
නියමිත වේලාවට අධිකරණයට නොපැමිණි නාකොටික් නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරියගෙන් දැඩි අවවාද …..
පසුගිය දිනවල මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ,තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 23 දෙනා ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු එළැඹෙන ජුනි 09 වැනි දින (09/06/2026) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය අද දින (26/05/2026) නියෝග කළාය.
ඒ අනුව එම චිවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දින ඉදිරිපත් කෙරුණේ මාර්ගගත ක්‍රමය ( අන්තර්ජාලය) ඔස්සේය. එහිදී එම සියලු නඩුවල 03 වන සැකකරු ලෙස නම් කර ඇති චන්ද්‍රකුමාර දයාරත්න නැමැත්තා මුල්වරට අධිකරණයට ඉදිරිපත් කල අතර එම පුද්ගලයාව පමණක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් විවෘත අධිකරණයට ඉදිරිපත් කලේය.
රිමාන්ඩ් දිර්ඝය සඳහා දිනකට නඩු සිය ගනනක් කැඳවන බැවින් එම කුඩා සිරකුටියේ සැකකරුවන්ට සිටිමට අපහසු බැවින් එලෙස මාර්ගගත ක්‍රමය යටතේ නඩු කැඳවන බව මීගමුව, අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය. එහිදී මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් ද මනුෂ්‍යන් බවයි. එම නිසා අධිකරණ ශාලාවේ විශාල සෙනඟක් සිටින බැවින් එකී සැකකාර ස්වාමීන් වහන්සේලාට බිම ඉඳගෙන සිටිමට වන බවත්, එම කුඩා කුටියේ සිය ගනනක් හුස්ම ගැනීමට පවා අපහසු වන බැවින් මේ ආකාරයට රිමාන්ඩ් නඩු, මාර්ගගත ක්‍රමය යටතේ කැඳවන බව මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
ඉන් අනතුරුව නඩු කටයුතු ආරම්භ කරන ලදී.
තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් 22 නෙකු පසුගිය අප්‍රෙල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ක් හමුවීමත් සමඟය.
එම චීවරධාරීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අඟුණකොළේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.
ඒ අනුව අඟුණකොළේ අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ, මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන මින්පෙර අවස්ථාව වලදීද මෙරටට නීති විරෝධීව මත්ද්‍රව්‍ය ගෙන එම සඳහා ආධාර අනුබලදුන් “මහමුද් මොහොමඩ්” නැමති පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේදී ඉකුත් 08 වැනිදා (08/05/2026) අත්අඩංගුවට ගෙන තිබුණු අතර පසුව එම පුද්ගලයාව ඉකුත් 09 වැනි දින (09/05/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර 14 වැනිදා දක්වා තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි.
ඉන් පසුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත්
සුභානී අබේසේකර මහත්මිය හමුවේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ( නාකොටික්) නිලධාරීන් විසින් , පසුගිය නඩු වාරයේදී ප්‍රමදයට හේතු වූ කරුණු දැක්වුහ. එහිදී එම නිලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝෂයකට ලක් වූ බැවින් එම තත්ත්වය මත , එම ප්‍රමාදය සිදු වු බවයි. මින් ඉදිරියට එසේ නොවන බවත් , 9.00 වන විට අධිකරණයට පැමිණෙන බවත් සඳහන් කළ එම නිලධාරීන් සමාව අයැද සිටියහ.
එහිදී මීගමුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය දැඩිව අවවාද කරමින් සඳහන් කලේ අධිකරණ කටයුතු 9.00 ට ආරම්භ වන බැවින් එසේ ප්‍රමාද වීම යුතු නොවන බවයි. මෙහිදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය මෙසේ පැවසීය. ..
” මේක සාමාන්‍ය නඩුවක් නෙවෙයි, ඔයලා එනකම් අධිකරණයට බලන් ඉන්න බැහැ . මෙි නඩුව වෙනස් සංවේදී හැමෝගේම අවධානය යොමු වෙන නඩුවක්, ඒ නිසා වෙලාවට එන්න. මින් ඉදිරියට එසේ සිදුවෙන්න බැහැ . ”
යැයි, අතිරේක මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඉන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා සඳහන් කළේ “රාජා අන්වර් ” නැමති සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරන බවයි. එම පුද්ගලයා පුන්‍යරතන නැමැති ස්වාමීන් වහන්සේ නමක් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවද එම නිලධාරීයා එහිදී පෙන්වා දුන්නේ ය.
ඉන් අනතුරුව නඩු 22 ක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මහත්මිය වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව වෙන් වෙන් වශයෙන් පවරා ඇති නඩු 22 කට සැකකරුවන් 08 දෙනෙකු ලෙස නම් කෙරිණි .
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය එළැඹෙන ජුනි මස 09 වැනි දින (09/06/2026) දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
ඒ අනුව පසුගිය අප්‍රේල් 25 වැනි දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුනු චීවරධාරීන් 22 දෙනා සහ මෙම ක්‍රියාව මෙහෙය වූ බවට සැකකර ගම්පහ, මීගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අගුණකොලේ අමිතානන්ද නැමැති භික්ෂුව ද
වන්ද්‍රකුමාර දයාරත්න සහ මහමුද් මොහොමඩ්
යන සැකකරුවන් 25 දෙනා ලබන ජුනි 09 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එලෙසම මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකකරන සහ මේ වන විට අත්අඩංගුවට ගැනීමට සිටින “මොහොමඩ් අබ්දුල්ලා” , “රනාලේ ඥානසිල හිමි” , “බෙල්පිටියේ දම්මරක්ඛිත හිමි” සහ “අඹගස්මුල්ලේ පුන්‍යරතන හිමි ” යන සැකකරුවන් 04 දෙනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සම්පත් කරුනාරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.











