ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ජාත්‍යන්තර මුයිතායි සහ UBF බොක්සිං ශූරතාවලිය මැයි මාසයේදී මීගමුවේදී!

0
23

 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් කරමින් රටවල් 14ක සහභාගීත්වයෙන් මීගමුව වෙරළ තීරයේදී සටන්කාමී අත්දැකීමක්…

කොළඹ: ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, මෙරට පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර මුයිතායි (Muaythai) සහ UBF බොක්සිං ශූරතාවලිය එළඹෙන 2026 මැයි 28 වනදා සිට ජූනි 01 වනදා දක්වා මීගමුව Goldi Sands හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව පැවැත්වෙන මෙම සුවිශේෂී ක්‍රීඩා මංගල්‍යය, ජාත්‍යන්තර මුයිතායි සංවිධානය (WMO), ලෝක මුයිබෝරන් සම්මේලනය (WMBF) සහ යුනියන් බොක්සිං සම්මේලනය (UBF) යන ලෝක මට්ටමේ ප්‍රධාන සංවිධානවල නිල අධීක්ෂණය යටතේ පැවැත්වේ.

IMG 20260515 082434 IMG 20260515 082510 IMG 20260515 082734 IMG 20260515 082751 IMG 20260515 082808

ලෝක සටන්කරුවන් 120කට අධික පිරිසක් මීගමුවට
මෙම තරඟාවලිය සඳහා තායිලන්තය, ඇමරිකාව, එංගලන්තය, රුසියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, උස්බෙකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, හොංකොං, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් 14ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. සමස්තයක් ලෙස විදේශීය නිලධාරීන්, පුහුණුකරුවන් සහ මාධ්‍ය කණ්ඩායම් ඇතුළු 250කට අධික පිරිසක් මේ සඳහා මෙරටට පැමිණීමට නියමිත අතර, මෙය මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රබල පිම්මක් වනු ඇත.

දශක දෙකක කැපවීමට ජාත්‍යන්තර ඇගයීමක්
ශ්‍රී ලංකාව තුළ තායි සටන් කලාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් වසර 20කට වැඩි කාලයක් කැපවූ WMO Muaythai Lanka ආයතනයේ සභාපති දුෂාන්ත පෙරේරා මහතා මෙරට එකම ජාත්‍යන්තර නියෝජිතයා ලෙස පත් කරමින්, මෙම මහාද්වීපික ශූරතාවලිය පැවැත්වීමේ සත්කාරකත්වය ජාත්‍යන්තර මව් සංගමය විසින් ශ්‍රී ලංකාවට පිරිනමා ඇත. මෙම සමස්ත තරඟාවලිය ජ්‍යෙෂ්ඨ ග්‍රෑන්ඩ් මාස්ටර් වුඩීගේ (Senior Grand Master Woody) තාක්ෂණික උපදේශකත්වය යටතේ මෙහෙයවනු ලබයි.

ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක්
මීගමුව වෙරළ තීරයේ ඉදිවන සුවිශේෂී වළල්ලක (Beachfront arena) පැවැත්වෙන මෙම තරඟාවලිය හුදෙක් ක්‍රීඩාවට පමණක් සීමා නොවී, DJ සංගීතය, රසවත් ආහාර පාන සහ විනෝදාස්වාදය සපිරි අමතක නොවන සැන්දෑවක් ක්‍රීඩා ලෝලීන්ට උදා කරනු ඇත.

ප්‍රවේශපත්‍ර සහ කාලසටහන:

  • මැයි 30 (සෙනසුරාදා): සවස 4:30 සිට රාත්‍රී 10:00 දක්වා
  • මැයි 31 (ඉරිදා): නිල සමාරම්භක උළෙල සවස 5:30 ට. තරඟ රාත්‍රී 10:00 දක්වා ජූනි 01 (සඳුදා): අවසන් මහා තරඟ සවස 4:30 සිට

 

දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර වේදිකාවක්
රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත යැපීමෙන් තොරව ස්වාධීනව සංවිධානය කෙරෙන මෙම උළෙල හරහා මෙරට දක්ෂ ක්‍රීඩකයින්ට විදේශගත නොවී ජාත්‍යන්තර අත්දැකීම් සහ වෘත්තීය මට්ටමේ සටන්කරුවන් සමඟ කරට කර සටන් කිරීමට අවස්ථාව උදා වේ. මීට අමතරව ජාත්‍යන්තර විනිසුරු පුහුණු සම්මන්ත්‍රණ සහ පුහුණු වැඩසටහන් ද තරඟාවලියට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රටේ ආර්ථිකයට සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සුවිශාල දායකත්වයක් සපයන මෙම ඓතිහාසික සටන්කාමී රාත්‍රිය අත්විඳීමට මීගමුව Goldi Sands හෝටල් පරිශ්‍රයට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය සියලු ක්‍රීඩා ලෝලීන්ට ආරාධනා කර සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here