ඡන්දයෙන් පසු….
සීමිත දේශපාලන අවබෝධය.
ජනතාව විසින් ආණ්ඩු බලය පිහිටුවීමට මාලිමාව තෝරා ගැනීම ලංකා ඉතිහාසයේ නිශ්චිත මොහොතකදී සිදු වූ විශේෂ දේශපාලන සිද්ධියකි. එදා අතරමංව සිටි ජනතාව තම අපේක්ෂාවන් ඉටුකරගන්නට ගත් තීන්දුවක් ලෙස එය සැලකිය හැකිය. මාලිමාව තෝරා ගැනීම ඒ මොහොතේ එම ජනතාවට තමන් ඉදිරියේ තිබු එකම විකල්පය විය. එම තීන්දුව නොගත්තා නම් ජනතාව තවමත් ඝන අගාදයක සිරවී සිටීමට සිදුවනු ඇත.
නමුත්, එම සිදුවීම ජනතාව ගැඹුරු දේශපාලන අවබෝධයකින් අවධිව ගත් තීන්දුවක් යයි කිව නොහැක. මාලිමාවට චන්දය දුන් බොහෝ අය සතුව තිබු දේශපාලන අවබෝධය වුයේ එ් වනවිට රට පාලනය කල සම්ප්‍රදායි දේශපාලන පක්ෂ මගින් ලබා දී තිබු සීමිත අවබෝධයයි.
සම්ප්‍රදායි පක්ෂ විසින් දුන් අධ්‍යාපනයේ අරමුණ වුයේ ප්‍රභූ පන්තියේ පැවැත්ම පවත්වාගෙන යාම සදහා යැපුම් මානසිකත්වයක් සහිත ජනතාවක් බිහි කර ගැනීමයි. එම දේශපාලන සම්ප්‍රදාය තුල පැවති උපායන් වූයේ බොරුව, මඩ ප්‍රචාර, මුලා කිරීම, ආගම් වාදය සහ ජාතිවාදය පැතිරීම වැනි දේය.
අපේක්ෂාවන් ඉටු කර ගැනීම.
පාලකයන් වෙනස් වූ පමණින් ජනතා අපේක්ෂාවන් සියල්ල ඉටු නොවේ. එසේ වන්නට නම් ප්‍රබල ජනතා ක්‍රියාකාරිත්වයක් තිබුනොත් පමණි. තමන්ගේ ලෝකය නිර්මාණය කර ගැනීමට නම් ජනතාව දැනුවත් බවෙන් සන්නද්ධ විය යුතු අතර තම නිර්මාණ ශක්තිය සහ සාමුහික බව ගොඩ නගා ගත යුතු වේ.
මැතිවරණයකදී චන්දය දැමීමට වඩා දේශපාලන වගකීමක් තමන්ට පැවරී ඇති බව බහුතර ජනතාව තේරුම් ගත යුතුය. බොහෝ සම්ප්‍රදායි පක්ෂ සාමාජිකයින් චන්දයෙන් පසු ඊලග චන්දය එනතුරු නිහඩ වෙති. ඔවුන්ගේ නායකත්වය එම හැසිරීමට කැමතිය. තමන්ව ප්‍රශ්ණ කිරීමට කිසිවෙක් නොමැති බැවින් තමන්ගේ ව්‍යාපාර දේශපාලනය තුලම කරගෙන යා හැක.
මේ වනවිට මාලිමාවට චන්දය දුන් බහුතරය පවා ඡන්දය දීමෙන් පසු තමන්ගේ වගකීම් එතනින් අවසන් යයි සිතා තම ක්‍රියාකාරිත්වය නතර කර නිහඩ වී සිටින බව පෙනේ. මාලිමාවට මෙවර ඡන්දය දුන්නද, තම ජීවිතය පුරාම සාම්ප්‍රදායි දේශපාලන පක්ෂ තුල ඔවුන් ලැබූ අධ්‍යාපනය විසින් ඊට එහා සීමාවකට ඔවුන්ව යොමු නොකරයි. සමහරෙක් ආණ්ඩුකරණයට සහභාගී වීමට උත්සාහ ගත්තද පැමිනෙන අභියෝග නිසා සියල්ල අත්හැර දමා දැන් අක්‍රියවී ඇත. තවත් සමහරෙක් නිහඩව ආණ්ඩුවට සහය දෙති.
සංදර්ශනයක් දෙස බලා සිටින ප්‍රේක්ෂකයින් මෙන් සිදුවන දේ දෙස නිසොල්මන්ව බලා සිටින ජනතාවක් මගින් ප්‍රජාතත්‍රවාදය ගොඩ නැගෙන්නේ නැතැයි නොආම් චොම්ස්කි නමැති ඇමෙරිකන් විචාරකයා පවසා ඇත. ජනතා අපේක්ෂාවන් ඉටු වීම පිළිබදවද එය එලෙසෙම වලංගුය. ජනතාවගේ විචාරාත්මක බව, ප්‍රශ්ණ කිරීම, ක්‍රියාකාරිත්වය නොමැතිව නවලෝකය බිහි නොවනු ඇත. එය පුරවැසියාගේ දේශපාලන වග කීමකි.
ජනතාවගේ ස්වෛරීත්වය.
මැතිවරණයේදී පත්වූ නියෝජිතයින් මහ ජනතාවගේ සේවකයන් පමණි. රටක පුර්ණ බලය හෝ ස්වෛරීත්වය ඇත්තේ මහ ජනතාව සතුව මිස ප්‍රභූන් හෝ තෝරා පත් වූ නියෝජිතයින් හෝ සන්තකව නොවේ. එසේ වුවද, මහා ජනතාව එම බලය භාවිතා කිරීමේදී විවිධ බාධක පැමිණේ. දේශපාලන, ආර්ථීක හා ජන මාධ්‍ය යන සාධකයන් ඒ බාධාවන් අතර තිබේ. එමෙන්ම, පෙර සදහන් කල සම්ප්‍රදායි පක්ෂ මගින් ජනතාව තුල ගොඩනැගුන සංස්කෘතිය තවත් බාධාවකි. එයින් ඇතිවුයේ වහල් මානසිකත්වයකි. නවලෝකය ගොඩ නැගීමට ජනතාවට අවශ්‍යවන්නේ විචාරාත්මක මනසකි.
බොහෝ විට සමාජ වෙනස ඇතිවන්නේ නායකත්වයෙන් නොව එවන් පහල මාලයේ ජනතා ක්‍රියාකාරිත්වයෙනි. පහල මාලයේ ජනතාව තමන් ගොඩ නගන ලෝකයේ කතෘන් විය යුතුය. ඔවුන් ප්‍රභූ වරුන්ගේ අනුකම්පාව ලබන්නන් පමණක් නොවිය යුතුය.
එම නිසා, පුර වැසියා රටේ පාලනයට වග විය යුතු වේ. එම නිසා චන්දය දීමට වඩා කාර්යක් ඉටුකරන්නට පුරවැසියාට පැවරී තිබේ. දේශපාලන නායකත්වය මෙහෙයවීමේ වග කීම පැවරෙන්නේ පුරවැසි සමුහය වෙතය. නමුත්, සියලු පුරවැසියන් මෙම අදහස මත සාමුහිකව පිහිටා කටයුතු කරණ තාක්, බලාපොරොත්තුවන සමාජ වෙනස ඇති නොවේ.
රටක පුර්ණ බලය හෝ ස්වෛරීත්වය ඇත්තේ මහ ජනතාව සතුවය යන මෙම අදහස ප්‍රකාශ කලේ ප්‍රංශ විප්ලවය ඇතිවන්නට බලපෑ දාර්ශිකයෙකු වන රූසෝය. එදා සිට අද දක්වා මෙම අදහස කව්රුත් පිළිගනිති. බොහෝ චින්තකයින්, සමාජ වෙනසක් වෙනුවෙන් කාර්යක් ඉටුකළ මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං, මැන්ඩේලා වැන්නන් මෙම අදහසට සාක්ෂි දරා ඇත.
පුරවැසි වගකීම්
මාලිමාවට චන්දය දුන් 64 ලක්ෂයේ අපේක්ෂාවන් මාලිමාව ආණ්ඩුව විසින් ඉටු කල යුතු වේ. ඒ පිලිබදව පත් වූ නායකයන්ට මෙන්ම පුරවැසියාටද වගකීම් පැවරේ. ඊට අදාලව පුරවැසියා වෙත එදිනෙදා පැවරෙන් දේශපාලන වගකීම් හඳුනා ගත යුතුයි.
ජනතා අපේක්ෂාවන් ඉටු කර ගැනීම සදහා තමන් පත් කර ගත් නායකත්වයට මග පෙන්විම පුරවැසියා තමන් වෙත පවරා ගත යුතු එක් වග කීමකි. සමහර අවස්ථා වලදී පත්වීම් ලබා ඇති නායකයින්ව නිවැරදි කර ගැනීම පුරවැසියා විසින් කල යුතුව ඇත. ඔවුන් සියල්ල දත් අය නොවේ. බොහෝ විට ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන අත්දැකීම සහ පලපුරුද්ද වී ඇත්තේ බලය ඇල්ලීමට මිස ආණ්ඩු කිරීම නොවන්නට විය හැක. පුරවැසි වගකීම් කීපයක් පමණක් පහත දක්වමි.
• පසුගිය කාලයේදී සැකසුන ජනතා සුබ සිද්ධියට පටහැනි ප්‍රතිඑත්ති හා අවශ්ය ප්‍රතිඑත්ති පෙන්වා දීම.
• ජනතාවගේ ප්‍රමුඛ අවශ්යතා හදුන්වා දීම සහ ඔවුන්ගේ ප්‍රමුඛතා ඉටු වෙන ආකාරයට සංවර්ධන සැලසුම් නිර්මාණය කිරීම, ක්‍රියාත්මක කිරීම.
• ආණ්ඩුවේ සමහර වැරදි ක්‍රියාකලාපයන් විවේචනය කිරීම, අසාධාරණයන් පෙන්වාදීම, නිවැරදි සහ යහපත් දේට සහයෝගය දීම. පාලකයින්ගේ බලයට යට නොවී වැරදි දේට වැරදියි කීම.
• ජනතා සහභාගිත්වයේ යාන්ත්‍රණයන් පහල මාලය තුල ගොඩ නැගීමට ක්‍රියාමාර්ග ගැනීම.
• ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් සහ පහල මාලයේ ජනතා නායකත්වය ගොඩ නැගීම.
• සිදුවන සංවර්ධනයේ ප්‍රගතිය ගැන පසු විපරම් කිරීම.
නායකත්වයේ වගකීම්
නොනවත්වා දිගින් දිගටම ආණ්ඩුකරණයට සහභාගිවන්නට පුරවැසියාව කැදවීමත් ඔවුන්ට ඒ අවකාශය සකසා දීමත්, ඒ සදහා පහසුකම් සැපයීමත්, දේශපාලන නායකත්වයේ වගකීමකි. ආණ්ඩුකරණය පාලකයන්ගේ තනි අයිතියක් නොවේ. එය සහභාගිත්වයේ ක්‍රියාවලියකි.
එබැවින්, පුරවැසියා එම කාර්යන් කිරීමට පෙරමුණට ආ යුතුය. එම වගකීම ඉටු නොකලොත් සිදුවන පාඩුව නම් සුළු ප්‍රභූ පිරිසක් අතට පාලනය පත්වීමයි. නැත්නම් පක්ෂය තුල යම් කල්ලියක් තමන් වෙත එම බලය පවරා ගෙන මධ්‍යගත පාලනයක් ගෙන යනු ඇත. මෙය ප්‍රජාතන්තරවාදයට බරපතල තර්ජනයකි.
තවද ජනතාව තමන්ගේ වගකීම ඉටු නොකලොත් රට විනාශයට පත් කල දුෂිතයන් සහ මජන දේපොළ කොල්ල කරුවන් නැවත බලයට පැමිනීමට මග පෑදෙනු ඇත.










