spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසංගතය මැද හපයක් බවට පත්වන මිනිස් ජීවිත.

Must read

  වසංගතය මැද ඇහෙන කතා යන හිසින් මුහුණු පොතේ සඳහන් වූ ලියවිල්ලක නිදහස් වෙළඳ  කලාපය තුළ අසරණවූ තරුණියකගේ අත්දැකීමක්  සටහන් කර තිබිණ . ඇය අනුරාධපුරයේ  සිට පැමිණ ඇත්තේ තම ජීවන අරගලය ගෙනයාමේ අරමුණ පෙරදැරි කර ගෙනය. ඒ සඳහා ප්‍රමුඛ පෙළේ ඇඟලුම්  ආයතනයක සේවය කරමින් රු. 27500/ වැටුපක් ද ලබා ඇත. ඇවරිවත්ත ප්‍රදේශයේ බෝඩිමක සතුටින් කාලය ගතකළ නමුත් වසංගතය විසින් ඇගේ එම සතුට හදිසියේම උදුරා ගත් බව මෙම සටහන අනුව පැහැදිළි කර ඇත .
     ඇයට රෝගය වැලඳී ඇත්තේ ජූලි 31 දිනය. අගෝස්තු 3 වන දින Antigen test එකක් කර ඇති අතර ආයතනය එය ඇයට දැනුම්දී ඇත්තේ 4 වන දිනදීය. ඇය Positive බවට වාර්තා වී තිබුණු බැවින්, එතැන් සිට 18 දක්වා සේවයට වාර්තා නොකරන ලෙස ආයතනය ඇයට දන්වා ඇත .  
     උණ, හුස්ම ගැනීමට අපහසුව , ඇඟපතේ අමාරුව ආදී සියළු වේදනාවන්ට මුහුණ දුන්නද ඇය ගැන සොයා බැලීමට කිසිවෙකු සිට නැත . අවසානයේ තමන්ගේ වැටුප පිළිබඳව ⁣ ලබාගැනීමට තම ගිණුම විමසා බැලූවිට  එහි තිබී ඇත්තේ රු. 7000/ ක් පමණි . 

  අපේ රටේ පළමු කොරෝනා රෝගී චීන කාන්තාව ඉඹලා පිළිගත් ආකාරය  අමතක කළ නොහැකි  අවස්ථාවකි. එය දේශපාලනික අවස්ථාවාදයයි. 
 නමුත්  අපේ රටේ ශ්‍රමය වගුරුවන  තරුණ තරුණියන්ගේ  ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූ  පුවත් නිතර අසන්නට ලැබිණ .

මෙහි සඳහන් වන්නේ ඉන් එක් අවස්ථාවක් පමණි .
බොරදියේ මාළු බෑමට සමත් ධනපතියෝ තමන්ගේ ලාභය ගැන පමණක් සිතා කටයුතු කරන අත්දැකීම් මාධ්‍ය හරහාද වාර්තා විය. මුහුණු ආවරණයේ සිට අදාල වෛද්‍ය උපකරණ දක්වා සියල්ල ආදායම් උපයන මාර්ග බවට පත්විය. ආණ්ඩුව විසින් පනවන නීති , තහංචි, කොන්දේසි කිසිවක් රටේ කිසිදු පුද්ගලික ආයතනයකට අදාල නොවීය. ඔවුන් නිදහසේ තම සූරාකෑමේ වැඩපිළිවෙළ පවත්වා ගෙන යාමට සමත්විය. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන්ට රෝගය නිසා උණ වැළඳුනු බව ප්‍රකාශ කර තිබියදී වුවද එය නොසළකා සේවය ලබා ගත්තේ තමන්ගේ ලාභය වෙනුවෙන් මනුෂ්‍යත්වය බැහැර කළ නොමිනිස් ගතිය නිසාය.
දිනකට මියයන්නාවූ මිනිස් ජීවිත ප්‍රමාණය 200 කට අාසන්න විය. රෝහල් වල කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවේ ධාරිතාව උපරිම තත්ත්වයට පත්විය. වැරදීම් සියල්ල ජනතාව මත පටවන ආණ්ඩුව අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසන තත්ත්වයට පත්වී ඇත . ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට දඟලන රටේ පාලනයට සම්බන්ධ හවුල් කරුවන්ගේ සැබෑ ස්වරූපය පිළිකුලෙන් යුතුව ඉවසා විඳ දරා ගැනීමට සියළු ජනයාට සිදුව ඇත .
අවසානයේදී වඩාත්ම මෙම වසංගතයට ගොදුරු වන්නේ දුප්පත් ජනතාවම බව පෙනෙන්නට තිබිණ. එපමණක් නොව අද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීම හේතුවෙන් අසරණ වන්නේද දුප්පත් ජනතාව ය. මේ සිදුවන තත්ත්වයන් හමුවේ ආණ්ඩුව ඉදිරියේදී වසංගතයට වඩා කුසට අහරක් නොලබා මියයාමට සිදුවන පරිසරයකට ජනතාව ඇදගෙන යනබව පැහැදිළිය.

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article