හෙල්ලයෙන් ලොවම මෙල්ල කල රුමේෂ් තරංග සහ ලොව විශිෂ්ඨතම හෙල්ල විසිකිරීමේ පුහුණුකරුවා වු ටෝනි ප්‍රසන්න දිවයිනට පැමිණේ. ..

0
7

 

ඊයේ දින (15/09/2026) අලුයම 5.10. ට පමන මුළු මහත් ලෝකයේම අවධානය දිනාගත්, ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය තුල දික් විජය කළ හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග, සහ දැනට ලොව සිටින අති විශිෂ්ඨතම හෙල්ල විසි කිරීමේ පුහුණුකරුවා වූ, මීගමුව පුරවරයේ වෙසෙන ටෝනි ප්‍රසන්න මහතා සමඟින් තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සිට TK-730 දරන තුර්කි ගුවන් සේවයේ යානයෙන් මව්බිමට පැමිණියාහ. හංගේරියාවේ බුඩාපේස්ට් නගරයේ පැවති 2026 අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලිය මෙන්ම ඩයමන්ඩ් ලීග් ශූරතාවයද දිනාගත් ඔහු මෙවර සිය මව්බිමට පා තැබුවේ, වෙනදා මෙන් සතුටින් නොව, දෑසට කඳුළක් ගෙන ආ ඉතා ශෝචනීය පුවතක්ද සමඟිනි.

සාමාන්‍යයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ජයග්‍රාහී ක්‍රීඩකයෙකු ජයග්‍රහණයන්ගෙන් පසු සැමවිටම ප්‍රීතියෙන් ඉපිලී යයි. එහෙත් රුමේෂ්ගේ මුහුණේ රැඳී තිබුණේ දැඩි කනගාටුවකි. ඊට හේතුව වූයේ ඔහුගේ සියලු අති විශිෂ්ඨ ජයග්‍රහණ වලට උරදුන්, විශ්වාසවන්ත හෙල්ලයන් 05 ම ගුවන් යානය තුළදී කැඩී බිඳී තිබීමයි. මේ අතර, හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී මීටර් 91.09 ක් විසි කරමින් ලෝක වාර්තාවක් තැබූ හෙල්ලයද, ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර දී මීටර් 92.07 ක් දුර විසි කළ හෙල්ලය ද ඊට ඇතුළත් විය.

මෙම හෙල්ලයන් 05 , රුමේෂ්ගේ අනාගත සිහිනවලට ද ජීවය දුන් ඒවා විය. ඔහු සැලසුම් කර තිබුණේ මෙම වසරේ පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියට, 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ද ඒවා භාවිතා කිරීමටයි. ඉන්පසුව, ඒවා තම ජයග්‍රහණවල සංකේත ලෙස සිහිවටන වශයෙන් තබා ගැනීමට ද ඔහුට දැඩි අභිලාෂයක් තිබුණි. එහෙත්, මෙම ගුවන් ගමන හේතුවෙන් ඔහුගේ එම සිහින සුන් වී තිබේ.

මෙම අනුවේදනීය සිදුවීම සම්බන්ධයෙන්, රුමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරු වු මීගමුවේ වෙසෙන ටෝනි ප්‍රසන්න මහතා ද සමගින් තුර්කි ගුවන් සේවයට එරෙහිව කටුනායක ගුවන් තොටුපළ වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. රුමේෂ් තරංගගේ මෙම අසතුටුදායක මොහොතේදී පවා, රුමේෂ්ගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ ඔහු සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඔහුට සහයෝගය දැක්වීමට සහ ඔහු ලබා ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණයන්ට සුභ පැතීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පළමු වරට ” වර්ල්ඩ් අල්ටිමේට් ” ( world Ultimate ) මලල ක්‍රීඩා ශූරතාවලිය සංවිධානය කළ අතර එම තරගාවලිය පැවැත්වුණේ හංගේරියාවේ බුඩාපේස්ට්හිදී ය.

ඉසව් 26කින් සමන්විත වූ ඊට ලොව පුරා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූහ.

දින තුනක් පැවති එහි අවසන් දින හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගය පැවැත්විණි.

එම අවසන් තරගයට ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ජර්මනියේ ජුලියන් වෙබර්, ග්‍රැනඩාහි ඇන්ඩසන් පීටර්ස්, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝහි කර්ශොන් වෝල්කොට් වැනි ක්‍රීඩකයන් ඊට සහභාගි වීම හේතුවෙනි.

රුමේෂ් තරංග එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තේ මීටර 91.09ක දක්ෂතාවක් දක්වමිනි.

මෙම ඉසව්වට වසරේ මේ දක්වා ඉහළ ම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා වන්නේ ද රුමේෂ් තරංග ය.

23 හැවිරිදි ඔහු 2026 රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දක්ෂතාවක් දැක්වීය.

රුමේෂ් තරංග යනු අප රටට කීර්තියක් ගෙන දුන් සැබෑ වීරයෙකි. එමෙන්ම ඔහු අපගේ ඊළඟ ඹලිම්පික් පදක්කම් සිහිනයයි. ඔහු ලද ජයග්‍රහණ අගය කළ යුතු අතර, ඔහුගේ ක්‍රීඩා දිවියේ වස්තුවක් බඳු වූ හෙල්ලයන් වලට සිදු වූ හානියට සාධාරණයක් ඉටු විය යුතුමය. මේ සිදුවීමෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වටිනා ක්‍රීඩා උපකරණ සහ අනෙකුත් ක්‍රීඩා ආම්පන්න ප්‍රවාහනය කිරීමේදී ගුවන් සේවා ආයතන වඩාත් වගකීම් සහගත විය යුතු බවට නැවත වරක් අවධාරණය කෙරේ. එලෙසම ඔහු අපට සිටින වටිනා සම්පතක් බැවින් ඔහු රැක ගැනීම අප ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක් බවද සඳහන් කළ යුතුව ඇත.

මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ රුමේෂ්ගේ හෙල්ලයන් 05 ක් ගුවන් යනය තුල කැඩී බිඳීයාම පිළිබඳව එම ගුවන් සේවා සමාගම වගකිම දැරිය යුතු බවයි. ඒ පිලිබඳව දැනටමත් වාර්තා කර ඇති බවත්, ලිඛිතවද ඒ පිළිබඳ වාර්තාකරන්නට ද කටයුතු කරන බවත් , එලෙසම මෙම හෙල්ලවල වටිනාකම රුපියල් වලින් තක්සේරු කිරීමට නොහැකි බවත්, එය එම ක්‍රීඩකයාට සදා මතක සැමරුමක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එළඹෙන 26 දා ජපානයේ පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා ඉතා ඉක්මනින්ම රූමේෂ් තරංගට ඔහුගේ ක්‍රීඩාව ඉසව්ව සඳහා අවැසි වන හෙල්ලයන් ලබාදීමට කටයුතු කරන බවයි.
එලෙසම රජයේ තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද ප්‍රකාශ කළේ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුමේෂ් තරංගට අවශ්‍ය හෙල්ලයන් ලබාදීමට කටයුතු කරන බවත් ඊට අමතරව ඒ සියලු දේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත්වීමට කටයුතු කරන බවයි. එලෙසම මීළඟ ඹලිම්පික් පදක්කම් සිහිනය සපළ මත් කර ගැනීම සඳහා ඔහුගේ ක්‍රීඩා දිවියද ආරක්ෂා කිරීමට මැදිහත් වෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

ඡායාරූප .-. ටී.කේ.ජී. කපිල
( කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here