පරම්පරා 03 ක කාලයක් පුරාවට සේවා සපයන , මීගමුවේ ග්‍රේස් සැලූන් , අඛණ්ඩ, වසර 92 ක අභිමානය සමරයි. …

0
427

 

මීගමුව පුරවරයේ , පෙරියමුල්ල මංසන්ධියේ ස්ථාපිත ග්‍රේස් සැලූන් සිය අඛණ්ඩ වසර 92 ක සේවාව මහත් අභිමානෙන් යුතුව අද දින (13/06/2026) පෙරවරුවේදී හරසරින් සමරනු ලැබීය. මෙම සංවත්සරික සැමරුම් අවස්ථාවට ග්‍රේස් සෑලූන් හී, අධිපති සී. කෙනත් නෝබට් ප්‍රනාන්දු මහතා, ජෙනට් ප්‍රනාන්දු මහත්මිය , වැඩිමහල් දියණිය නදී ප්‍රනාන්දු මහත්මිය සහ පවුලේ පිරිසක් ද ඇතුළු එහි සේවක පිරිස සහභාගී වුහ.
මීට වසර 92 කට කලින් එනම් වර්ෂ 1934 ජුනි මස 13 වැනි දින මීගමුව ,පෙරියමුල්ල මංසන්ධියේදී සී. බෙනඩික් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරන ලද ග්‍රේස් සැලූන් මුල් කාලීනව නම් කර තිබුණේ
” සැලූන් ” යන නාමයෙන් පමණකි. පසුව මෙය 1948 වසරේ සිට “ග්‍රේස් සැලූන්” යන නාමයෙන් හඳුන්වා දී තිබේ. සී. බෙනඩික් ප්‍රනාන්දු මහතාගේ ඇවෑමෙන් පසුව, ඔහුගේ පුත් සී.පැට්ට්‍රික් ප්‍රනාන්දු මහතා ට උරුම වු ග්‍රේස් සැලූන් , ඔහු ජීවත්ව සිටියදීම, ඔහුට දාව උපන් දරුවන් පස් දෙනෙකු අතරින් ඔහුගේ එකම පිරිමි දරුවා එම පවුලේ බාලම පුතු වන සී. කෙනත් නෝබට් ප්‍රනාන්දු මහතා වෙත ග්‍රේස් සැලූන් හිමිකාරීත්වය ලබා දී තිබේ. ඒ අනුව ග්‍රේස් සැලූන් හී වර්තමාන හිමිකරු සහ එය මෙහෙයවීම කරනු ලබන්නේද කෙනත් ප්‍රනාන්දු මහතා විසිනි. ඒ අනුව බැලූ කල කෙනත් ප්‍රනාන්දු මහතාගේ සීයා විසින් ආරම්භ කළ ග්‍රේස් සැලූන් පසුව ඔහුගේ පියාද , පියාගෙන් පසුව කෙනත් ප්‍රනාන්දු මහතා ද හිමිකාරත්වය සහ මෙහෙයවීම සිදු කරන අතර ඒ අනුව මෙම සැලූන් ආයතනය අඛණ්ඩව පරම්පරා 03 ක් ජනතාවට සේවය සලසා ඇති සහ තවමත් සේවා සපයන මෙරට පැරණිතම සැලූන් ආයතනයක් ලෙස හඳුන්වාදිය හැකිය.
ඒ පිළිබඳව මෙහි වර්තමාන හිමිකරු කෙනත් ප්‍රනාන්දු මහතා පවසන්නේ ග්‍රේස් සැලූන් මෙරට ආරම්භ කළ සැලුන් අතරින් ලංකාවේ දෙවැනියට ආරම්භ කරමින් තවමත් සේවාවේ යෙදෙන මෙරට දෙවනියට පැරණිතම සැලුන් එක මෙය බවයි. එමෙන්ම ඔහු පවසන්නේ මෙය මීගමුවේ ආරම්භ කරමින් තවමත් සේවාවේ යෙදෙන මීගමුවේ පළමු සැලූන් එක බවයි. ඒ පිළිබඳව කෙනත් ප්‍රනාන්දු මහතා මෙසේ පවසයි. …IMG 20260613 WA0010 IMG 20260613 WA0015 IMG 20260613 WA0016 IMG 20260613 WA0013 IMG 20260613 WA0012 IMG 20260613 WA0014 IMG 20260613 WA0011 IMG 20260613 WA0009 IMG 20260613 WA0007 IMG 20260613 WA0008 IMG 20260613 WA0006 IMG 20260613 WA0005

“” දවසක් හිරු ටීවී එකේ වැඩසටහනක් ගියා. ඒ වැඩසටහනේ ගිය විදිහට ලංකාවේ පළමුවෙන්ම ආරම්භ කරලා තියෙන සැලුන් එක තමයි කොළඹ, චැතැම් විදියේ තියෙන ” ලොර්ඩ් නෙල්සන් ” සැලූන් එක. ඒ හිරු ටී.වී. වැඩසටහනේ කියපු විදිහට , ඒ සැලූන් එක ආරම්භ කරලා තියෙන්නේ 1928 වසරේ . ඒ සැලූන් එක කරන්නෙත් මීගමුවේ , බෝලවලාන ප්‍රදේශයේ කෙනෙක්. ඔහු මගේ වැඩිමල් දියණියගේ ස්වාමිපුරුෂයාගේ ඥාතියෙක්. එතකොට අපේ ග්‍රේස් සෑලූන් එක මගේ සීයා ඒ කියන්නේ බෙනඩික් ප්‍රනාන්දු මහතා ආරම්භ කරලා තියෙන්නේ 1934 වසරේ. එහෙම බලද්දි අපේ ග්‍රේස් සැලූන් එක ලංකාවේ ආරම්භ කරපු සැලූන් වලින් දෙවනියට පැරණිතම සහ තවමත් සේවාවේ යෙදෙන ලංකාවෙ දෙවැනි සැලූන් එක කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම මම හිතන්නේ ග්‍රේස් සැලූන් එක තමයි මීගමුවේදී ආරම්භ වුණු පැරණිතම සහ තවමත් සේවාවේ යෙදෙන පළමුවැනි සැලූන් එක කියලා හඳුන්වන්නත් පුළුවන්. මොකද මීගමුවේ විතරක් නෙවෙයි, මේ මුළු ලංකාවෙම සැලූන් ආරම්භ කළාට ඒවා ඕනෑ නම් වැඩිම වුනොත් අවුරුදු 40 කින්, අවුරුදු 50 කින් වගේ කාලයකින් ඒවා වැහිලා යනවා. බොහෝ වෙලාවට අපි දකිනවා පියා විසින් ආරම්භ කරපු සැලූන් එක පුතෙක් කරගෙන යනවා. එතනින් පස්සේ ඒ කියන්නේ පරම්පරා දෙකකින් පස්සේ ඒ සැලූන් එක වහල දානවා. එක දිගට ලොකු කාලයක් මේ ලංකාවේ සැලූන් කරගෙන යන්නේ නැහැ. එහෙම ගත්තාම අපේ සැලූන් එක මම කර ගෙන යන්නේ තුන්වෙනි පරම්පරාව හැටියට. ඉතින් තවමත් ඒ කියන්නේ අවුරුදු 92 ක් ගත වෙන මේ මොහොතෙත් අපි තවමත් සේවාවේ යෙදෙනවා. ඉතින් මම හිතනවා අපේ සැලුන් එක මීගමුවේ පළමුවෙනි සහ ලංකාවේම දෙවැනි පැරණිතම හා තවමත් සේවාවේ යෙදෙන සැලූන් එක කියලා”.

කෙනත් ප්‍රනාන්දු මහතා පවසන්නේ සත්‍යයක් යැයි අපිටද වැටහෙන්නේ , කෙටි කාලයකින් වසා දමන සැලූන් අතර, “ග්‍රේස් සැලූන්” වසර 92 ක් පුරාවට තවමත් මීගමුව, පෙරියමුල්ල සහ අවට ප්‍රදේශවල වල සිංහල මුස්ලිම් සහ දමිළ ජනතාවට අඛණ්ඩව සේවය සපයන ජනතාව අතර තවමත් ජනප්‍රිය සැලූන් එකකි.
විශේෂයෙන්ම ග්‍රේස් සැලූන් පිහිටි මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශය මුස්ලිම් සහ දෙමළ ජාතිකයන් බහුලව වෙසෙන ප්‍රදේශයකි. ග්‍රේස් සැලූන් හිමිකාරත්වය සිංහල ජාතිකයන් වුවද, වැඩිපුරම මෙයින් සේවා ලබා ගැනීමට පැමිණෙන්නේ මුස්ලිම් සහ දෙමළ ජාතිකයන් වීම ද ග්‍රේස් සැලූන් සතු කැපී පෙනෙන ලක්ෂණයකි.

එලෙසම කිසිදු ජාති, ආගම් භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන් එකට එක්ව මෙයින් සේවා ලබා ගැනීම, සමජය තුල සමගියට සහ සහජීවනයට ද කදිම නිදසුනකි.
ඒ පිළිබඳවද කෙනෙක් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

” අපේ ග්‍රේස් සැලූන් එක තිබුණේ මීගමුව, පෙරියමුල්ලේ දැන් ප්‍රධාන පාරේ ලයිට් සිග්නල් තියෙන කොටසේ. 1999 දී මේ ප්‍රධාන මාර්ගය පළල් වෙලා එද්දි අපට අපේ ග්‍රේස් සැලූන් එක පිහිටලා තිබුණ බිම් කොටස ඒ පුළුල්වන මාර්ගය සඳහා ලබා දෙන්න සිදුවුණා. ඊට පසුව මම පාරෙන් එහා පැත්තේ තිබුනු මුස්ලිම් ජාතිකයෙකුට අයත් බිම් කොටසක් මිලදී ගෙන ඒ ආසන්නවම අලුත් තැනක ග්‍රේස් සැලූන් එක ආරම්භ කළා. ඉතින් එදා ඒ මුස්ලිම් ජාතික අපේ හිතවතා කිසිදු ජාති භේදයක් නොබලා අපිට ඒ බිම් කොටස ලබා දෙමින් අලෙවි කරලා, අපට අපේ ව්‍යාපාරය , සැලූන් එක කරගෙන යෑමට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉතින් පෙරියමුල්ල ප්‍රදේශයේ ඉන්න, අපෙන් කොණ්ඩ කපන්න, රැවුල් කපන්න වගේ සේවා සපයා ගන්න එන ගොඩක් අය මුස්ලිම් ජාතිකයෝ. ඒ වගේම ප්‍රදේශයේ දෙමළ ජාතිකයෝ පිරිසකුත් ඉන්නවා. ඉතින් අපේ සැලූන් එකට එන සිංහල දෙමළ මුස්ලිම් මේ හැම කෙනෙකුටම අපි එක වගේ සේවාවක් සලසනවා. ඉතින් මේ හැම ජාතිකයෙකුම අපිත් සමඟ ඉතාමත් සුහදශීලීව කටයුතු කරනවා. ඉතින් අපිට ඒක විශාල ශක්තියක්. “”.

ඔහු එහිදී අප වෙත පවසා සිටියේ තමන් වෙත කොණ්ඩය කපා සකස් කර ගැනීමට පැමිණි ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක අවුරුදු 07 පමණ වන දරුවෙකු, අවුරුදු ගනනක් ඉක්ම ගිය පසුත් එනම් දැන් ඔහුට වයස අවුරුදු 50 ක් පමණ ඉක්ම ගිය පසුත්, තවමත් ඔහු, ඔහුගේ කොන්ඩය කපා සකස් කර ගැනීමට ග්‍රේස් සැ⁣ලුන් වෙතම පැමිණෙන බවයි. වයස අවුරුදු 07 ක පමණ කාලයක සිට වයස අවුරුදු 50 ඉක්ම ගිය පසුවද එනම් වසර හතළිස් ගණනක් තිස්සේ මෙලෙස ග්‍රේස් සැලූන් වෙතම පැමිණ කෙනත් ප්‍රනාන්දු මහතාගෙන්ම කොණ්ඩය කපා සකස් කර ගැනීමට පැමිණෙන ඔහු අන් කවුරුත් නොව කටුනායක , 18 කණුව මංසන්ධිය ආසන්නයේ පිහිටි රැන්කා ෆුඩ් හවුස් සහ ෆැමිලි රෙස්ටූරන්ට් හී වර්තමාන අධිපති බුද්ධික සිල්වා මහතා බව පසුව අපට දැනගන්නට ලැබිණි.

මේ ආකාරයෙන් ගත් කළ වසර 92 ක් නොවෙසේනම් වසර 100 කට ආසන්න කාලයක් හෙවත් දශක දහයකට ආසන්නව පරම්පරා 03ක් නියෝජනය කරමින් අඛන්ඩ සේවාවේ යෙදෙන මීගමුව, පෙරියමුල්ල ග්‍රේස් සැලූන් හී අනාගතය පිළිබඳවද කෙනත් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා.
මට ඉන්නේ දියණියන් තිදෙනෙක්. ඉතින් මගේ වැඩිමහල් දියණිය ” නදී ” මේ ක්ෂේත්‍රය ගැන යම් දැනුමක් පලපුරුද්දක් තියෙන කෙනෙක්.ඇය මේ ක්ෂේත්‍රය පිළිබඳව මනා පුහුණුවක් ලබලා, දැනටත් මේ ක්ෂේත්‍රය තුළ නියැලෙන කෙනෙක්, මම බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී මගෙන් පසුව මේ සැලුන් එක මගේ වැඩමහල් දියණිය ” නදී ” මෙහෙයවයි කියලා. ඒ කියන්නේ මගේ හතරවෙනි පරම්පරාව හැටියට” .

එසේ නම් ග්‍රේස් සැලුන් සිය තුන්වෙනි පරම්පරාවේ සිට සිව්වෙනි පරම්පරාව දක්වා සිය අඛණ්ඩ සේවාව මීගමුව හා අවට ජනතාව වෙත ඉදිරි අනාගතයේදීත් ලබාදීමට සූදානමින් සිටියි.
එසේ නම් වසර 92 ක මාහැඟි සේවාවක් සපයා තවත් චිරාත් කාලයක් මීගමුව පුරවරයේ සිංහල, දමිළ සහ මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ට එක ලෙස ඉතා යහපත් , සුහදශීලී සේවාවක් සලසාලන්නට හැකි වේවා යයි ග්‍රේස් සැලූන් ආයතනයේ වර්තමාන හිමිකරු කෙනත් ප්‍රනාන්දු මහතාටත්, එම පවුලේ අයටත්, කාර්ය මණ්ඩලයටත් මෙලෙස සුභ පැතුම් ගෙන එන්නෙමු.

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here