closed bar( 6.00 pm ) කොරෝනා වසංගතයට මුහුණදීමට නම් සුරා සැල් වසා දැමිය යුතුයැයි වෛද්‍ය  මතය විය. විද්‍යාත්මක පදනමක හිඳ ඔවුහු ඒ මතය දරනවා යැයි උපකල්පනය කළ හැකිය. විද්‍යාත්මක  මතයකට වඩා ඔවුන්ට ඇත්තේ ද වෙන මානයක් යැයි පෙනේ.එහෙත් විද්‍යුත් මාධ්‍ය බාර් ඇරීම සම්බන්ධයෙන් පිටකරන ඇරියස් එක කුමක්ද යන්න හිතාගන්නටත් බැරිය. පසුගිය දිනවල සේ ම ඊට පෙර ද බාර් ඇරි දිනවල තම කැමරා අමෝරාගෙන ඒ ඉදිරිපිට ඇති පෝලිම් පෙන්වමින් ඒ ඉදිරිපිට ඉන්නා අය බයිට් කරමින් නටන නාඩගම කුමක්ද? බාර් ඉදිරිපිට සිටින ජනයා දකින ඔවුන්ගේ ඇස් රුදාවෙන් පෙළෙනුයේ ඇයි? මේවා දකින විට හිතෙනුයේ බාර් ඇරීම, බාර් ඉදිරිපිට පෝලිම් දැකීම මාධ්‍ය ඩෝප් කර ඇති බවය.මතට තිත තැබූ රාජපක්ෂ පෙර යුගය තිතට මත්වෙන්නට ඉඩ හැරි බව අමුතු රහසක් නොවේ. එහි කිසිදු අපුලක් නැත. යහපාලන කාලයේ මුදල් ඇමති ලෙස මංගල සමරවීර මත්පැන්වලට ලිහිල් බදු ප්‍රතිපත්ති ගෙනෙන්නට හැදූ කල තිතට මත තැබූ අයද කුලප්පු වූයේ වලිප්පුව හැදුණු ගාණටය. බියර් අඩු කළ විට කට්ටිය බිරාන්ත වූහ. එදත් අද මෙන්ම විiුත් මාධ්‍ය මේ විරෝධය හරි ඉහළින් සැමරීය. මේ ගෙන යන විරෝධය අවංක එකක්ද? සාධාරණද? මේ අය ඇත්තටම බීමට විරුද්ධද? මේ අය නොබොන අයද? මාධ්‍යවේදීන් අම්මාප්පලාද ?එසේ නම් මේ අය බොන එකට මේ තරම් බොනපාට් දාන්නේ මන්ද? මේ නම් හිරිකිත හැසිරීම් සමුදායකි. බීමටත් නිගරුවකි. බොන අයටත් අවමානයකි.

පෝලිම සහ ලැජ්ජාව !

ඇඳිරි නීතිය ඉවත් කළ පසු කඩ ළඟ, ෆාමසි ඉදිරිපිට පෝලිම් ගැහෙන අය වෙති. එමෙන්ම බාර් ඇරි කල ඒ ඉදිරිපිටද සෙනඟ විය. මේ අමුතු ජනතාවක්ද? ෆාමසි, කඩ, ඉදිරිපිට සිටි ජනයාත් මේ ජනයාත් දෙපිරිසක්ද? ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන මිනිසුන්ම මේ බාර් ඉදිරිපිට හිටගත් බව මේ අමනයන්ට නොහැඟේද?

එක් එෆ්.එම්. නාලිකාවක නිවේදක ඩබලක් මේ ගැන කියූ කතා මාරය. නිවේදිකාවට මේ පෝලිම් දැක පුදුම ලැජ්ජාවක් ඇතිවීලු. මෙතරම් ව්‍යසනයකදී ගෙදරට අවශ්‍ය අත්‍යවශ්‍ය දේ තිබියදී බාර් ළඟ පෝලිම් දැකීම පුදුමයක්ලු. නිවේදිකා හඬ එලෙස හූල්ලද්දී නිවේදක හඬ තප්පුලනුයේ මේ කාලයේවත් මේ නරක පුරුදු අත්හැර දැමිය නොහැක්කේ මන්ද යන්නය. දැන් ඇසිය යුතු ප්‍රශ්නය නම් බාර් ඉදිරිපිට සිටි අයගේ පවුල්වලට කන්න බොන්න දුන්නේ කවුද යන්නය. මේ මාධ්‍ය වාහේලාද යන්නය.

මේ රටේ බොහෝ පිරිස් බොති. පහුගිය කාලයේ ඒ ලක්ෂ ගණන් බව ගණනය කර තිබුණි. එසේ නම් ඒ පවුල් බඩගින්නේද? අද ලංකාවේ බොහෝ නිවෙස්වල සාද පැවැත්වීම සාමාන්‍යය. බීම පුරුද්දකි. එහෙත් එයින් කියන තරම් විනාශයක් සිදුවී ඇතැයි ගණන් බලා නැත. එසේ මහා ලොකු ඛේදවාචක බහුලව දක්නට නැත. පෙර පරම්පරාවල බී ගත් පසු කෑගසන, බිරිඳට පහරදෙන දසුන් සුලබ වුවත් වත්මන් පරපුර අතර එවැනි දෑ අඩුය. මෑතකාලීන පවුල් අතර සංචාරය, විනෝදය ජීවිතේ අංගයක් වී ඇත. බොරු අවංකයෝ වෙන්නට දඟලන මේ මාධ්‍ය පිරිස් ද එසේමය. බීම යනු විනෝද මාධ්‍යයකි. එය අද මිනිසාගේ විනෝද මාධ්‍යයකි.

සමාජයෙහි සිදුවන ඇතැම් සංසිද්ධීන්වලදී මත් නොවී විසීමත් අපහසුය. අද මාධ්‍ය කරනුයේ මිනිසුන් මත්කිරීමය. ආගම කරනුයේද ඒ මත්කිරීමය. ඒ අනුව බලන කල මත්පැන්වලින් මත්වීම වටිනේය. ජාතිවාදයෙන් ආගම් වාදයෙන් මත්වීමට වඩා අරක්කුවලින් මත්වීම ඉතාම හොඳය. භික්ෂූන් පිස්සු කෙළින විට මුණිවත රකින මාධ්‍ය බාර් ඉදිරිපිට පෝලිම ආඩම්බරයෙන් පෙන්වති. ආගමෙන්, ජාතිවාදයෙන් මත්වීම කෙළවරක් නැත. මත්පැන්වල මතය ඉක්මනින් හිඳෙන්නෙකි. එහෙත් ඉහත මත එසේ සිඳෙන උල්පත් නොවේ. සමාජයට වඩා භයංකර වූ ඒ උවදුරු ගැන විiුත් මාධ්‍ය කටක් නොහරිනුයේ ඇයි?

මාධ්‍යට ඩෝප්ද?

මාධ්‍ය වටහාගත යුත්තේ මේ බොන අයද පවුල් රකින අය බවය. එසේ නැතිව ඔවුන්ගේ පවුල් පාද යාත්‍රාවලින් රැකෙන ඒවා නොවේ. ආණ්ඩුවෙන් දුන් 5000න් බිව්වා වැනි කතාද මේ මාධ්‍ය වැපුරුවේය. එය එසේම යැයි කියන්නේ කෙසේද?

බාර් වැසීමත් සමග රහසේ පෙරන නීති විරෝධී මත්පැන් වැඩිවිය. එය රට පුරා කොතරම් ව්‍යාප්ත වීද? ජීවිතේට කසිප්පු නොබිව් අය කී දෙනෙක් මේ කොරෝනා කාලයේ කොතරම් කසිප්පු බොන්නට ඇත්ද? බාර් වසා දැමීමෙන් බීම නතර වූයේ නැත. අද කුඩු නැතැයි කාටහරි කිව හැකිද? කුඩුත් නිදහසේ සැරිසරන සමාජයක මිනිසුන් බාර් ඉදිරිපිට සිටීම මාධ්‍යයට ජෝගියක් වී ඇත.

මිනිස් ආශ්වාදයන්, විඳීම් වින්දනයන් මේ අයට විගඩමක් වී ඇත. රට දුවන ප්‍රධාන ආදායම් මාර්ගයක් වනුයේ මත්පැන්ය. සිගරට් ද ඒ අතර වේ. මේවායින් මිනිස් සිරුරට අයහපතක් වෙතත්, මේවා තහනම් දෑ නොවේ. මිනිස් සිරුරට අහිතකර කොතෙක් දෑ තව වෙත්ද? වත්මන් කෑම බොහොමයක් වස නොවේද? ශරීරයට විස පෙරාපු දෑම විතරද?

මේ බේබද්දකු බීම වෙනුවෙන් පෙනී සිටීමක් යැයි කිව හැක. එය එසේමය. තමා ආගම්වාදියෙකු යැයි පෙනී සිටිය හැකිනම් අමු ජාතිවාදියකු ලෙස පෙනී සිටිය හැකිනම් බේබද්දකු ලෙස පෙනී සිටීමේ වරද කුමක්ද?

මත්පැන් සම්බන්ධයෙන් වෛi මතය එකකි. සමාජයේ ඇතැම් පිරිස් (මාධ්‍ය) ගෙන යන මතය තවකෙකි. මේ බොරු සදාචාරය පිළිබඳ හප්පඩ මතයකි. එය ව්‍යාප්ත කිරීමට අද මාධ්‍ය සෙප්පඩ විජ්ජා කරති. මේ ඒවා මිස වෙන කිසිවක් නොවේ.

සදාචාරය යනු නොබී හිඳීම නොව, පන්සල් පල්ලි යෑම නොව ඊට එහා ගිය පුළුල් කරුණකි. රටට කෙළවී නන්නත්තාර වී ඇත්තේ බොන එක නිසා නොව හොරාට බී නොබොන ගාණට රඟනවුන් ගන්නා තීන්දු තීරණ නිසාය. හොරාට වැඩ කිරීම සහ එළිපිට පෝලිම් ගැහීම අතර ලොකු වෙනසක් ඇත.

බාර් සහ දේවාල !

කතරගම බාර ඔප්පු කරන්න පෝලිම් ගැහීම සහ බාර් ඉදිරිපිට පෝලිම් ගැහීම අතර අපට නම් වෙනසක් නැත. මිථ්‍යාවෙන් අන්ධවීම සහ බීමෙන් මත්වීම අතර පැහැදිලි වෙනසක් ඇත. බොන්නාගේ මත් ගතිය නොබී සිටීමෙන් පහව යනමුත් සෙසු මත් ගති සමාජයට බෙහෙවින්ම හානිකරය. එහෙත් මාධ්‍ය ඒවාට විරුද්ධ නැත.

මේ මාධ්‍ය ඔස්තාද්ලාත් වැඩි හරියක්ම බේබද්දෝය. එහෙත් කැමරාවට, මයික් එක ඉදිරිපිට බයිට් වී ඇත. ඇත්ත වෙනුවට බොරුව පැළ කරන පචයෝ වී ඇත.

කොරෝනාවලින් පසු අමුතු හොඳ මිනිසුන් ටිකක් ආණ්ඩුව සොයමින් සිටිති. අලුත් ආණ්ඩුවක් සේ ම අලුත් ජනතාවක් ද හදන්නට මාධ්‍ය පටන් ගෙනය. කොරෝනා එන්නට පෙර සිටියේ නරක මිනිසුන්ද? මේ රට අන්ත සවුත්තුද?

සුනාමියෙන් පසු නැඟිටිමුයි කී අතර යුද්ධයෙන් පසු නැවත අපි එකාවන්ව නැඟිටිමු කීහ. දැන් නැවත අපි නැඟිටිමුයි කියති. මෙතරම් කියනුයේ අප නැඟිටින ජාතියක් නොවේද? මේ මාධ්‍ය සංදර්ශනය බාර් ළඟ රොද බඳින මිනිසුන්ට බැණ වැදුණ මාධ්‍ය නිකමටවත් මෙරට බාර් වැඩිපුරම ඇත්තේ දේශපාලකයින්ට යැයි කියා ඇත්ද?

ලංකාවට කුඩු ලොරි ගණන් එති. ඒ දේශපාලන රැකවරණයෙන් තොරවද? ධනවතුන්ට මේ කාලයේ මත්පැන් ලබාගත නොහැකිද? ඒ බොහෝ අයගේ නිවෙස්හී මිනි බාර් ඇත. දේශපාලකයන්ට මත්පැන් හිඟ නැත. අහිංසක මිනිසකු බාර් ඇරි විගස දිව ගිය කල හති හැදෙන්නේ මාධ්‍යයටය.

මාධ්‍ය බූවල්ලා !

අද අත්‍යවශ්‍ය දෑ තීන්දු කරනුයේ මාධ්‍යය. කන, බොන දෑ ඔවුන්ගේ තේරීමය. ජනතාව ඡන්දය ගැසිය යුතු පක්ෂය තීන්දු කරන්නේ ද අද මාධ්‍ය විසින්ය. පිරිත් ඇසිය යුතුය. බණ ඇසිය යුතුය. යාඥා කළ යුතුය අද කියන්නේ මාධ්‍යමය. අද මුළු සමාජයම වෙළාගෙන ලේ බොන බූවල්ලා මාධ්‍ය වී ඇත. ඇත්ත වෙනුවට බොරුව වගා කරනුයේ මේ මාධ්‍ය හරහාය. මේ රට කනුයේ මාධ්‍යම වේ. අවසානයේ මේ මාධ්‍ය හිමිකරුවෝ, ධනපතියෝ දේශපාලනයේ සක්‍රිය චරිතය. මේ සේරම එකම පොකුරක්ය. මාධ්‍යයට මෙන්ම දේශපාලකයාටද මත්ද්‍රව්‍යවලටද ඇත්තේ එකම සබඳකමකි. එහෙත් සමාජයට පෙන්වනුයේ එය එසේ නොවන බවය. හෙළුවැල්ලෙන් නටන විට නැටුම කොයිතරම් ලස්සන වුවත් පෙනෙනුයේ හෙළුවම බව කුමට කියම්ද?
එක්ව නැගිටිමු කියන්නේ ඇයි? අපි බීලද? බිව්වම කැතද? කොයි පෝලිමෙත් ඉන්නේ මිනිස්සුය. අවශ්‍ය වෙන්නේ නැති කරන එකයි. බාර් එකෙයි, දේවාලෙයි වෙනසක් නැත. දෙකටම යන්නේ භක්තිවන්තයෝය. අදහන්නෝය. කොටින්ම රැවටෙන්නෝය. ඒ නිසා සැමට රැවටෙන්න ඇති අයිතියට හිනා නොවන්න. හිනාවෙන අයත් උපරිම රැවටුණු අයය. ඒ ගමන් අනිත් අය රවටන අයය. ඇත්ත නම් අපි එකම රෑනේ කුරුල්ලෝ.

ටිරන් කුමාර බංගගමආරච්චි

(රාවය )