කැපුම්ගොඩ ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සියවස් සමරු ජුබිලි මංගලෝත්සවය අද දින (22/06/2025) පෙරවරුවේදී මහත් හරසරින් සමරනු ලැබීය.
ගරු රංජිත් මැල්කම් කාදිනල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සියවස් ජුබිලි සැමරුම් මංගලෝත්සවය වෙනුවෙන් පැවැති එම ප්‍රධාන දේව මෙහෙය සඳහා එම මිසම් පාලක, මාලක ලෙනාඩ් පියතුමා සහ එම මීසම් සංඝයේ ආරාධනයෙන් පැන්සිස්කානු දෙවන නිකායේ ප්‍රාදේශියාධිපති , රෝෂන් වසන්ත පියතුමා, ජා-ඇල කතෝලික කලාපීය නාහිමි, ලලිත් පීලික්ස් පියතුමා සහ පමුණුගම කතෝලික දිශා, නායක , නිමල් ජයන්ත පියතුමා ඇතුළු තවත් පියතුමන්ලා පිරිසක්ද සහභාගි වූහ.
මෙම සියවස් ජුබිලිය වෙනුවෙන් , ඉතාලියේ, බ්‍රේසියා රදගුරු පදවියෙන් පරිත්‍යාග කරන ලද
ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ ශුද්ධ වු ධාතුව මෙම දේවස්ථානයට වැඩමවා කැපුම්ගොඩ ග්‍රාමයත්, ප්‍රධාන දේව මෙහෙයට සහභාගි වූ සියලු බැතිමතුන් ආසිරි ගැන්වීමද සිදුකෙරිණි.

මෙලෙස අද දින සියවස් ජුබිලි සැමරුම සපුරන කැපුම්ගොඩ ශාන්ත අන්තොනී දේවස්ථානයේ ඉතිහාසය ගත්විට වසර 200 ක් දක්වා වු ඈත කාලයකට දිව යයි. ධීවර රැකියාව ජීවනාලිය බවට පත් කරගත් බහුතර ජන පිරිසක් වෙසෙන මෙම ග්‍රාමයේ කතෝලික ජනතාවට සිය ආගමික කටයුතු සිදු කර ගැනීමට පමණුගම දේවස්ථානය වෙත නිතර යාමට ඒමට ඇති දුෂ්කරතාවය සහ අපහසුතාවය නිසාවෙන්ම 1844 වසරේ ජුනි මාසයේදී මෙම ග්‍රාමයට දේවස්ථානයක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් මිලදී ගෙන තිබිනි. ඒ අනුව 1846 වසරේදි එම භූමියේ ප්‍රථම වතාවට, පොල් අතු සෙවිලි කළ දේවස්ථානයක් ඉදිකර තිබේ. ඉන් පසුව පියතුමන්ලා කීහිප දෙනෙකුගේම මුලිකත්වයෙන් සහ උත්සාහයෙන් වසර ගණනාවක් තිස්සේ දේවස්ථානය ගොඩනැගීම සිදුවිය. ඒ අනුව අල්තාරය සහ තවත් කොටසක් පමනක් නිම කරමින් 1900 වසරේ නත්තල් දිව්‍ය පූජාව සිදුකර තිබේ. ඉන් අනතුරුව මේ වන විට ස්ථාපිත ව ඇති, මෙම දේවස්ථානයේ ඉදිකිරීමේ කටයුතු 1925 වසරේදී අවසන් කොට , එවකට සිටි ගරු අන්තෝනි කුරේරා රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම දිව්‍ය පූජාව පවත්වා දේවස්ථානයක් ලෙස මෙය ආසිරි ගන්වා ඇත. ඒ නිසා මෙම දේවස්ථානයේ ආරම්භය ලෙස 1925 වසර සනිටුහන් වේ.
එලෙසම ගරු රංජිත් මැල්කම් කාදිනල් තුමන්ද පියතුමෙක්ව සිටි කාලයේ එනම් දැනට වසර ගණනාවකට පෙරාතුව මෙම කැපුම්ගොඩ දේවස්ථානයේ සහායක මිසම් සේවක පියතුමෙකු ලෙසද සේවය කර ඇති බවද වාර්තා විය.
( විස්තර සහ ඡායාරූප ලබාදීමෙන් සහාය වූ සෙත්තප්පාඩුව – කැපුම්ගොඩ
ග්‍රාම නිලධාරිනි වාසනා ශ්‍රීමාලි මහත්මියට ස්තුතිය පළ කරමු. )












