කුෂ් ගෙනා භික්ෂුන් 23 දෙනා මැයි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට ! මාධ්‍යවේදීන්ට ‘ලකේ ගල හිමිගෙන්’ බාධා 

0
82

 

තායිලන්තයේ සිට “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ලබන මැයි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය ඊයේ (02) නියෝග කළාය.

රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු එම පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබා දිණි.

තායිලන්ත සංචාරයක නිරත වී අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණි චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 112ක් සොයාගැනීමත් සමඟය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරම අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අනුව, අමිතානන්ද නම් චීවරධාරියා ගම්පහ, මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ඔහුගේ මෙහෙයවීමෙන් මින් පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවත්, ඊට ආධාර අනුබල දුන් තවත් අයෙකු අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

මාධ්‍යවේදීන්ට බාධා

මෙම නඩුව විභාග වූ අවස්ථාවේ අත්අඩංගුවට පත් භික්ෂූන්ගේ සහායට අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි, “ලකේ ගල හාමුදුරුවෝ” ලෙස තමන් හඳුන්වාගත් භික්ෂුවක් එහි රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදීන්ට බාධා සහ හිරිහැර වන අයුරින් හැසිරුණු බව වාර්තා වේ.

එම භික්ෂුව සිය ජංගම දුරකථනයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතා අධිකරණ පරිශ්‍රයට ගෙන්වාගෙන, මාධ්‍යවේදීන් ඉවත් කිරීමට දැඩි උත්සාහයක යෙදුණු බවද දැකගත හැකි විය.

විවෘත අධිකරණ වාර්තාකරණය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියක් බවත්, ඊට බාධා කිරීම මාධ්‍ය නිදහසට එල්ල කරන ලද අභියෝගයක් බවත් මාධ්‍ය ක්‍රියාකාරින් පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here