අල්හිලාල් පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ලේ වසර 12ක සැඟවුණු ඉතිහාසය සහ අභිමානය . …

0
17

 

පසුගිය අගෝස්තු 26 වන දින මීගමුව පෙරියමුල්ල අල්හිලාල් පාසලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවත්වූ 42 වන ජාතික මිලාද් උන් නබි උත්සවයට සමගාමීව, එයට දින දෙකකට පෙර එම පාසලේ සිසු දරු දැරියන්ගේ නිර්මාණාත්මක ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. මෙම ප්‍රදර්ශනයට සමගාමීව එම විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් නියෝජ්‍ය කථානායකවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් සහ උසස් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විවෘත කිරීමද සිදුවිය.

කෙසේ වෙතත්, මෙම අභිනව ගොඩනැගිල්ලේ කිසිදු සමරු ඵලකයක් හෝ දැන්වීම් පුවරුවක් නිරාවරණය නොවීම, එහි ඉදිකිරීම් ඉතිහාසය හිතාමතාම වසන් කිරීමේ ක්‍රියාවලියක්ද යන සැකය පෙරියමුල්ලේ වෙසෙන සියළු ප්‍රජාවන් අතර මේ වන විට දැඩිව මතුවී ඇත. එබැවින්, මෙම තෙමහල් ගොඩනැගිල්ලේ සත්‍ය ඉතිහාසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

වසර 12ක කැපවීමක ප්‍රතිඵලයක්

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ වන්නේ මීට වසර 12 කට පමණ පෙරය. එවක මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෂාෆි රහීම් මහතාගේ මූලිකත්වයෙන්, පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 90 ක මුදලක් වැය කරමින් මෙහි ඉදිකිරීම් කටයුතු ඇරඹිණි.

ඉන් අනතුරුව, ෆව්සුල් කරීම් මහතාගේ ඉල්ලීම පරිදි, හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් රුපියල් මිලියන 18.5කට අධික මුදලක් පරිත්‍යාගයක් ලෙස මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රදානය කර තිබේ. පසුව, එවක පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුවේ) ක්‍රියාධරයෙකු ව සිටි සහ වර්තමාන ස්වාධීන කන්ඩායමක් නියෝජනය කරන , මීගමුව නාගරික මන්ත්‍රී සරුජ් සත්තාර් මහතා, හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලක් ලබා දීමෙන් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් අදියරයට ගෙන ඒමට විශාල දායකත්වයක් ලබා දී තිබේ.

තවද, මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල අවසන් අදියරේ කටයුතු සඳහා මීගමුව, කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රතිපාදන ද ලැබී ඇති අතර, මීගමුව ප්‍රදේශයේ දානපති කිහිප දෙනෙකුගෙන් සහ ප්‍රදේශවාසී ජනතාවගෙන්ද මූල්‍යමය දායකත්වයද ඒ සඳහා ලැබී තිබේ.

ගෞරවය හිමිවිය යුත්තේ කාටද?

එසේ වසර 12 ක් පුරා විවිධ පුද්ගලයන්, දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය ආයතන සහ ප්‍රදේශවාසී ජනතාවගේ කැපවීමෙන් හා දායකත්වයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් අවසානයේ විවෘත කිරීමේ අවස්ථාව පමණක් ඉස්මතු කරමින්, එහි සැබෑ ඉතිහාසය සහ දායකත්වය අමතක කිරීම සාධාරණ නොවේ. මෙය කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂව හෝ විපක්ෂව කරන වෛරී හෝ ද්වේෂ සහගත ප්‍රකාශයක් නොවන බවද අවධාරණය කළ යුතුව ඇත.

වසර 12 කට පමණ පෙර ආරම්භ කළ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුදල් වෙන් කළ, දේශපාලන හා පරිපාලන මට්ටමින් මැදිහත් වූ, සහය දුන්, මෙය ඉදිකිරීමට දායක වූ සහ එය ඉදිකර අවසන් කිරීමට සහය වූ සියලු දෙනාට, ඔවුන් දැක්වූ දායකත්වය වෙනුවෙන් සාධාරණ ගෞරවයක් හිමි විය යුතුව ඇත. මහජන මුදල් සහ ජනතා දායකත්වයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක සැබෑ ඉතිහාසය ජනතාවගෙන් වසන් නොකළ යුතුය. අවුරුදු 12 ක ඉතිහාසයක් ඇති ඉදිකිරීමක ගෞරවය විවෘත කිරීමකට හෝ එක් පුද්ගලයෙකුට සහ පුද්ගල කණ්ඩායමකට පමණක් සීමා නොවිය යුතුය.

මෙහි සත්‍ය ඉතිහාස කතාව කුමක්ද යන්න සියලු මීගමුවාසී ජනතාව නිසි ලෙස දැනුවත් විය යුතු අතර, සියලු දෙනා එම ඉතිහාසයට ගරු කළ යුතුය. මෙම කර්තව්‍යය සඳහා දායක වූ පක්ෂ, පාට, ජාති, ආගම්, කුල මල සහ නිල භේදවලින් තොරව සියලු දෙනාටම නිසි ගෞරවය හිමි විය යුතුව ඇත.

අබ්දුල් රාසික් සෆාර්
රහුමානියා බාත්
පෙරියමුල්ල , මීගමුව .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here