spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගමෙන් පැමිණ වමෙන් සටන් කළ අපේ ගුරුතුමා

Must read

සබ වෙල්ගම(6.15 am ) මීගමුව ,  තලාදූව අංක 74/  3   දරන  තැන  ,නිදහස්  පරිසරයක  ජීවිතයේ  නිදහස්  සුව  විදිමින් තවමත් විවිධ  සමාජ  කටයුතුවල   යෙදෙන  ඔහු  නමින්   ස. බ.  වෙල්ගමය.  දක්ෂ  ගුරුවරයෙකුවූ  ඔහු  කවියෙකුද  විය.වෙල්ගම  සර්  අපි  හදුනාගන්නේ  විවිධ  සමාජ  අසාධාරණයන්ට  එරෙහිව  කරන උද්ගෝෂණ  ,  පිකටින්,  සහ  විරෝධතාවන්   වලදී  නිතර  මැදිහත්වන  මැදිහත්  කරුවකු  ලෙසය. ඇත්ත පුවත්පතට සහ වෙනත්  සගරා  ආදියට  ලිපි  සහ  කවි  නිර්මාණය  කළ  ඔහුගේ කවි  බස තුළ  සිටි  සබ  මතුවී  පෙනින. එවන්  වූ  ගුරුවරයෙකුගේ   වතගොත  ගැන දැන ගැනීමට  අප  කෙටි  කතාබහක  යෙදුනේ  මෙසේය.

ඔබේ  පවුලේ  විස්තර  කොහොමද?

අපි  උපන්නෙ පවුල්  40ක්  පමණ  සිටින අඹන්විට  කියන  පොඩි  ගමේ. මේ  ගම  පිහිටල  තියෙන්නෙ  ගම්පහ.  අපේ  තාත්ත  වෙල්ගමගේ  සිමියොන්  පෙරේරා. අම්ම  ජයලත්  බලගල්ලගේ  එමලියානා  ඩයස්.  මට  සහෝදරවරු  3ක්  සහ  සහෝදරියන්  3ක්  හිටිය.  මේ  6දෙනාගෙන්   4දෙනෙක්  ගුරුවරු. අපේ  තාත්ත  කුඹුරු  ගොව්තැන  කළා.  අත්තනගලු  ඔය  අපේ   ගෙදරට  ලඟයි.අපි  පොඩිකාලෙ  තාත්ත  විසිදැල  ගහල අත්තනගළු  ඔයේ  මාළු  අල්ලනව. ඒ නිසා අපිට  මාළු වලින්  අඩුවක්  තිබුනෙ නෑ. තාත්ත  රස්සාවකළේ  පෙරකදෝරුවෙක්  ලග  ඔප්පු ලියන  එක.  ඒනිසා  අපේ  තාත්තගෙ  අත්  අකුරු   ලස්සනයි.  ඒ  හැකියාව  අපේ  ගෙදර  හැමදෙනාටම  තිබුන. තාත්තට   ලොකු  පඩියක්  ලැබුනෙ නෑ.  ඒ  වුනාට  අම්ම සියළු දේවල්  පිරිමහගෙන  දරුවො  6දෙනෙක්  නඩත්තු  කළා.
මට  ඉන්නෙ   දුවල  දෙන්නෙක්.  එක්කෙනෙක්  කැළණිය  විශ්වවිද්‍යාෙල  වානිජවේදී  විෂය  කළා.
අනිත්  එක්කෙනා   කොළඹ  විශ්වවිද්‍යාෙල   නීති  උපාධිය  කළා.  මට  ඒ දවස්වල  දරුවන්ගෙ  වැඩ  බලන්න  වෙලාවක් නෑ.  ඒ  වගේම   මට   උදේ  7.00ට   කන්න  ඕන.  නෝන   තමයි  ඒව  සියල්ල  අඩුවක්  නැතිව  කළේ.  96න්  පස්සෙ  තමයි   ඉලක්කම්  හතරෙ  පඩියක්  ලැබුනෙ.  මගෙ  නෝන  නිසා  සියල්ල  පිරිමහගෙන  කරන්න  පුළුවන්  වුනා. එයා  රස්සාවක්  නොකළ  නිසා  ඒක  ලොකු  පහසුවක්  වුනා.

වෘත්තීය  ජීවිතය  කොහෙමද?

1963 දී මම  ශිෂ්‍යගුරු  විභාගයෙන්  සමත්වුනා.  1964  පෙබරවාරි  3 ගුරු පත්වීම  ලැබුන  මාබිම  විද්‍යාලංකාර  විද්‍යාලයට.  ගුරුපුහුණුව  සදහා  1967  දි  බෝලවලාන  ගුරුඅභා්‍යාස  විද්‍යාලයට  යනව.  1969  හම්බන්තොට  වීරකැටිය  හිගුරමුලන   විදුහලට  යනව. ඒ ස්කෝලෙදි  විවිධ  සමාජ  කටයුතුවලට  සම්බන්ධ  වුනා. රුහුණු  පුත්තු  කියල තරුණ  සංවිධානයක්  හැදුව.ඒකෙ  සභාපති  මම. ඊට  පස්සෙ  පමුණුගම  මහ  විද්‍යාෙලට  ආව.  අවුරුදු  2ක්  පමුණුගම  මහවිද්‍යාෙල  තමයි  වැඩකළේ.  1974  නැවත  කුරුණෑගල  නාරම්මල  කනිෂ්ඨ  විද්‍යාෙල  වැඩකළා  1976දක්වා.  1977  මිනුවන්ගොඩ තම්ම්ට  කනිෂ්ඨ  විද්‍යාෙල  වැඩකරල  නැවත  1980  දි  මීගමුවටම  ආව. 2001  දක්වා  මෙහෙ  තමයි  වැඩකළේ. ඒ  අතරතුර   පිටිපනට  මාරුකළත්   දින3යි   හිටියෙ.

සාහිත්‍ය  කලා කටයුතු  කොහොමද?

මම  ඒදවස්වල  රුසියන්  පරිවර්තන   තමයි  වැඩියෙන්   කියෙව්වෙ. කවිලිව්ව .  සංගිතයත්  කලා.  රෝහන බැද්දගේ   වගේ  කලාකාරයින්ට   කැමතියි.  ඇත්ත  පත්තරේට  සම්බන්ධවෙල  ලිපි සහ  කවි  ලිව්ව. ඥානාර්ථ  ප්‍රදීප  පත්තරේටත්  ලිව්ව.  මට  ගොක්කලාවත්  ටිකක්  පුළුවන්.  මංඩප්ප, පොඩි තොරන්,  සේසත් වගේ  ගොක්කොළ  වලින්  කරන  සැරසිලි  වලට  දන්න  අය  එනවඒ  වගේ  දේවල්  කරගන්න  මාව  හම්බවෙන්න. සමහර  උත්සව  ආදියට  මම  ඒවගේ  නිර්මාණ  වැඩ  කරනව. ඇත්ත  පත්තරේ   ගත්ත  ගමන්  කියවන්නෙ   කතුවැකිය.

සමාජ  සහ  දේශපාලන  කටයුතුවලට  සම්බන්ධවෙන්නෙ  කොහොමද?

අපි  ඒදවස්වල  විවිධ  සංවිධාන  සමග  වැඩ කළා.  අරගලවලට  සම්බන්ධ  වුනා.  ගෙදර  වැඩ  ගැන  ලොකු  බරක්  තිබුනෙ නෑ.  ලොකු  අරමුණු  තිබුනෙ නෑ  කාර්බාර්  වලින්  යන්න  වගේ.  පාපැදියෙන්  තමයි  ස්කෝලෙ  ගියෙ. පස්සෙ   නෝනට  ලැබුනු  සල්ලි  වලින්   මෝටර්  බයිසිකලයක්  ගත්ත.  මීගමුවට  ආවට  පස්සෙ  මුලින්ම  හම්බවුනේ   නව සමසමාජ  පක්ෂෙ   සහෝදරවරු.  ඒ  අයත්  එක්ක  වැඩටිකක්  කළා.  කොහොමත්  අපි  වමට  බර  මිනිස්සුනෙ. මීගමුව  කියන්නෙ  විශේෂ  නගරයක්.  විවිධ  ජාතීන්  ඉන්නව. ගමේ  අපි  හිටපු  තැන  එක  දෙමළ  කඩයයි  තිබුනෙ. මීගමුව  සංහල,  දෙමළ,  මුස්ලිම් ,බර්ගර්   සියළුදෙනා  එක්ක  එකට  ජීවත්  වෙන  නගරයක්. අපි  වමේ  අදහස්  ඇතිව   වැඩකළ  නිසා  යම්  පිළිගැනීමකුත්  සමාජය  ඇතුලෙ  තිබුනා.  1980  වර්ජනේදි  අපේ  වර්ජනයට  මැදිහත් වෙල  රස්සාවල්  අහිමිවෙච්ච    අය  සමග  විවිධ  ආර්ථික  වැඩවලටත්  මම  සම්බන්ධවුනා.. අපි  ඉල්ලුවෙ  රු.  300/කින්පඩිවැඩි  කරන්න  කියලයි. ඒ කියන්නෙ  දවසකට  රු.  10යයි.  ඒ වුනාට  ජේ. ආර්  රු. 25000/  කින්  තමන්ගෙ  පඩිය  වැඩිකරගත්ත.  ඒ  අනව  තමයි  අපි  සංවිධානයවෙල  ජනාවබෝධකේන්ද්‍රෙය  කට්ටියත්  එක්ක  පෝස්ටරයකුත්  ඇලෙව්වෙ.ඒ  වෙලාවෙ  අපේ  10ක්  විතර  පොලිස්  අත්අඩංගුවට  ගත්ත. අපි  දවසක්  කූඩුව  ඇතුලෙ  හිටිය.

බදුගෙවන්නන්ගේ  සංගමයෙ  මම  සභාපති  ලෙස  අවුරුද්දක්  වැඩකළා.  ඒ  කාළෙ  අපි  උත්සාහ කළේ  මේ  සංගමය  ශක්තිමත්ව  ගොඩනගන්නයි.  නමුත්  හැමදාම  අඩුපාඩු  සහිතව  තමයි  මෙහි  වැඩකටයුතු  සිදුවුනේ.  වරිපනම්   වැඩිකිරීමට  එරෙහිව  අපි  විවිධ  ක්‍රියාකාරීත්වයන්ට   යොමුවුනා.  මම  යෝජනාවක්  ගෙනාව  මීගමුවෙ  සියළු සිවිල්  සංවිධාන   එකතුකරල  එක  සංවිධාන   ව්‍යුහයක්  හදන්න.නමුත්  ඒකට  සමහරු  කැමති  වුනේ  නෑ. ඒදවස්වල  තලාදූව  පාරෙ  තිබුනු  මස්  මඩුව  නිසා මේ ප්‍රද්ශයේ ජනතාවට  ගොඩක් ප්‍රශ්ණ  මතුවෙල  තිබුන. නගරසභාවෙන්   තමයි  ඒක  කරගෙන  ගියෙ.  බල්ලො  කපුටො   මස්  කෑලි  එහෙ  මෙහෙ   තියාගෙන  කනව.   ඒ  කිට්ටුව  සෑහෙන්න  ගදයි.    අපි  මේ  මස්  මඩුව  නතරකරන්න   සෑහෙන්න  අරගල  කළා.  තලාදූව  සුභසාධන  සමීතියෙන් තමයි  මේ  සදහා  වැඩකළේ. ප්‍රෙද්ශයේ  විවිධ  ප්‍රශ්ණවලට  මැදිහත්වූ   මේ  සමීතියේ  සභාපති  ලෙස  මමකටයුතු  කළා.

නගරයේ   සංවර්ධනය  ගැන  ඔබේ  අදහස….

මීගමුව  කියන්නෙ  සම්පත්වලින්  පිරුනු  නගරයක්.  මෙහෙ  අල්ලන   මාළු  හරියට   කලමණාකරණය  කළොත්   හොද  මාළු  ටිකක්  හැමෝටම  කන්න  පුළුවන් .  හොද  ශීතාගාර   පහසුකම්  ඇතිකරල,  මාළු  ටින්  කරන  කර්මාන්ත  ඇතිකරල   සෑහෙන  දියුණුවක්  ලබන්න  පුළුවන්.  මීගමු  මාළු  වලට  ගම්ප්‍රෙද්ශවල  අය  හුගක්  කැමතියි.   හැමිල්ටන්  ඇල  සංචාරක  ව්‍යාපාරය  පැත්තෙන්   යොදාගන්න   පුළුවන්  මාර්ගයක්.  මේ  ඇල  දියුණු කරන්න  ඕලන්ද  රට  වුනත්  කැමති  වේවි   ආධාර  කරන්න.

ස්කෝල   ගැන  කිව්වොත්  අඩු  දියුණු  ස්කෝල  නගාසිටුවන්න  වැඩපිළිවෙලක්  හදන්නපුළුවන්.  මේසදහා  පාලකයො  සැබෑ  වුවමනාවකින්  මැදිහත් වෙන්න  ඕනෙ. උදාහරණයක්  වශයෙන්  තිල්ලන්දූව  ගන්න  පුළුවන්.  මේ  ස්කෝලෙට  තියෙනව  අක්කර  3ක  විතර  පිට්ටනියක් .  නමුත්  ළමයි  200ක්වත්  නෑ.  ශාන්ත  පීතර  විද්‍යාෙලට  පිට්ටනියක් නෑ,  ශාන්ත  මරියා  විදුහලටත්  නෑ,  අසිරිමත්  දේවමාතා  විදුහලටත් නෑ.  ස්කෝල  දෙක තුනක්  එකට  සම්බන්ධ  කළොත්   තිල්ලන්දූව  ස්කෝලෙත්  සම්බන්ධ  කරගෙන   යම්   දියුණුවක්  ඇතිකරගන්න  පුළුවන්.  මේ  නිසා  මේ  සදහා  වැඩපිළිවෙළක්  සැකසිය  යුතුයි.  මොකද   මීගමුව   ක්‍රීඩා  අතින්   දියුණු  කරන්න  පුළුවන්  තැනක්,   මෙහෙ  හොද   වොලිබෝල්  කණ්ඩායමක්  හිටිය.

ගමේ   උපන්  හැදුනු  වැඩුනු  නිසා  ගැමි  ගතියද,   වමේ   ක්‍රියාකාරී  වීම  නිසා  ලැබු   දේශපාලන  දැනුමද,  සංගීතය,  කවිය ,  සාහිත්‍ය  වැනි  දෑ  තුළින්  ඔහු  සතුකරගත්  විදගැනීමේ  හැකියාව  සහ  මානව  ගුනාංගද  සහිතව   තවමත්  සමාජ  මෙහෙවරෙහි  යෙදෙන  වෙල්ගම  සර්   මීගමුවට  සම්පතකි.  ඕනෑම  සභාවක්  තුළ  තම  අදහස්  නොපැකිළව  ඉදිරිපත්  කරීමට  ඔහු  පසුබට  නොවෙයි.  පොදු  වැඩ  තුළ  කරන  කටයුතු  ඉතා  සතුටින් සහ  ඒ  පිළිබදව  වගකීමෙන්  කටයුතු  කිරීම  ඔහුසතු   යහපත්  ගුනාංගයකි.  මේ  සියල්ල  ඔහු  ගොඩනගාගත්  දැක්මේ  ප්‍රතිඵලය.  ඒ  දැක්ම  ඔහු විසින් කරන  ලද  කාව්‍ය  නිර්මාණ  තුළින්  හදුනා ගතහැක.  අපි  ඔහුට  දිගු  කාලයක්  සමාජ  මෙහෙවරෙහි  යෙදෙන්නට  ශක්තිය  සහ  ධෛර්්‍ය   පතමු.

සටහන – සැම්සන් ඥානසිරි


 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article