි දින (07/05/2026) පෙරවරුවේදී නගර සභා රැස්වීම් ශාලාවේදී නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී කණ්ඩායමේ, කණ්ඩායම් නායිකා දිළිනි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය විසින් ,මීගමුව නගර සීමාව තුළ මහා නගර සභාවට අයත් රථගාල්, පොලවල් සහ නගරයේ වාහන නවතා තැබීමේ ස්ථාන මූලික කර ගත් අංශ කිහිපයකින් සමන්විත වන පරිදි කල්දී ඇතිි යෝජනාවක් ඉදිරිපත් කළාය.

එම යෝජනාවේ සඳහන් වූයේ මීගමුව මහා නගර සභාව විසින් ටෙන්ඩර් කැඳවා බදුකරුවන් වෙත ලබා දී ඇති රථගාල් සහ පොළවල් වල අයකරන ගාස්තු සහ එම සීමාවන් ගැන තොරතුරු ජනතාවට නිසි ලෙස දැනගත හැකිවන පරිදි මීටර 25 කට එක් දැන්වීම් පූවරුවක් බැගින් ඉදිකර පවත්වාගෙන යෑමත් එලෙසම බදු මුදල් එකතු කරන බදුකරුගේ සේවකයන් පැහැදිලිව හඳුනාගත හැකි පරිදි සුදුසු නිල ඇඳුමක් එම බදු එකතු කරන පිරිසට ලබාදීම හා එලෙස බදු මුදල් එකතු කරන අවස්ථාවන්හිදී එම නිල ඇඳුම ඇඳ සිටිය යුතු බවට කොන්දේසියක් බදු ගිවිසුමට ඇතුළත් කිරීමට කටයුතු කිරීම යන කරුණුය .

එමෙන්ම නගර සීමාව තුළ නාගරික කොමසාරිස්ගේ අණ පරිදි වාහන නතර කිරීමට හැකි සහ නතර කිරීමට තහනම් කර ඇති ස්ථාන පිළිබඳව විස්තර ඇතුළත් තොරතුරු ලේඛනයක් පවත්වාගෙන යෑමට කටයුතු කිරීම මෙන්ම එම ලේඛනයේ සඳහන් නොවන ස්ථානවල
” වාහන නවතා තැබීම තහනම් ” යනුවෙන් සඳහන් කරමින් තබා ඇති දැන්වීම් පුවරු ඉවත් කිරීමට කටයුතු කිරීම යනාදී කරුණු කාරණා ඇතුළත් වන පරිදි එම යෝජනාව මෙවර මහා සභාවට ඉදිරිපත් කර තිබිණි.

මෙම යෝජනාව සඳහා විශේෂයෙන්ම නගරාධිපතිවරයාගේ ඇතුළු ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්ගේ දැඩි ප්‍රසාදයක් හිමිව තිබුනි

මෙහිදී මෙම යෝජනාව පිළිබඳව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මුලින් අදහස් දැක්වූ මොහාන් අබේසේකර නාගරික මන්ත්‍රීවරයාද ඊට පසු අවස්ථාවකදී අදහස් ආණ්ඩු පක්ෂයේ ඇඩි කුමාර නාගරික මන්ත්‍රීවරයාද පැවසුවේ, මෙය ඉතා හොඳ යෝජනාවක් බවත්, මෙම යෝජනාව පරිදි එම කරුණු ක්‍රියාවට නැගීමේදී අනවශ්‍ය ප්‍රශ්නයක් මහා නගර සභාවට මතු විය හැකි බවයි.

එනම් ඔවුන් විසින් පෙන්වා දුන්නේ, නාගරික කොමසාරිස්ගේ අණ පරිදි යනුවෙන් වාහන නවතා තැබීම තහනම් කරමින් මීගමුව නගරයේ ස්ථාන ගණනාවක දැන්වීම් පුවරු තබා ඇති බවයි.

විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන පරිදි නගරයේ ස්ථාන ගණනාවක ත්‍රී රෝද රථ සමිති පිහිටුවා ගෙන ඇති අතර නාගරික කොමසාරිස්ගේ අණ නොමැතිව පවා සමහර ස්ථානවල එලෙස දැන්වීම් පුවරු තබා ඇතිි බවත්, මෙම යෝජනාවේ පරිදි එලෙස අවසර ලබා නොදුන් ස්ථානවල ඇති එම පුවරු ඉවත් කිරීමට යාමේදී ත්‍රී රෝද රථ සමිතිවල ත්‍රී රෝද රථ හිමියන්ගෙන් නගර සභාවට යම් විරෝධත්වයක් සහ බලපෑමි එල්ල විය හැකි බවද ඔවුන් එහිදී සඳහන් කළේය.

එලෙසම විපක්ෂයේ එමිල් රොහාන්, ස්වාධීන කණ්ඩායම් නාගරික මන්ත්‍රීවරයා පැවසුවේ, මෙය ඉතා කාලෝචිත යෝජනාවක් බවත්, මෙහි ත්‍රී රෝද රථ ගාල් පිළිබඳව සඳහන් කර නොමැති නිසා එය මෙම යෝජනාවට එම කරුණු ඇතුලත් කර නොගන්නා ලෙසයි.

එය අනවශ්‍ය ප්‍රශ්නයක් බවද ඔහු එහිදී සඳහන් වැඩිදුරටත් කළේය.

එලෙසම සංගීත් පෙරේරා ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරයාද මෙම යෝජනාව ඉතා හොඳ යෝජනාවක් බවට ප්‍රකාශ කළ අතර ඔහු එහිදී සඳහන් කළේ මීට සති කිහිපයකට පමණ පෙර තමන් මෙම යෝජනාවේ ඇති ප්‍රධානතම සහ වැදගත් වක කරුණු කාරණා කිහිපයක් පිළිබඳව මූලික වශයෙන් නගරාධිපතිවරයාද සමඟින් සාකච්ඡා කළ බවයි. එනිසා මෙම යෝජනාව මගින් ඉදිරිපත් කර ඇති කරුණු කාරණා ක්‍රියාවට නැගීමට, නාගරික මන්ත්‍රීවරයකුු ලෙස තමන්ද මෙම සභාව තුළින් බලාපොරොත්තු වී සිටි බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සඳහන් කළේ, මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේදී අඩුපාඩු ඇති බැවින් එය මෙවර මහා සභාවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පවා අවස්ථාව තිබියදී එය, න්‍යායපත්‍රයට ඇතුළත් කළේම මෙම යෝජනාව ඉතා වැදගත් සහ ක්‍රියාවට නැංවිය යුතු කරුණු කාරණා මෙම යෝජනාවට ඇතුළත්ව ඇති නිසා බවයි.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ මොහොමඩ් ෆසිර් නාගරික මන්ත්‍රීවරයා සහ විපක්ෂයේ මොහොමඩ් නුස්රි නාගරික මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මෙම යෝජනාව ඇති කාලෝචිත බව පිළිබඳව මහා සභාවේදී අදහස් දැක්වූහ.

අවසානයේ පිළිතුරු කතාව සිදුකළ විපක්ෂයේ දිලිනි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය මෙම යෝජනාව තමන් මහ සභාවට ඉදිරිපත් කළේ කිසිදු පාර්ශවයකට විරුද්ධවාදීව නොවන බවත්, කිසිදු පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමට හෝ නොවන බවද ප්‍රකාශ කළාය. එහිදී ඇය පෙන්වා දුන්නේ මෙම යෝජනාව ඇය විසින් මහා සභාවට ඉදිරිපත් කළේ පූර්ණ සද් භාවයෙන් යුතුව බවයි.

විශේෂයෙන්ම මහා නගර සභාවට අයත් දේ ටෙන්ඩර් කර බදු දීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමේ ක්‍රමවේදයකට ලක්කිරීමට ඇති අවශ්‍යතාවය නිසා බවය.

ඒ අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන් සාධනීය අදහස් ඉදිරිපත් කළ පක්ෂ විපක්ෂ සියලු නාගරික මන්ත්‍රීවරුන්ට ඇය මෙහිදී සිය විශේෂ ස්තුතිය පුද කළාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here