spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දම්මික….!

Must read

116879271_3384330321623101_6696877228699513524_n

ගෙවී ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ මත්තෙගොඩ සම්බුද්ධි වත්ත මාවතේ නිවෙසේ සිට දම්මිකව ඔසවා ගෙන සුදු වාහනයක දමා රැගෙන යනු අපි බලා සිටියෙමු.

මීට වසර ගණනාවකට කලින් එක්තරා හැන්දෑවක දී දම්මිකව ගෙදරින් ඔසවා ගෙන සුදු වාහනයක දමා රැගෙන ගියේ කාටත් හොර රහසිනි. ඊළඟට නියමිතව තිබුණේ අතුරුදහන් කරවීම ය. ඒ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නූලෙනි.

ඒ අනතුරුදායක දිනයට පෙර දිනයේ ඔහු රාත්‍රිය ගත කළේ මීගමුවේ අපේ ගෙදර ය. අපි සැහැල්ලූවෙන් කයිවාරු කෙළිමින් සකෙ බීවෙමු. බෙහෝ කලෙකට පසු හෙළි වුණේ එදින ද දම්මිකගේ සුදු වෑන් රථය අපේ ගේ අසළ එළිවෙනතුරු ම කුරුමානම් අල්ලා ඇති බව ය.

ඔහු මරණය අද්දරට ම ගොස්, මරණයේ උණුසුම බාගෙට විඳ ජීවිතය බේරා ගැනීමට වාසනාව ලද්දෙකි. මේ මාරාන්තික අත්දැකීම ගැන ඔහු මුලින් ම විස්තර කළේ තිගැස්මෙනි. නමුත් ටික දිනක් යද්දී ඒ අත්දැකීම රස විඳින්නට පමණක් නොව, රස කර කියන්නට ද ඔහු හිත හදා ගත්තේ ය. ඒ දම්මිකගේ හැටි ය.

ඔහුව අකල් මරණයකට ගොදුරු කළ පිලිකාව ද ඔහු මැදිහත් සිතින් පිළිගත්තේ ය. මහරගම අපේක්‍ෂා රෝහලේ සේවය කරන අපේ හිතවත් වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මා සමග කීවේ, ජීවිත කාලය තුළ තමන් ඇසුරු කළ රෝගීන් අතරින්, රෝගය ගැන, රෝගය කළමනාකරණය කර ගැනීමේ ප්‍රතිකාර ගැන, ඖෂධ ගැන පමණක් නොව, කෙටි කලෙකින් තමන්ට හිමිවන ඉරණම ගැන පූර්ණ තමන්ට හිමිවන ඉරණම ගැන පූර්ණ අවබෝධයක් තිබූ එක ම පුද්ගලයා දම්මික කියා ය.

වසර හතරක විශිෂ්ට රාජ්‍ය තාන්තික සේවාවක් නිම කොට ඔහු ජපානයේ තානාපති ධූරයෙන් සමුගෙන ලංකාවට ආයේ පසුගිය දෙසැම්බර 31 වන දා ය. ජපානයේ ඔහු ගත කළ අවසන් දින කීපයේ දෙසැම්බර 29 වන දා දක්වා ඔහුට තනි රැක්කෙමි.

එවිට දීර්ඝ රාජකාරි ජීවිතයකින් විශ්‍රාම ලබා සිටි මට ඔහු කීවේ ලියන කියන දේට අමතරව යූ ටියුබ් නාලිකාවක් අරඹන ලෙස ය. ඊට මාස කීපකට කලින් ද දම්මික මට මේ යෝජනාව ඉදිරිපත් කළේ ය.

‘ලංකාවට ආවා ම මමත් උදව් වෙන්නම්. මේ වැඩේ ඉක්මණින් පටන් ගන්න.’ ඔහු කීයේ ඇල්කොහොල් රහිත බීර උගුරක් බී කජු මදයක් හපමිනි. වෛද්‍ය උපදෙස් මත සෑහෙන කාලයක සිට ඔහු මදුපැනක් තොල ගෑවේ නැත. ඊට පසු ඔහු මෙහෙමත් කීවේ ය.

‘හැබැයි මාර්තු විතර වෙද්දි මේ ලෙඩේ ටිකක් අවදානම් පැත්තකට හැරෙන්න ඉඩ තියෙනවා’.

දුමින්ද අර කතාව කියද්දී මට සිහියට ආයේ දෙසැම්බරයේ දම්මික මට කී මේ කතාව ය.117375799_3384330244956442_1847820571829904115_n

රෝගී තත්වය මුල් ම හෝඩුවාව ලැබුණේ ජපානයේ තානාපති ධූරය බාර ගෙන යන්න ඔන්න මෙන්න කියා තිබිය දී ය. අයිටීඑන් සභාපති ධූරයෙන් සමුගැනීමේ කතාව ඔහු කළේ ඊට පසු දා ය. ඒ කතාවේ යටි පෙළ සැබැවින් ම ඔහුගේ අනාගත ඉරණම බව දැන සිටියේ අයිටීඑන් කාර්ය මණ්ඩලයේ එක් කෙනෙකු පමණි. ඒ අවසන් මෙහොත වන තුරු ම දම්මික උපස්ථානයෙහි ලා කැපවූ ලාල් මාවලගේ ය.

දම්මික අකුරු වල රහ යසට මතු කර ලියන්නට හපනෙකි. පැණි වළලූ තීරු ලිපිය ඊට කදිම උදාහරණයකි. මට මහක හැටියට මුල්ම කාලයේ ඔහු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගැන ලියා තිබූ එක් වැකියක් මට තවම මතක ය. සුනන්දගේ මුළු මහත් හැසිරීම් රටාව ම දම්මික එක වැකියකට කොටු කළේ සූර ලෙස ය. ‘මහාචාර්ය සුනන්ද බෙල්ල උරුක් කොට මං දිහා බැලූවා.’ සුනන්ද බලන ආකාරය ගැන මීට වඩා ලියන්නට හොඳින් ලියන්නට කිසිදු ජගතෙකුට බැරි බව සුනන්ද හා සමාගමයේ යෙදුණෝ දනිති.

මුල දී සිනමාව හා සංනිවේදනය පිළිබඳව පොත් කීපයක් ලීව ද, පසුව දම්මික ඒ රස ලියැවිල්ල පැණිවළල්ලට සීමා කරගත්තේ ය. පැණි වළල්ලට මුල පිරුවේ ද මහචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ වදයෙන් බේරීමට බැරි තැන ය. ඒ ගැන පැණි වළලූ පෙරවදනේ දම්මික සඳහන් කරන්නේ මෙහෙම ය.

‘පැණි වළලූ ලිවීමටත්, එය පොතක් වශයෙන් පළ කිරීමටත් පීඩනය සැපයීමෙන් නොනැවතී උදව් උපකාර කළ තවත් කෙනෙක් සිටිති. ඔහු මට “ලියන්න ලියන්න” කියමින් මගේ ජීවිත කාලය පුරා ම කරදර කළේ ය. මා කිසිවක් නොලියන කල උකටලීව පැත්තකට විය. ඒ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ය. ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාද, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ද, නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණිය ද නිතර නිතර පැණි වළලූ රස ගැන කතා කළෝ ය. නම් ලියා කෙළවර කළ නොහැකි තවත් එබඳු අය බොහෝ වෙති.’

කාර්ය බහුල රාජකාරි ජීවිතය අතර කෙසේ හෝ ඉඩ කඩක් සොයා ගෙන වෙනත් නිර්මාණ කාරියකට අත ගසන්න යැයි බොහෝ මිතුරෝ ඉල්ලා සිටිය ද ඔහු පැණි වළල්ලේ ම එල්ලී සිටියේ ය.

ලියන්නට විතරක් නොවේ. ඔහුට කතා කරන්නට ද හැකි ය. අති දක්‍ෂ කථිකයෙකි. තැනේ හිටියට ඇණේ ගසමින්, සභාවේ අවධානය මුල සිට අග දක්වා ම එක සේ රඳවා ගැනීමේ බුහුටිකමින් පරිපූර්ණ වූවෙකි. සිංහල බසින් පමණක් නොවේ. ජපන් බසින් ද එසේ ම ය. ‘දම්මික සෙන්සෙ අපිට වැඩිට හොඳට ජපන් කතා කරනවා’ කියා ජපන්නු කියති. ඇත්තෙන්ම දම්මික ජපන් බස හැසිරවීමෙන් ජපනුන්නට වඩා හපන් ය.

ජපන් අධිරාජයා සමග සමාගමයේ යෙදෙමින් හයිකු කවි ගායනා කිරීමේ දුර්ලභ අවස්ථාව ඔහුට උදාවුණේ ඒ නිසා ම ය.

ඔහු හොඳ සිත්තරෙකි. ඒත් සිත්තර කර්මාන්තයේ යෙදුණේ ම නැති තරමි ය. ගෙදර එල්ලා ඇති චිත්‍ර කීපයකින් එහාට සිත්තර කලාව ගෙන ගිය බවක් මා දන්නේ නැත. ඇඳපන් ඇඳපන් කියා අප කීවාට ඇන්දේ නැත.

ධර්මරාජයේ පාසැල් යන අවදියේ විනෝද චාරිකාවන්හි රබන් කාරයා වූයේ දම්මික ය. රබාන, බොංගෝව පමණක් නොව තබ්ලාව ට ද අත හුරු ය. අපස්වර මතු නොවන අයුරින් ගායනා කරන්නට ද පුළුවන. පසු කාලීනව මේ සංගීත හැකියාවන් එළි දැක්වුණේ සමන් කුඹුකගේ මිතුරා ගේ ගෙදර පැදුරු සාදවල දී ය. ජපානයේ සතුටු සාදයක දී ඉඳ හිට ය. ජපානයේ පැවති සංගීත ප්‍රසංග දෙක තුනක දී මම අත්වැල් ගායනා සඳහා දම්මිකට වේදිකාවට ආරාධනා කළෙමි. නන්දා මාලනී, අමරසිරි පීරිස් සමග පමණක් නොව උමාරියා සමග ද ප්‍රසිද්ධ වේදිකාවේ අත්වැල් ගායනා කරන්නට ඔහු ආවේ ය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා සංනිවේදන අංශයේ ආචාර්ය වරයෙකු ලෙස ඔහු ශිල්ප දැනුම දරු දැරියන්ට බෙදා දුන්නේ ය. සමහර ආචාර්ය වරුන්ගේ දේශන ශාස්ත්‍ර දැනුමෙන් පෝෂිත ය. එහෙත් නීරස ය. එහෙත් ඕනෑ ම නීරස දෙයක් පැණි වළල්ලක් සේ රස කිරීමේ කලාව දම්මික ප්‍රගුණ කර සිටියේ ය. ඒ නිසා ඔහුගේ දේශන දැනුමෙන් පමණක් නොව රසයෙන් ද පිරී තිබිණි. ශාස්ත්‍ර ඥාණයත්, ජනප්‍රියත්වයත් එක සේ හිමි කරගත් දේශකයන් අතර දම්මික දෙවැනි වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පමණක් බව මගේ හැඟීම යි

ජපානයේ විවිධ පළාත්වල සංචාරයේ යෙදෙන විට දම්මික ඊට එක් කරගැනීමට අපි ලොල් වූයේ ඔහු ඕනෑම දේකට ඔරොත්තු දෙන ගමන් සගයෙක් නිසා ය. ජපානයේ වෙසෙන ශාන්ත, බුද්ධි හා ක්‍යෝ චං සමග අප ගිය ගමන් කීපයකට ම ඔහු එක් විය. හොක්කයිදෝ ගමන ඉන් එකකි. පෙර කී මිතුරන්ට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දිමුතු සහ සංගීතවේදී නවරත්න ගමගේ ද මේ ගමනට හවුල් කරගන්නට ලැබීම සතුට වඩන්නක් විය.

හොක්කයිදෝ වේ සප්පරෝ නුවර අමු මාලූ අවන්හලක් දෙදරවමින් අපි සිංදු කීවෙමු. රහට සිංදු කියන, වතුර වගේ ජපන් කතා කරන, කරට අතදමා තමන් සමග සෙල්ෆි ගසන තරුණ පෙනුමැති කැරලි කොණ්ඩකාරයා ශ්‍රී ලංකාවේ තානාපති බව අවන්හලේ සේවය කළ ජපන් කෙල්ලෝ දැන සිටියේ නැත.

මේ සියලූ විනෝද ජනක අවස්ථාවන්ට දම්මික සහභාගී වූයේ පිලිකාවට ප්‍රතිකාර ගන්නා අතරතුර ය. ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් ප්‍රශස්ථ සේවාවක නිරත විය. ආගමික හා සමාජ කාර්යයන් සඳහා එක් විය. ජපානයේ ඇති ලාංකේය විහාරස්ථාන ඔහු තරම් ළඟින් ඇසුරු කළ වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නැති තරම් ය. පිලිකාව සමග පොර බදිමින් සිටිය ද ඔහු සිය සේවාව කාර්යක්‍ෂම හා විශිෂ්ට අන්දමින් ඉටු කළේ ය.

පෙරළා ලංකාවට පැමිණි පසු මා ඔහුට යෝජනා කළේ ඉදිරි ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ය. දම්මික පස්ස ගැහුවේ ය. දොස්තර ජයන්ත බලවර්ධන මගේ සහෘදයෙකි. මම ඔහුට කතා කොට දිනයක් වේලාවක් වෙන් කර ගත්තෙමි. ඔහු හමුවන ලෙස දම්මිකට බල කළෙමි.

සිය බාල සොහොයුරෙකුට මෙන් දම්මික ඇලූම් කළ සගයා ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර ය. දොස්තර බලවර්ධන හමුවීමට දම්මිකව රැගෙන ගියේ ප්‍රණීත් ය. පසුව ප්‍රණීත් කීවේ සිය වෛද්‍ය වාර්තා සැලකිල්ලෙන් නිරීක්‍ෂණය කරන තුරු දම්මික සැහැල්ලූවෙන් බලා සිටි බවය. ඉන් පසු කටහඬ අවදි කළ බව ය. ‘ඩොක්ටර් තව කොච්චර කාලයක් මම ජීවත් වෙයි ද? මම මේක අහන්නේ වෙන මොකටවත් නෙවෙයි. සරෝජායි, දුවලා දෙන්නයි වෙනුවෙන් කරන්න අතපසු වෙච්චි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවරයක් කරලා දාගන්න ඕනෑ..’

මා දන්නා තරමට දම්මික ඒ සියල්ල ද කළේ ය. මරණයට ද සූදානම් වූයේ ය. ඇඳුම් පැළඳුම් හා පෙනුම ගැන ඔහු ජීවිතය පුරා බොහෝ සෙයින් සැළකිලිමත් විය. අප මෙන් අතට අහුවෙන මොකක් හෝ ඇඳ පැළඳ ගැනීම ඔහුගේ සිරිත නොවී ය. අවසන් ගමන් යන ඇඳුම් කට්ටලය ද ඔහු කලින් ම තෝරා ගත්තේ ය. ටයි පටිය පවා. දේහය තැන්පත් කරන පෙට්ටියේ මෙන් ම බිම එලන පලසෙහි වර්ණය ද තෝරා ගත්තේ ය. දේහය අසළ තබන පින්තූරය සකස් කර ගත්තේ ය. ජපානයේ ගුරු රස්සාව අතැර දමා තමන් බැලීමට පැමිණීමට සූදානමින් සිටි බාල දියණිය රුචීට නොපැමිණෙන ලෙස බල කළේ ය. ‘තාත්තා ඔයාගෙන් ඉල්ලන්නෙ එක ම එක යි. එන්න එපා.’

මිය යන්නට සුළු වෙලාවකට කලින් වැඩිමහල් දියණිය සකී ළඟට ගෙන ‘මට දැන් යන්න වෙලාව හරි’ කීවේ ය. සරෝජාත්, සකීත් ඉදිරිපිට සිනාවක් පා යන්න ගියේ ය.

ජීවිතයේ අන්තිම කාලයේ තවත් මොනවා හෝ ලියන්නට ඔහුට සිතක් පහළ වී තිබුණ ද ලියන්නට කාලයක් තමන් වෙත ඉතිරිව නැති බව ඔහු අවබෝධ කරගෙන සිටියේ ය. නමුදු ලිවීමේ ආසාව දුරස් කරගත්තේ නැත. ලිවීම ගැන සිහින මැව්වේ ය.

‘ආයෙම ලියන එක පටන් ගන්න තැනක් මට අහුවුණා.’ දිනක් රෝහල් ඇඳේ සිට මාවලගේ ට කිව්වේ ය. ‘අර මට රිද්දන්නේ නැතුව ඉන්ජෙක්සන් ගහන මිස්. එයාගෙ ඇස්දෙක බුදුහාමුදුරුවන්ගෙ වගේ කරුණාව යි. ඒ ඇස් දෙක ගැන තමයි ලියන්න හිතුවෙ.’ දම්මික කීවේ ය.

ඒත් ඒ ගැන ලියන්න කලින් දම්මික ඇස් පියා ගත්තේ ය.
(සමන් අතාවුදහෙට්ටිගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගැණුනි )
(ඉරිදා මව්බිම – කැපුණු කොටස් ද සමග)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article