මළවුන්ගේ දිනය වෙනුවෙන් මලින් සැරසෙන පුංචි රෝමය

0
645

 

සෑම වසරකම නොවැම්බර් මස 02 වැනිදා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාව “මළවුන්ගේ දිනය” (All Souls Day) ලෙස සමරනු ලබන්නේ, මෙලොවින් සමුගත් තම ආදරණීයන් සිහිපත් කරමින් , තමන් ඔවුන් සමඟ ඇති සබැඳියාව තවත් ශක්තිමත් කරමින් ඔවුන් ස්මරණය කිරීමයි. මෙම දිනයේදී බොහෝ කතෝලිකයින් තම මියගිය දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් සහ හිතවතුන් මිහිදන් කර ඇති සුසාන භූමි වෙත පැමිණෙන්නේ ගැඹුරු භක්තියකිනි.

ඔවුන් සුසාන භූමි පිරිසිදු කර, ඔවුන් මිහිදන් කර ඇති ස්ථාන මල් සහ විවිධ වූ මල් සැරසිලි වලින් අලංකාර කර, ඉටිපහන් දල්වා, තම ආදරණීයයන්ගේ ආත්මයන්ට සදාකාලික ශාන්තිය සහ මොක් සුව ප්‍රාර්ථනා කරමින් යාඥාවන්හී නිරත වෙති. මෙම දිනයේදී කතෝලික ගරු පියතුමන්ලා සුසාන භූමිවල විශේෂ දිව්‍ය පූජාවන් පවත්වනු ලබන්නේ, මියගිය අයගේ පව් කමා කර, ඔවුන්ට ස්වර්ග රාජ්‍යයට පිවිසීමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා යාඥා කිරීම සඳහාය. එමෙන්ම, ආශිර්වාද කළ පැන්වලින් සුසාන භූමියේ, මෘත ශරීර මිහිදන් කර ඇති ස්ථාන ආශිර්වාද කිරීමද මෙහිදී සිදු කෙරේ.

මළවුන්ගේ දිනයේදී කතෝලික ජනතාව තමන්ගේ මියගිය ආදරණීයයන් වෙනුවෙන් දාන ධර්ම පවා සිදු කරන්නේ, ඔවුන්ගේ ආත්මයන්ට සැනසීමක් ප්‍රාර්ථනා කරමිනි. මෙය මියගිය අයට ගෞරව දැක්වීමක් මෙන්ම, ඔවුන් කෙරෙහි ඇති ආදරය හා බැඳීම සදාකාලික බව ප්‍රකාශ කරන උතුම් අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකිය.ad2c8b77 b261 48a3 93d8 8d316b758eb5

 

නොවැම්බර් 02 වැනි දා එනම් හෙට දිනයේ සමරනු ලබන මළවුන්ගේ දිනය සැමරීම සඳහා මෙරට වැඩිම කතෝලික ජනකායක් වෙසෙන පුංචි රෝමය හෙවත් මීගමුව නගරයේ සහ නගරය ආශ්‍රිතව බහුතරයක් ජනතාව වෙන වසර  වලට වඩා මෙවර දැඩි උද්යෝගයකින් සහ උනන්දුවකින් යුතුව මේ සඳහා සැරසෙන ආකාරය දැක ගත හැකි විය. වෙනත් වසරවල නොවැම්බර් මාසය එළඹෙන විට වැසි සහිත කාලගුණයක් පැවතුණු නිසා, විශේෂයෙන්ම සුසාන භූමිවල පැවැත්වෙන දිව්‍ය පූජාවන්ට ජනතාව එතරම් උද්යෝගයකින් තොරව සහභාගි වූ ආකාරයද පසුගිය වසර වලදී දැකගත හැකි විය. එහෙත් මේ වසරේ නොවැම්බර් මාසය එළඹීමටත් පෙරම පුරා සතියකට වැඩි කාලයක් වැසි සහිත කාලගුණය පැවතියත් මේ වන විට මුළු රට තුළම එම වැසි සහිත කාලගුණය පහව ගොස් තිබේ. ඒ නිසාම කාලගුණය යහපත් අතට හැරී ඇති නිසා බහුතර කතෝලික ජනතාව වෙනත් වසර වලටත් වඩා දැඩි උද්යෝගයකින් සහ උනන්දුවකින් යුතුව සුසාන භූමි පිරිසිදු කිරීමටත් එලෙසම ඒ හා සබැඳුණු පොදු ශ්‍රමදාන වැඩසටහන් වලට සහභාගි වීමටත් යොමු වී ඇති ආකාරය දැක ගත හැකි විය.

විශේෂයෙන්ම මළවුන් ස්මරණය කරමින් සුසාන භූමිවල සිදුකෙරෙන දිව්‍ය පූජාවන්ට සමගාමීව රැගෙන යන මල්, සහ  මල් කළඹ  එලෙසම විවිධ මල් සැරසිලි අලෙවි කරන ස්ථාන ගණනාවක්ම මීගමුව නගරයේත් , නගරයට ආසන්නවත් මේ වන විටත් ආරම්භ කර ඇති ආකාරය දැක ගන්නට ලැබිණි. විශේෂයෙන්ම කොප්පරා මන්සන්ධියේ සිට පෙරියමුල්ල දෙසට යන විටත් එලෙස මල් කළඹ සහ මල් සැරසිලි අලෙවි කරන ස්ථාන ගණනාවක්ම තිබෙනු දක්නට ලැබිණි. බොහෝ පිරිසක් අද (01/11/2025) උදෑසන සිටම එලෙස මල් සහ මල් කළඹ මෙන්ම මල් සැරසිලි ද එමෙන්ම විශේෂ ඉටිපහන් වර්ගද මිලදී ගැනීමට විශේෂ උනන්දුවකින් යුතුව එම අලෙවි ස්ථාන වෙත පැමිණෙන ආකාරය දැකගත හැකි විය.

682adeca e1cb 4715 9921 2c329c83077f

එලෙසම අප කළ සොයා බැලීමේදී වාර්තා වූයේ  මේ වසරේද මළවුන්ගේ දිනය වෙනුවෙන් මීගමුවේ  මල් සැරසිලි අලෙවි කරන බොහෝ තැන්වල ඒ මල් සැරසිලි වැඩිපුරම නිර්මාණය කරන ඕකිඩ්, ජේබ්බ්‍රා, රෝස , ඇස්ටමේනියා , ඩේසි , ක්‍රිෂාන්ති ,.ලිලී සහ ත්‍රිෂාන්ති මම්ස් වැනි මල් වර්ග වල මිල ගනන් සුළු වශයෙන් වැඩි වී ඇති බවයි.. එහෙත් මේ වසරේ, වෙන වසර වල් වලට වඩා වැඩි මල් ප්‍රමාණයක් මීගමුවේ ප්‍රධාන මල් ශාලා හිමියන් විසින් ඇනවුම් කර ඇති බවද දැනගන්නට ලැබිණි..

ඒ අනුව මීගමුවේ මෙලෙස මළවුන්ගේ දිනය නිමිති කරගෙන මල් අලෙවි සැල් කිහිපයකම විවිධ මල් යෙදූ මල් කළඹක අවම මිල වූයේ රුපියල් 500කි. රුපියල් 500 සිට රුපියල් 25,000ක්, 30,000 ක් දක්වාද වැඩි මිල ගණන් වලින් යුත් මල් සැරසිලිද  මීගමුවේ මල් සැරසිලි අලෙවි කරන ස්ථාන කිහිපයකම ඇනවුම් පිණිස නිර්මාණය කර තිබෙනු දැකගත විය. මේ අනුව මිල අධිකම මල් වර්ග වූයේ රෝස සහ ඕකිඩ් හෙවත් උඩවැඩියා මලින් නිර්මාණය වී තිබූ මල් සැරසිලි ය.

සමස්තයක් ලෙස ගත්විට අප වෙත අදහස් දැක්වූ කිහිපදෙනෙකුම ප්‍රකාශ කළේ වෙනත් වසර වලට වඩා මෙම වසරේ මළවුන්ගේ දිනය නිමිත්තෙන් මල් හා විවිධ වූ මල් සැරසිලි මිලදී ගන්නට මීගමුව නගරයේ සහ ආශ්‍රිත ප්‍රදේශවල බහුතර කතෝලික ජනතාව වෙනත් වසර වලට වඩා මේ වසරේ වැඩි වශයෙන් උනන්දුවක් සහ උද්යෝගයක් දක්වන බවයි .022fc94a 6e26 4549 bd05 be03800e1b9f  1def9eb5 6366 4dc3 851d a1248eb75baf  d9a77b1f 093d 4d7d 942d 3b43aaa5425a

ඡායාරූප – රේමන්ඩ් අපෝන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here