spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහාචාර්ය සේනක බිබිලේ සහ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය

Must read


මිනිසකුගේ ජිවිත කාලය තුලදී දැන හදුනාගන්නට ලැබෙන පුද්ගලයින් අතරින් තමන්ගේ මතකය ඇද බැඳ තබාගනිමින් ඒ මතකය තුල ජිවත් කරවන පුද්ගලයින් හමුවන්නේ අතලොස්සකි.මහාචාර්ය සේනක බිබිලේද ඒ ගණයට අයත් පුද්ගලයෙකි.
ඔහු පිළිබඳව අපගේ මතකය අවදිවන සෑම මොහොතකදීම දෘශ්‍යමාන වන්නේ ආරෝහපරිණාහ දේහයකින් යුත් සිත් ඇද ගන්නා සුළු අභිමානවත් පුරුෂයෙකි. හසල බුද්ධියකින් පිරිපුන් වෛද්‍යවරයෙකි.මානව හිතවාදියෙකි. එමෙන්ම මරණය තෙක් තමා පිළිගත් සමාජ දර්ශණයේ නොවෙනස්ව ජිවත් වූ උදාර මිනිසෙකි.


1923 පෙබරවාරි 13 දා බිබිලේ රටේ මහතාගේ සහජාත පුත්‍රයාව උපත ලැබූ ඔහු රටේ මහතකුගේ පුතකු ලෙස නොව සාමාන්‍ය පන්තියේ පුද්ගලයෙකුගේ පුතකු ලෙස ජීවිතය ගෙන ගියේය.1970 සහාග රජය විසින් පිහිටුවන ලද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රථම සභාපති වරයා ඔහු විය. එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කල ඔහු සංස්ථා සේවය පිණිස කොළඹ පැමිණියේ සුබෝපභෝගී මෝටර් රථයකින් නොව සාමාන්‍ය ජනතාව සමග දුම්රියෙනි. අවම පහසුකම් ඇතිව කළ උපරිම සේවය සඳහා ඔහු වැටුපක් ලබා ගත්තේද නැත.


ඉතා කෙටි කාලයකදී බහු ජාතික සමාගම් වල එකාධිකාරියට නතුව තිබු ඖෂධ වෙළඳාම සම්පුර්ණයෙන්ම පාහේ ඖෂධ සංස්ථාව සතුකර ගැනීමට ඔහුගේ වැඩ පිළිවෙල සමත්විය. ගුණාත්මක ඖෂධ ඖෂධීය නිල නාමයෙන් මෙරටට ගෙන්වා සාධාරණ මිලකට රෝගීන්ට ලබාදීමට සමත් වුවාට අමතරව මෙරටට විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් ඉතිරි කර දීමට එම වැඩ පිළිවෙල සමත්විය. එනිසාම මෙරට ක්‍රියාත්මකවූ බහු ජාතික සමාගම් සහ ඒවායේ දේශීය තැරුව්කාරයින් මෙන්ම මුදල් පසුපස දිව ගිය සමහර වෛද්‍යවරුන්ද ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයට හවුල් විය.


එම කුමන්ත්‍රණයේ උච්චම අවස්ථාව ලගාවුයේ 1976 වන විට මෙරට දේශපාලන පොරපිටියේ සිදුවූ වෙනස සමඟය. එම වෙනස සමගම පත්වූ රජයේ ප්‍රතිපත්ති සමග මහාචාර්ය වරයාගේ ප්‍රතිපත්ති නොගැලපුණු නිසා ඖෂධ සංස්ථා සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.
ඉන්පසු 1977 මාර්තු 31 වන දින අන්ක්ටාඩ් (UNCTAD) ආයතනයේ විශේෂඥයෙක් ලෙස පත්වීමක් ලබා කැරිබියානු දුපතක් වන ගයනාව බලා දිවයිනෙන් පිටත් විය.
එම පත්වීම ලබා එරට සේවය කල කාලය තුලදී තම අත්දැකීම් භාවිතයට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ සාධාරණ මිලකට රෝගීන්ට ලබාදීමේ ප්‍රතිපත්ති තුන්වැනි ලෝකයේ සෙසු රටවල ක්‍රියාත්මක කරවීමට යුහුසුළු විය. ඒ කාර්ය සපුරාගනු වස් තම බුද්ධිය, ශ්‍රමය සහා පුද්ගලික සුඛවිහරණය පවා පුජා කලේය.එම කැප කිරීම තම ජිවිත කාලය පවා කෙටි කර ගැනීමට හේතු විය.


1977 සැත්තැම්බර් 29 වනදා කැරිබියානු දුපතක් වන ගයනාවේදී මෙම මහා යුග පුරුෂයා අවසන් හුස්ම හෙලීය. මරණය සිදුවූ ආකාරය පවා සැකයට භාජනය විය. එම සිද්ධීය පිටුපස ඔහුගේ ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙල නොරිස්සු පිරිස් සිටින්නට ඇතැයි යන සැකය බැහැර කල නොහැක්කකි.


අදට වසර 44 කට පෙර අපගේන් සමුගත් මහචාර්ය සේනක බිබිලේ ක්‍රියාත්මක කරවීමට උත්සාහ දැරූ ප්‍රයත්නයන් නැවත ඵල ගැන්වී ඇත. බිබිලේ ප්‍රතිපත්ති මත පදනම්ව සැකසු ශ්‍රී ලංකාව සඳහා වූ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය 2005 ඔක්තෝම්බර් මස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එම ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුකුල වන පරිදි සැකසු “ජාතික ඖෂධ නියාමන අධිකාරිය” පිහිටුවීම සඳහා වූ පනත 2015 මාර්තු මස ශ්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුව මගින් සම්මත කොට ක්‍රියාත්මක කරවීමට දැන් පියවර ගෙන ඇත.
ශ්‍රීලංකා පුරවැසියන්ට ඉමහත් යහපතක් ගෙනෙන, ඖෂධ සඳහා රජයට වැයවෙන විශාල මුදලක් ඉතිරි කරගත හැකි අතවශ්‍ය පියවරක් වන “ජාතික ඖෂධ නියාමන අධිකාරිය” පිහිටුවා වසර 6 කට ආසන්න කාලයක් ගතව ඇතත් එහි අඩංගු වූ රෝගීන්ගේ සුභ සිද්ධිය පිණිස වන අත්‍යවශ්‍ය නිර්දේශයන් කිහිපයක් නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට බලධාරීන් අසමත් වී ඇති බව කණගාටුවෙන් වුවද මෙහි සටහන් කල යුතුව ඇත.


ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සදහා වූ සක්‍රිය ආරක්ෂාකාරී සහ ප්‍රමිතියෙන් යුත් ඖෂධ තිරසරව සහ සමසේ දරාගත හැකි මිලකට ලබා ගැනීම සහතික කරවීම සඳහා පහත සඳහන් නිර්දේශයන් නිසි පරිදි ක්‍රියාත්මක කලයුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු.

  1. වෛද්‍යවරුන් ඖෂධ වට්ටෝරු ලිවීමේදී “ඖෂධ නිල නාමය”භාවිතා කිරීම (Generic Prescribing)
  2. ඖෂධීය නිලනාම ආදේශනය (Generic Substitution) සක්‍රියව ක්‍රියාත්මක කරවීමට නිසි පියවර ගැනීම.
  3. එකම ඖෂධ වර්ගයේ ඖෂධ කිහිපයක් අඩංගු ඖෂධ කාණ්ඩයක් සැලකු විට ඉන් ලියාපදිංචි කරන ඖෂධ සංඛ්‍යාව සිමා කරවීමේ සක්‍රිය ක්‍රමවේදයක් සකස් කිරීම.
  4. ඖෂධ ලියාපදිංචි කිරීමේදී එම ඖෂධයේ සක්‍රියතාව, ආරක්ෂාව, ප්‍රමිතිය මෙන්ම අවශ්‍යතාවය සහ මිල (Need & Cost) නිර්නායකයක් ලෙස යොදා ගැනීම නිසි ලෙස ක්‍රියාත්මක කරවීම.
  5. ඖෂධ අලෙවිය සහ ප්‍රවර්ධනය අදාල ආචාර ධර්ම සහ පිළිගත් නිර්ණායක මත පදනම්ව ක්‍රියාත්මක කරවීම.
  6. සෞඛ්‍ය වෘත්තිකයින්ට සහ පාරිභෝගිකයින්ට ස්වාධින සහ අපක්ෂපාතී තොරතුරු සැපයීමට “ජාතික ඖෂධ තොරතුරු මධ්‍යස්ථානයෙක්” පිහිටුවීම සහ ඖෂධ තොරතුරු ඇතුලත් ප්‍රකාශන නිකුත් කිරීමට පියවර ගැනීම.
    මහචාර්ය සේනක බිබිලේ මහතාගේ 44 වන ගුණ සැමරුම සිදු කරන මෙම අවස්ථාවේදී, ඉහත සඳහන් ජනතා හිතවාදී නිර්දේශයන් ක්‍රියාත්මක කරවීමට ප්‍රතිපත්ති තීරකයන්ට සහ සෞඛ්‍ය බලධාරීන්ට බලකර සිටීමට අප සියළු දෙනා ක්‍රියාත්මකව පෙළ ගැසෙමු. එය මහාචාර්යන් අනුස්මරණය කිරීමේ ශ්‍රේෂ්ඨතම මඟ වනු ඇත.

    හිත හොද Pharmacistලා..........

(සැත්තැම්බර් 29 වන දිනට යෙදුන 44 වන ගුණ සැමරුම වෙනුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article