spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘මේක බෞද්ධ රටක්’ බව උසාවියට කියා දීමට ගිය රියර් අද්මිරාල්ට නීතිඥ විරෝධය

Must read

ශ්‍රී ලංකාවේ සිටි ඉහළ පෙළේ හමුදා නිලධාරියකුද වන, කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපය හිමිකරගත්

ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අධිකරණයට සිදු කළ අපහාසය හෙළා දකිමින් උතුරු නැගෙනහිර දෙපළාතේ නීතිඥයන් විරෝධතා දියත් කර තිබේ.

මුලතිව් දිසා/ මහේස්ත්‍රාත් අධිකරණය හා මඩකලපුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් ජුලි 11 වැනිදා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතා දක්වද්දී, උතුරු නැගෙනහිර සෙසු දිස්ත්‍රික්කවල නීතිඥයන් ද වැඩ වර්ජනය කරමින් ඊට සහාය දැක්වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොදුජන එක්සත් පෙරමුණේ සරත් වීරසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හෙලා දැක තිබුනේ අධිකරණයට සහ මේ රටේ සමාජයට එරෙහි පදනම් විරහිත, නිර්ලජ්ජිත ප්‍රහාරයක් ලෙසයි.

 

කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භූමියේ ජුලි 4 වැනිදා උසාවි විමර්ශනයක් සිදු කිරීමට සුදානම් වෙද්දී, බෞද්ධ භික්ෂුන් පිරිසක් විසින් එහි ආගමික වතාවත් සිදු කරමින් සිටිය දී මුලතිවු මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝගයෙන් එය නතර කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයකුද වන රියර් අද්මිරාල් වීරසේකර උත්සාහ ගෙන තිබුනි.

“කියන්න පොඩ්ඩක් මෙතන ඉන්ක්වයරි එකක් යනවා. එහෙමනම් හැමෝටම දෙන්න ඕනේ. මෙතන උසාවි ඉන්ක්වයරි එකක්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේට කියන්න පොඩ්ඩක්. මං ආපහු යනවනම් එතෙන්ට ප්‍රශ්නයක් වෙනවනේ. මෙතන ඉන්ක්වයරි එකක් යන්නේ. කිසිම කෙනෙකුට උසාවි අවසරයක් නැතුව මුකුත් කරන්න බෑ,” යි මහේස්ත්‍රාත් ටී.සරවනරාජා පොලිස් නිලධාරීන්ට නියෝග කරන අයුරු ප්‍රදේශයේ මාධ්‍යවේදීන් විඩියෝ ගත කර ඇත.

විනිසුරුවරයාගේ එම නියෝගයෙන් පසු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ද වන සරත් වීරසේකර  මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත්වරයාගේ කටයුතු වලට මැදිහත් වීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබුනි.

මන්ත්‍රීවරයාට අධිකරණ කටයුතු වලට මැදිහත් වීමට බලයක් නැති බව ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් නීතිඥ කේ එස් රත්නවේල් පෙන්වා දුන් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා ඒ බව තහවුරු කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාර් නවාරි සහ රජයේ නීතිඥ නිශාන්ත නාගරත්නම් ගේ ද අනුමැතියෙනි.  

 

ජුලි 7 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී එම සිදුවීම සම්බන්ධයෙන් කරුනු ගෙන හැර දක්වමින් සරත් වීරසේකර මන්ත්‍රීවරයා සදහන් කර තිබුනේ මෙය බෞද්ධ රටක් බවට මහේස්ත්‍රාත්වරයාට මතක් කර දිය යුතු බවයි.

“පරීක්ෂණයක් තියනවා. පරීක්ෂණය අතරතුර වන්දනා කරා කියලා. මේක බෞද්ධ රටක් කියන එක මේ මහේස්ත්‍රාත්වරයාට අපි මතක් කර දිය යුතුයි. නායක ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේලා සමග කුරුන්දි චෛත්‍යයට මලක් පුජා කරාම ඒක පරීක්ෂණයට බාධාවක් වෙන්නේ කොහොමද කියලා මං අහන්න කැමතියි.”

අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ එය තහවුරු වන ලෙස ක්‍රියා කිරීම රජයේ සහ අනෙකුත් සියලුම ආයතනවල වගකීම බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබුනි.

” කිසිදු පාර්ශවයකින්, කුමන හේතුවක් මත හෝ සෘජුව හෝ වක්‍රව කිසිඳු  සීමා කිරීමකින්, අනිසි බලපෑම්වලින්, පෙළඹවීම්වලින්, තර්ජනවලින් හෝ ඇඟිලි ගැසීම්වලින් තොරව, තමන් ඉදිරියෙහි ඇති කරුණු අපක්ෂපාතීව, නීතියට අනුව, කරුණු මත පදනම්ව, අධිකරණය විසින් තීරණය කළ යුතුය,” යි සභාපති කෞශල්‍ය නවරත්න සහ ලේකම් ඉසුරු බාලපටබැඳි ගේ අත්සනින් ජුලි 10 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

එබැවින්, අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ ඊට අනුකූලව ක්‍රියා කිරීම රජයේ සහ විපක්ෂයේ වගකීම වන අතර, අධිකරණ ක්‍රියාවලියට කිසියම් මැදිහත්වීමක් සිදු කිරීම තරයේ හෙළා දැකිය යුතු භයානක පූර්වාදර්ශයක් බව නීතීඥ සංගමයේ  අදහසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් වීරසේකරගේ ප්‍රකාශය හෙලා දකින යෝජනාවක් ඒකමතිකව සම්මත කළ මුලතිව් නීතිඥ සංගමය ජුලි 11 අඟහරුවාදා මුලතිව් උසාවිය අබියස විරෝධතාවක් පැවැත්වීමට තීරණය කළ අතර එම විරෝධතාවයට යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි නීතිඥයන්ද එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

“අධිකරණයට දේශපාලන තර්ජන එපා, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න, අධිකරණයේ කටයුතු වලට මැදිහත් නොවෙනු, අධිකරණයේ නිදහස තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුන, විනිසුරුවරුන්ගේ රාජකාරි වලට අත දාන්න එපා, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අව භාවිත කරන්න එපා.” ආදී  සිංහල, දෙමළ සහ  ඉංශ්‍රීසි භාෂා වලින් සදහන් විරෝධතා පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් නිහඩ  විරෝධතාවයක් දියත් කර තිබුනි.
theleader.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article