මුම්බායිහි ජීවත් වූ සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුතු පවුලක සියලු දෙනා පාචනය සහ වමනය හේතුවෙන් මියගොස් තිබේ.
පවුලේ සියලු දෙනා රාත්‍රී ආහාරයෙන් අනතුරුව කොමඩු ආහාරයට ගෙන ඇති අතර ඔවුන් ආහාර විෂවීමක් හේතුවෙන් මියයන්නට ඇතැයි ප්‍රදේශයේ වෛද්‍යවරුන් සැක පළ කර තිබේ.
කෙසේවෙතත්, මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති අතර මරණයට නිශ්චිත හේතුව මෙතෙක් පැහැදිලි නැත. පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ආහාරට ගත් ආහාර සහ කොමඩු සාම්පල ලබාගෙන ඇත.
ඉකුත් අප්‍රේල් මස 25 වන දා රාත්‍රී 10.30ට පමණ අදාළ පවුලේ සාමාජිකයින් ඥාතීන් පිරිසක් සමග රාත්‍රී ආහාරය ගෙන තිබිණි.
ඥාතීන් පිටව ගිය පසු අලුයම 1.30ට පමණ තමන් කොමඩු ආහාරයට ගත් බව ඔවුන් දැනුම් දී ඇතැයි පොලිසිය පැවසීය.
ඇත්තට ම සිදුවූයේ කුමක් ද?
අදාළ පවුල මුම්බායිහි පයිදොනි නම් ප්‍රදේශයේ පැරණි මෝගල් ගොඩනැගිල්ලක පළමු මහලේ ජීවත් වී තිබේ.
වයස අවුරුදු 40ක් වූ අබ්දුල්ලා ඩොකාඩියා, 35 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ බිරිඳ නස්රීන් ඩොකාඩියා සහ අවුරුදු 13 සහ අවුරුදු 15 යන වයස්වල පසුවූ ඔවුන්ගේ යොවුන් දියණියන් දෙදෙනාගෙන් මෙම පවුල සමන්විත විය.
ඔවුන්ගෙන් තිදෙනෙකු ජේ. ජේ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව වාර්තා වේ.
- දීපාලි ජග්තප්
- බීබීසී මරාති











