spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බයිසිකලෙන් වැඩට යන විශේෂඥ දොස්තරගේ කතාව

Must read

දොස්තර කෙනෙක් කිව්වම අපි හිතෙන් මවාගන්න විදිහක් තියෙනවනෙ.

සමහර දොස්තරලා පාරෙ යනකොටත් දොස්තර නලාව කරේ දාගෙන යන්නෙ තමන්ගේ තත්වෙ ප්‍රදර්ශනය කරන්න.

මේ වගේ කාලෙක අපිට දොස්තර කෙනෙක් මුනගැහුනා පුෂ් බයිසිකලේකින් වැඩට යන. ඒක ටිකක් අමුතු වැඩක් හින්ද අපි මේ දොස්තරත් එක්ක ටිකක් කතාබහ කළා.

විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරන් කියන්නෙ ලෝකෙ ඉන්න හොඳම දියවැඩියා විශේෂඥයන් 20 දෙනා අතර‍ ඉන්න කෙනෙක්. කතාවට හැමෝම කියන්නෙ ඩොක්ටර් නොයෙල් කියල. ඩොක්ටර් නොයෙල් ලෙඩවෙලා ප්‍රතිකාර ගන්නවට වඩා ලෙඩ වෙන්නෙ නැතුව ජීවත් වෙන නිරෝගී පැවැත්ම ගැන වැඩියෙන් උපදෙස් දෙන කෙනෙක්.

‘රටේ සිද්ද වෙන දේවල් අසතුටුදායක වෙන්න පුළුවන්. හැබැයි රටේ ප්‍රශ්න අපි ඔලුවට ගත්තොත් වෙන්නෙ අපිව ලෙඩවෙන එකයි. ඉතින් අපේ නිරෝගී පැවැත්මට වැදගත්ම දෙයක් තමයි මනස සතුටින් තියාගන්න එක. මේ කියන්නෙ රටේ ප්‍රශ්න දැක්කෙ නෑ වගේ ඉන්නවා කියන එක නෙමෙයි. ඒ ප්‍රශ්න මැද්දෙ වුනත් අපි කොහොමද පොසිටිව් විදිහට ධනාත්මකව ජීවිතේ අරගෙන යන්නෙ කියල කල්පනා කරන එක..’

dfsdfe4
ඩොක්ටර් නොයෙල් නිතරම කියන්නෙ ‘අර්බුද මැද බී පොසිටිව්’ කියල.

‘පෙට්‍රල් හිගයක් ආවා. මිනිස්සු පෝලිම්වල හිටියා. මං කල්පනා කළා පෝලිමේ ඉඳගෙන දුකෙන් කණස්සල්ලෙන් ඉන්නවා වෙනුවට බයිසිකලෙන් මගේ ගමන් බිමන් යනවා කියල. මායි මගේ වයිෆුයි දෙන්නම බයිසිකල් දෙකක් ගත්තා. ඇත්තටම ඒක ලොකු පහසුවක් කියල තේරුනෙ ඊට පස්සෙ.

 
 ජිම් එකට ගිහින් වෙනම වෙලාවක් ව්‍යායාම කරනවා වෙනුවට බයිසිකල් පදින එකෙන් නිකංම අවශ්‍ය ව්‍යායාම ටික ලැබෙනවා. අධික තරබාරුව, අධික රුධිර පීඩනය, දියවැඩියාව වගේ ගොඩක් ලෙඩරෝග හැදෙන්න තියෙන අවදානමත් අඩු වෙනවා..

 

මං ඉතාම අවශ්‍ය කාරණයකට වාහනයෙන් යන වෙලාවල් තියෙනවා. ඒත් හැම තිස්සෙම මං කොයිතරම් ඉන්ධන ප්‍රමාණයක් පුච්චනවද කියන එක ගැන මං සැලකිලිමත්. ඒ වෙනුවට පුළුවන් තරම් අපේ ශරීරයේ තියෙන ඉන්ධන දහනය කරලා ගමන්බිමන් යන්න තමයි මං උනන්දු වෙන්නෙ. එතකොට පෝලිම්වල ඉන්න දුකත් නෑ. හිතටත් සතුටුයි’’

ඩොක්ටර් නොයෙල් කියන්නෙ අපි ජීවිතේ පුංචි දේවල්වලින් සතුට හොයන්න පුරුදු වෙන්න ඕන කියල. බොරුවට ලොකු ලොකු දේවල් පරිභෝජනය කිරීමෙන් අපි ලබන සතුටට වැඩිය සතුටක් අපේ පැරැන්නො ඒ අයගෙ සරල ජීවිත පැවතුම්වලින් ලබාගත්තා කියල. අපි දියුණුව කියල අත්පත් කරගෙන තියෙන්නෙ ජීවිතය පැත්තෙන් බොහොම නෙගටිව් දේවල්. දියුණු වෙන්න වෙන්න අපේ නොසතුටත් වැඩිවෙලා තියෙනවා.

‘බලන්න අපි කොයිතරම් නෙගටිව් නිව්ස් පරිභෝජනය කරනවද? ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යවල දවස පුරා අපි දකින්නෙ මොනවද? හැමදෙයක් ගැනම තරහ අවුස්සන, කණස්සල්ල වැඩි කරන දේවල්. මේවා අපේ මානසික සෞඛ්‍යයට බලපානවා.

 
අපි ආදරය කරන මිනිස්සු එක්ක හිනාවෙලා සතුටෙන් ගත කරන්න තියෙන කාලය ඇයි අපි මේ වගේ ඍණාත්මක දේවල් අපේ ඔලුවට දාගන්න වැය කරන්නෙ?” ඩොක්ටර් නොයෙල් අහනවා.

 

මේ අර්බුද කාලෙදි ඩොක්ටර් තමන්ගේ ජීවිතය පැත්තෙන් ගොඩක් දේවල් වෙනස් කරගෙන තියෙනවා. තමන්ගේ නගරබද පුංචි ගෙදර පවා පොඩියට වගාවක් පටන් අරගෙන.

‘ අපේ ගෙදරට කන්න අවශ්‍ය ඔක්කොම දේවල් වවාගන්න මට බෑ. හැබැයි ගෙදර වවපු මිරිස් කරලක්, වම්බඩු ගෙඩියක් ඒ කෑමට වඩා ලොකු සතුටක් අපිට අරගෙන එනවා. ඒ සතුට කඩෙන් අරගෙන කන දේකින් අපිට ලැබෙන්නෙ නෑ. මං පොඩියට හරි වවන්න උනන්දු වුනේ ඒක පස් එක්ක, පැල එක්ක ගත කරන, අපිව සරල සොබාවික පැවැත්මට සම්බන්ධ කරන වැඩක් හින්ද..’’

ඒ වගේම හැම අර්බුදයක් විසින්ම පුද්ගලයෙක් වඩාත් ශක්තිමත් කරන බව ඩොක්ටර් නොයෙල් කියනවා.

‘හැම කලු වළාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියනවනෙ. අපි තේරුම් ගන්න ඕන අපිව මේ අර්බුදයට ඇදලා දැම්මෙ අපේ වැරදි පැවැතුම් විසින් කියන එක. අපි උපයනවට වඩා පරිභෝජනය කරලා තියෙනවා. ඒකයි ණය වෙන්නෙ. අපි අපේ ශරීරයෙ නිරෝගී බව වෙනුවට ඔක්කොම ජරාව කන්න බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒකයි ලෙඩ වෙන්නෙ. අපි සතුට වෙනුවට නොසතුට කණස්සල්ල වගා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකයි මනසින් දුර්වල වෙන්නෙ. මේ දේවල් වෙනස් කරගන්න අපිට වැඩ කරන්න වෙනවා. අපේ ජීවිතේ වෙනස් කරගත්තොත් නිකංම අපේ රටත් වෙනස් වේවි. මේ අමාරු කාලෙදි අපි හැඩගස්වාගන්න අලුත් පුරුදු අපේ අනාගතය වඩා යහපත් කරාවි’’ – ඩොක්ටර් නොයෙල්


ඩොක්ටර් නොයෙල් සමග සංවාදය බලන්න

 

 
 

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article