spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කීර්ති අත් අඩංගුවට ගැනීම ගැන ලංකාවේ මාධ්‍ය සංවිධාන එකතුවේ හැසිරීම ජාත්‍යන්තර කීර්තිධර මාධ්‍යවේදීන්ගේ දෝෂ දර්ශනයට..!

Must read

(ලංකා ඊ නිව්ස් -2021.අගෝ.23, ප.ව.5.45) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක ත්‍රස්තවාදී චෝදනා නගා කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රහස් පොලිසියේ රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් සිද්ධියෙන් දින 10 කට පසුව මාධ්‍ය සංවිධාන එකතුව විසින් පොලිස්පතිට යවන ලද ලිපිය, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස් අරගලයේ යුග පුරුෂයෙකු සේම ජාත්‍යන්තර කීර්තිධර මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රියගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. මාධ්‍ය සංවිධාන ‘ආඳා මාළු ඉරට්ටෙන් කනවා’ යැයි කියන සුනන්ද එම ලිපිය ‘ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සඳහා වන අරගලයෙහි අවවර්ණ කැළලක්’ බවද අවධාරණය කරයි. ඔහුගේ කර්තෘත්වයෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකා බ්‍රීෆ් හි ප්‍රසිද්ධ කර ඇති සුනන්දගේ ලිපිය සම්පූර්ණයෙන් පහත පරිදි ය.

ආඳා මාලු ඉරට්ටෙන් කෑම: කීර්ති රත්නායක අත්අඩංඟුවට ගැනීම සහ මාධ්‍ය සංවිධාන එකතුවේ ලිපිය

ලංකා ඊ නිව්ස් වේබ් අඩවියට නිතිපතා ලිපි සපයන මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක අත්අඩංඟුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකතුව විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපිය බරපතල අඩුපාඩු සහිත ය.

මෙම මාධ්‍ය සංවිධානයන්හි නායකත්වයේ සිටින බොහෝ දෙනෙකුට වඩා කීර්ති රත්නායක ලිපි ලියා පළ කර තිබේ. ඔහු විසින් මෙරට දේශපාලන සහ යුද්ධ ප්‍රධානීන්ට බරපතල චෝදනා ද ඉදිරිපත් කර තිබේ.

මාධ්‍ය සවිධාන එකතුවේ ලිපියට අනුව කීර්ති රත්නායක යනු කීර්ති රත්නායක ‘නැමැති’ පුද්ගලයෙකි.

එනමුත් එම ලිපියේම සදහන් වන තුෂාරී වන්නිආරච්චි සහ ආර්. සිවරාජා යන අය ‘නැමැති’ අය නොවේ.

කීර්ති රත්නායක ‘නැමැති’ අයකු වීමටත් අනෙක් දෙදෙනා එලෙස නොවීමටත් හේතුව මෙම ලිපියට අත්සන් තැබූ මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ට රටට කියා සිටිය හැකිද..?

දෙවනුව කීර්ති රත්නායක අත්අඩංඟුවට ගෙන ඇති බව මෙම සංවිධාන දන්නේ ඒ බව ලංකා ඊ නිව්ස් වෙබ් කතුවරයා ඔවුන්ට දන්වා ඇති නිසාය.

මෙරට පුවත්පත් සහ වෙබ් මාධ්‍ය විසින් කැපී පෙනෙන සේ පළ කරන ලද සිදුවීම, ලංකා ඊ නිව්ස් කතුවරයා විසින් දැන්වූ නිසා පමනක් තමන් දන්නේ යැයි මෙම ලිපියට අත්සන් තැබූ මාධ්‍ය සංවිධාන ප්‍රධානීන් කියන්නේ ඇයි?

තුෂාරි වන්නිආරච්චිගේ නිවෙස සෝදිසි කිරීම ගැන ද කියන්නේ ඇය එසේ කී නිසා මෙම සංවිධාන එය දන්නා බවයි.

එම ලිපියේම සඳහන් වන අනෙක් මාධ්‍යවේදියා ගැන එලෙස නොකියන්නේ ඇයි?

තවද මඩකළපුවෙහි මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්න කළ බව කියන එම ලිපිය ඔහුගේ නම සඳහන් නොකිරීමට ප්‍රවේසම් වෙයි.

ලිපියෙහි එන වඩාම බරපතල හිඩැස වනනේ කීර්ති රත්නායක මෙරට පවතින දුෂ්ඨතම නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට ගෙන ඇති බව සඳහන් කිරීමට අසමත් වීමයි. මෙම පනත යටතෙහි ඔහු චෝදනා ඉදිරිපත් නොකර වසර ගණනාවකට වුව රඳවා තැබිය හැකිය.

නීතිඥ හෙජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මෙන්ම කිවිවර අහ්නාෆ් ජසීම් සම්බන්ධයෙන්ද සිදුව ඇත්තේ එයයි.

කිර්ති රත්නායක කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයකු නොවේ. එසේ තිබියදීත් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 කට රඳවා තැබීම මාධ්‍ය සංවිධාන එකතුව හෙළා නොදකින්නේ මන්ද?

ඉතාම කණගාටුදායක කරුණ වන්නේ ජනමාධ්‍යවෙදීන් සහ ජනමාධ්‍යවේදිනියන් අත්අඩංඟුවට ගැනීමත් බිය ගැන්වීමත් හෙළා දැකින්නේ නැතිව ඔවුන් නීත්‍යානුකූල ලෙස අත්අඩංඟුවට ගන්නා ලෙසත් ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංඟුවට ගැනීමට කරුණු ප්‍රසිද්ධ කරන ලෙසත් පමණක් මාධ්‍ය සංවිධාන එකතුව විසින් ඉල්ලා සිටීමයි.

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සඳහා වන අරගලයෙහි අවවර්ණ කැළලකි.

‘ආඳා මාලු ඉරට්ටෙන් කනවා’ යැයි කියන්නේ කළ යුතු නිසා ආවාට ගියාට කරන මෙවැනි ප්‍රකාශ වලටය.

අවසාන වශයෙන් කියා සිටිය යුත්තේ මෙම මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ට මාටින් නිමොලර් මතකයට නඟා ගන්නා ලෙසය.

සුනන්ද දේශප්‍රිය

2021 අගෝස්තු 23

කීර්ති රත්නායක අත් අඩංගුවට ගැනීමෙන් සතියකට පසුවත් මාධ්‍ය සංවිධාන දැක්වූ නිහඬතාවය නිසා ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලය මාධ්‍ය සංවිධාන වලින් ඒ සම්බන්ධයෙන් කවර නම් ක්‍රියා මාර්ගයක් ගන්නේදැයි විමසීමෙන් දින තුනකට පසුව මාධ්‍ය සංවිධාන එකතුව විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

2021-08-23
චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධවයි..!

තම වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක නමැති අය ඉන්දියානු තානාපති කාර්යාලයට කිසියම් තොරතුරක් ලබා දීම නිසා දින අනූවක රැඳවුම් නියෝගයක් මත පොලිස් අත්අඩංගුවට පත් ව ඇති බව ලංකා ඊ – නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක මණ්ඩලය අප වෙත දන්වා ඇත. අත්අඩංගුවට පත්ව සිටින මාධ්‍යවේදියා නියමිත නීතිමය ප්‍රතිපාදන යටතේ පරීක්ෂණවලට භාජනය කරන ලෙස ද ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ද මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි පළමුවෙන් ඉල්ලා සිටිමු. ඒ, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ සිදුවීමෙන් බැහැරව වෙබ් අඩවිය පිළිබඳ වෙනත් තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳව පොලීසිය ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව ඊ-නිව්ස් සංස්කාරක මණ්ඩලය පවසන පසුබිමකය.

අධිකරණමය ක්‍රියාදාමයකදී, කිසියම් සිදුවීමකට අදාල මූලාශ්‍ර මිස තමන් වෙත තොරතුරු සපයන මූලාශ්‍ර හෙළිදරව් නොකිරීමේ වෘත්තීය වගවීමක් හා සම්ප්‍රදායක් මාධ්‍යවේදීන්ට ඇති බව ඔබතුමාට පැහැදිලි කරදීමට ද මෙය අවස්ථාවක් කර ගනිමු. එම නිසා කීර්ති රත්නායක සිදුවීමටට අදාල සමස්ත නිරවද්‍ය තොරතුරු සමාජ ගත කරන මෙන්ද නෛතික විධිවිධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරන මෙන්ද ඉල්ලා සිටිමු.

ඒ අතර පසුගිය දිනෙක අලුයම් කාලයේදී විශාල පොලිස් බලඇණියක් තමන්ගේ නිවෙස පරීක්ෂා කළ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක වන තුෂාරා වන්නිආරච්චි පවසයි. එසේම තමිලන් පුවත්පතේ කර්තෘ ආර්. සිවරාජා පදිංචි නිවෙසට රහස් පොලීසියෙන් යැයි කියා කිසියම් පිරිසක් ඇතුළු වන්නට උත්සාහ ගෙන ඇත. මඩකලපුවේ මාධ්‍යවේදියකුගෙන්ද ප්‍රශ්න කිරීමක් සිදු විය. මෙම මෑත කාලීන සිදුවීම්වලද පසුබිම පැහැදිලි නොවන අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සමාජ ගත කිරීම සෑම අතින්ම යහපත්ය.

මාධ්‍යවේදීන් තැති ගැන්මට ලක්වන ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ නිදහස අවුරාලන හා වෘත්තීය කටයුතු අකර්මණ්‍ය විය හැකි තත්ත්වයක් වර්ධනය වීමට ඉඩ සළසන නිසා සෑමවිටම නිසි නෛතික ක්‍රමවේද තුළ කටයුතු කරන බවට සහතික වන මෙන්ද, ඔවුන්ට අදාල අත්අඩංගුවට ගැනීම්වලදී, අත්අඩංගුවට ගැනීමට බලපෑ නිශ්චිත හේතු සමාජ ගත කරන මෙන්ද ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටිමු.

මාධ්‍ය සංවිධාන එකමුතුව

ධර්මසිරි ලංකාපේලි,
ලේකම්,
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

සීතා රංජනී,
කැඳවුම්කරු,
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

දුමින්ද සම්පත්,
සභාපති,
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

එන්.එම්.අමීන්,
සභාපති,
ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

කනපතිපිල්ලේ සර්වානන්ද
ලේකම්
දෙමළ මාධ්‍ය සංසදය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි,
ලේකම්,
ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article