EPF සහ ETF අරමුදල් බිල්ලට දීමට එරෙහිව කටුනායකින් ඇරඹුණ විරෝධතාවය .

0
412

….

ආසියාවේ ප්‍රධානතම මෙන්ම මෙරට පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව සතු විශාලතම අරමුදල් වන සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) මහා බැංකු පාලනයෙන් ඉවත් කර ත්‍රෛපාර්ශවීය කමිටුවකට පැවරීමට වත්මන් ජන බලවේග ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව අද දින (02/09/2026) සවස කටුනායක නිදහස් වෙළෙඳ කලාප ප්‍රධාන පිවිසුම අසලදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි. මෙය දිවයින පුරා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා මාලාවක ආරම්භය ලෙස ද වාර්තා විය.

ජනතාවගේ අප්‍රසාදය

ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ මෙම විරෝධතාවය සවස 5.00 සිට රාත්‍රී 7.30 දක්වා පැවති අතර, කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සහ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදා දෙන ලදී. “ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා” සංවිධානය විසින් සංවිධානය කරන ලද වීදි ඡායාරූප ප්‍රදර්ශනයක් ද කටුනායක ඇවරිවත්ත, නිදහස් වෙළෙඳ කලාප ප්‍රධාන පිවිසුම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.එම ඡායාරූප ප්‍රදර්ශනයෙන් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙවැනිම ප්‍රයත්නයකදී නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිතව ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත්, වත්මන් රජයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එයින් ඇතිවන අනාගත තත්ත්වයත් පිළිබඳව ජනතාව දැනුවත් කෙරිණි.

IMF කොන්දේසිද?

ආණ්ඩුව මෙම වෙනස්කම් සඳහා “හාම්පුතුන් සහ සේවකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක්” සහ “ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අනුගත වීමක්” වැනි කරුණු දක්වන නමුත්, මහා බැංකුව විසින් ඉදිරිපත් කළ අධ්‍යයන පත්‍රිකාවලින් හෙළිවන්නේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය කොන්දේසි මත සිදුවන බවයි. කෙසේ වෙතත්, සේවක වෘත්තීය සමිති එවැනි ඉල්ලීමක් කිසිවිටෙකත් ඉදිරිපත් කර නොමැති බව විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

හාම්පුතුන්ට අයිතියක් නැත!

අරමුදල් සියයට 100 ක්ම එහි සාමාජිකයින්ට අයිති මුදල් බැවින්, හාම්පුතුන්ට ආයෝජන තීරණවලට මැදිහත් වීමට කිසිදු අයිතියක් නොමැති බව විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ. ත්‍රෛපාර්ශවීය යාන්ත්‍රණ කම්කරු නීති සම්පාදනයට මිස අරමුදල් ආයෝජනයට අදාළ නොවන බව ද ඔවුන්ගේ අදහස විය. මහා බැංකු පාලනයෙන් අරමුදල් ඉවත් කිරීමෙන් විනිවිදභාවය, වගකීම සහ තිරසාර පැවැත්ම වැඩිවන බවට ආණ්ඩුවට සාධාරණ තහවුරුවක් ලබා දීමට නොහැකි වී ඇති බවට ද ඔවුහු චෝදනා කළහ.

රොෂේන් චානකගේ කැපවීම යළි සිහිපත් කිරීම

මෙම අරමුදල් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වැඩකරන ජනතාව පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී විශාල කැපකිරීම් කර ඇති බවත්, 2011 වසරේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය මෙම අරමුදල් පෞද්ගලික අංශයේ අලාභ ලැබූ සමාගම් වෙත යොමු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, නිදහස් වෙළඳ කලාප සේවකයෙකු වූ රොෂේන් චානක සිය ජීවිතය පූජා කළේද ඒ වෙනුවෙන් බවත් විරෝධතාකරුවෝ සිහිපත් කළහ. සිය ගණනක් සේවක සේවිකාවන් තම දිවි පුදා සහ සදාකාලික අබ්බගාතයන් වෙමින් එම උත්සාහය වළක්වා ගත් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

රට පුරා විරෝධතා ව්‍යාප්ත වෙයි

මෙය රට පුරා ව්‍යාප්ත වන විරෝධතා ව්‍යාපාරයක ආරම්භය පමණක් බවත් අද දින මෙම විරෝධතාවය කටුනායක මෙන්ම කොග්ගල දී පැවැත්වෙන අතර හෙට දින සවස බියගම දී පැවැත්වෙන බව ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයින් මෙහිදී මාධ්‍ය වෙත පැවසූහ. මෙම වෙනස්කම් හේතුවෙන් ආයතනගත පුද්ගලික සේවක අර්ථසාධක අරමුදල්වල පොලී අනුපාත අඩුවීමේ අවදානමක් ද පවතින බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ජනතාවගේ බලය අරමුදල් බිල්ලට දීමට නොවේ.

ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන අවධාරණය කළේ, EPF/ETF අරමුදල් හාම්පුතුන්ගේ අභිමතය පරිදි අවභාවිතා කිරීමට කිසිදු ආණ්ඩුවකට හෝ පාර්ශවයකට ඉඩ නොතබන බවයි. ජනතාව දුන් බලය අරමුදල් බිල්ලට දීමට යොදාගතහොත්, වැඩ කරන ජනතාව ප්‍රමුඛ රටේම සමස්ත ජනතාව එයට එරෙහිව නැගී සිටිනු ඇති බවත්, එය ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තව තවත් කඩා වැටීමකට හේතුවක් විය හැකි බවත් ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ප්‍රධානීන් සහ නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන්හ.

“ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා” සංවිධානයේ අධ්‍යක්ෂිකා අශිලා මහත්මිය, ඇඟලුම්, රෙදිපිළි සහ නිමි භාණ්ඩ සේවකයන්ගේ සංගමයේ සභාපති ලලිතා දෙද්දුවකුමාර මහත්මිය, වාණිජ හා කාර්මික සේවක සංගමයේ භාණ්ඩාගාරික විජේපාල වීරකෝන් මහතා, ස්ත්‍රී මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා පද්මිණී වීරසූරිය මහත්මිය, ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ ඉසුරී රොද්‍රිගූ මෙනවිය සහ රෙඩ් සංවිධානයේ වැඩසටහන් කළමනාකාර අසන්ත මහතා ඇතුළු තවත් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන නියෝජිත මහත්ම මහත්මාවීන් මෙම විරෝධතාවය පිළිබඳව ජනතාව සහ මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

විශේෂිත ස්තූතිය .-.
විශේෂ ඡයාරූප ලබාදුන් කටුනයක ටී.කේ.ජී කපිල මහතාට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here