කලපු, මීගමු කලපුව හා අකෘතඥ කිතුනුවෝ

0
1019

 

FB_IMG_1604708412555කලපුවක් යනු තිබුණත් නැතත් කමක් නැති කරදිය හා මිරිදිය මිශ්‍ර බිම් කඩක් නොවේ.

කලපුවක් යනු ජෛව විවිධත්වයෙන් අනුන බැවින් පාරිසරිකව ද මත්ස්‍ය සම්පත ලබාදීම අතින් ආර්ථිකව ද සුවිසල් වටිනාකමක් ඇති අත්‍යාවශ්‍ය පරිසර පද්ධතියකි.

ලෝකයේ සෑම රටකටම කලපු පරිසර පද්ධති උරුම නොවේ. මුහුද හා සම්බන්ධ වන රටවල් වලට පමණක් උරුම වන්නකි.

කලපු මුහුද හා සම්බන්ධ වන්නේ කළපු මෝයෙනි. එය අත්‍යාවශ්‍යයෙන්ම ගං මෝයක් වන්නේ නැත.

කලපුවක වැදගත්ම ලක්ෂණය වන්නේ ස්ථීරවම මහ මුහුද හා සම්බන්ධ වීමයි. එහෙත් ඇතැම් කලපු වර්ෂය පුරාම ස්ථීරවම මහ මුහුද හා සම්බන්ධ නොවේ.

කෙළසින් හෝ සිදුවන මහ මුහුද හා සම්බන්ධය නැතිව ගිය කළ කළපුවක වැදගත්කම අහෝසි වී කළපු පද්ධතිය විනාශයට පත් වේ.

වර්ෂා සමයේදී කලපුව පිරි එහි ජලය හා එහි රැස්වූ අපද්‍රව්‍ය මහ මුහුදට ගලා යයි. වාරකන් කාලවලදී මුහුදු ජලය වැඩිපුර කලපුවට ගලා එයි.

පෘතුවිය විශ්වයේ කොටසක් බවට අපට කියා දෙන අගනා සොබා සංසිද්ධියක් වන වඩදිය හා බාදිය ක්‍රියාවලිය හොඳින් දැකගත හැක්කේ කලපු පද්ධතිය ඇසුරිනි.

වඩදිය හා බාදිය ක්‍රියාවලිය අනුව දිනපතාම කලපුවේ ජල පරිමාව වෙනස් වේ.

මේ ලියුම්කරු කළුතර කුඩා කලපු පද්ධතිය ඇසුරෙහි තම ළමා විය ගත කර ඇත්තෙකි. විචිත්‍රවත් වඩදිය, බාදිය ක්‍රියාවලිය නරඹා එහි විශ්මිත බව මගින් විශ්වීය පැවැත්මක කොටස්කරුවෙකු වන බව පසක් කරගත්තෙකි.

කඩොලාන සහිත කලපුවක් යනු ඔක්සිජන් කම්හලකි. මීගමු කලපුව ලංකාවේ කලපු අතර සුවිශේෂි ව රැකගත යුතු කලපුවක් වන්නේ එය සතු කඩොල් ශාක සම්භාරය නිසාය. කඩොල් සපිරි කුඩා දූපත් රැසක් මීගමු කලපු කොමලිය සතුය.

අපේ ආදි මානවයාගේ ජනාවාස වූුයේ ගංගා නිම්න ආශ්‍රීතවය. එය මහා ජනපදකරණ ක්‍රියාවලියයි. ඒ හැරුනු විට අපේ මුතුන් මිත්තන් ජනාවාස වූ තවත් පරිසර පද්ධතියක් වෙන්නේ කලපු පද්ධතියයි.

මීගමුවේ පළමු සළකුණ

මීගමුව ජනාවාස වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ මීගමුවේ පැතිරුණු කලපු පද්ධතිය බව මතක් කර ගැනීම, මතක් කරදීම මේ මොහොතේ අතිශය වැදගත්ය.

වාරකන් නැති මෙන්ම ඇති කාලයේත් කලපුව ජීවනෝපාය සැලසීම මේ ජනාවාසයට ප්‍රධාන හේතුවකි.

මීගමුමේ මිනිස්සු බහුතරය කිතුනුවන් වූයේ ඒ ජනපදකරණයෙන් ශතවර්ෂ ගණනකට පසුය. ඒ බව මීගමුවේ කිතුනු ලකුණු ගැන කතා කරන සියල්ලෝ මතක් කරගත යුතුය. ඒ නිසා මීගමුවට හැඩය දුන්නු, මීගමුවට ජීවිතය දුන්නු පළමු ලකුණ කලපුවයි.

කලපු ලකුණ මැකුනත් නම් නෑ. කිතුනු ලකුණු රැක ගනිමුයි සිතන්නෝ මුලාවේ වැටුනෝ වෙති. මැවුම්කරු ඒ අමතක කොට මිනිස් මැවුම් ගැන පමණක් සිතන්නෝ වෙති.

කෘතඥතාවයක් නැති, සමිදුන්ගේ මැවිල්ල පසෙකලා ගොඩනැගිලි ගැන සිතන අපරාධකාරවෝ වෙති.

කලපු ධීවරයා

මීගමුවේ දෙව් මිනිස් ලකුණ අහස දෙසට ගොඩනැගුන දෙව් මැදුරු නොවේ. කලපු ධීවරයාය.

කලපුට ඉන්ධන වස විස එකතු නොකරන සොබා හිතැති (Eco Friendly) කර්මාන්තයක යෙදෙන සොබා දහමේ දරුවෝ දෙවියන්ගේ දරුවෝ ඔව් හූ වෙති. ඔව්හූ කලපුව මරන්නේ නැත.

රැකියාවට මස් අත්තක් සඳහා කඩොල් ශාකයක අත්තක් කැපුවාද ඒ පරිසර විනාශයන් නොවන පරිදිය. ඉන්ධන දහනය නොකරන ඔරුවක නැගී රිටක් අතට ගත් කලපු ධීවරයා මීගමුවේ සන්නාමය (Brand එක) විය යුතු බව අප පෙන්වා දුන්නේ මීට බොහෝ කාලයකට පෙරය.

ඒ ඔරුවේ නැගි විනාශ නොවුනු කඩොල් සම්පත අතරේ පරිසර මිහිර විඳින පාරිසරික සංචාරක ව්‍යාපාරයකින් (Eco Tourisim) මුළු ලොවම මහ සංචාරක ආකර්ශනයක් ගත් කේන්ද්‍රස්ථානයක් බවට මීගමුව කලපුව පත් කළ හැකිය. එය පරිසර පද්ධතිය වනසන, කලපුව වනසන කලපු ධීවරයා අහෝසි කරන විශාල ධීවර වරායකින් ඇති කරන සංවර්ධනයට වඩා ඉතා වටිනා තිරසර සංවර්ධනයකි. ධරණිය සංවර්ධනයකි.

මළ කලපුවක්

අන් බොහෝ කලපු වල මෙන්ම මීගමු කලපුවේ විනාශයට බලය ඇති ප්‍රධාන හේතු කීපයකි.

1. වාණිජකරණය
2. කාර්මිකරණය

3. නාගරිකරණය
4. ජනගහන වර්ධන

මේ සියල්ල විනාශකාරි වී ඇත්තේ සැලසුම්කරණයකින් තොරවීම නිසාය. මේ සැලසුම් සහගත නොවන ක්‍රියාවලිය නිසා අද මීගමු කලපුවට

කාර්මික අප ජලය එකතු වේ.
කලපුව අවට ජනයාගේ හා කර්මාන්ත ශාලාවල මළ අපද්‍රව්‍ය හා කැළි කසල එකතු වේ.
බෝට්ටුවලින් දහනය වන ඉන්දන ඇතුළු අපද්‍රව්‍ය එකතු වේ.
මේ අතර ඇති පොලිතින් ප්ලාස්ටික් තට්ටුවක් අද වන විට නිර්මාණය වී ඇත. ඒ නිසා කලපු පතුලට හිරු එළිය වැටීම අඩු වී ඇත. මත්ස්‍ය සම්පත ජලජ ජීවින් වර්ධනය අඩු වී ඇත.
ටිකෙන් ටික මළ කලපුවක් නිර්මාණය වෙති.

දෙවිදාණෝ මෙසේ අසනු නැතිද ?

“මම තොපිට සුන්දර ජීවි කලපුවක් තෑගී කළේමි. නුඹලා එය මළ කලපුවක් බවට පත් කළාහුය”

කලපු අම්මා ඝාතනය කර මරා දමන පාපතර දූපුතුන් බවට මීගමු ජනයා පත් වෙමින් සිටි.

මීගමුව, කුරණ, කටුනායක, පිටිපන, බසියාවත්ත, සෙත්තප්පාඩුව, කැපුන්ගොඩ, දුන්ගාලපිටිය උස්වැට කෙයියාව, ආදි කලපුව වටා ජනාවාස වී ජීවත් වන්නාවු ජනයාට කළ හැකි දැ අපමණය.

ඔව් හූ මහා පවුරක් සේ නැගී සිටියොත් කලපු අම්මා රැකිය හැකිය. එය මේ යුගයේ කිතුනුකමයි.

කිතුසර කණ්ඩායම