spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිගිති ආදිත්‍ය පුතු ඇතාට පෑගුණාද , ඇතා පෑගුවාද ? සිද්ධිය ඇහින් දුටු ඇත්ගොව්වා කියන ඇත්ත කතාව මෙන්න.

Must read

 අනපේක්ෂිත අයුරින් ඇතෙකුට පෑගීම නිසා අකාලයේ මරු තුරුළට යැවුණු ආදිත්‍ය සිනෙත් ගිහංස සිගිත්තාගේ මරණයෙන් ගොකරැල්ල, මැදගම්පොළ ප්‍රදේශයම මේ වන විට දැඩි ලෙස කම්පාවට පත් වී සිටී.

ප්‍රදේශවාසීන්ගේ නොමද වන්දනාවට පාත්‍ර වන ගොකරැල්ල , මැදගම්පොල පුරාණ දේවාලයෙහි වාර්ෂික පෙරහැර යෙදී තිබුණේ ඉකුත් 18 වැනි සෙනසුරාදා දිනටය. මැදගම්පොල ගමෙහි මුල් පදිංචිකාරියකව සිට විවාහයෙන් පසුව දැනට ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේ වාසය කරන ගිහංසගේ මව වන අමාලි කරුණාරත්න මෙම පෙරහැර බලන්නට යමු යැයි සිය සැමියාට ඇවැටිලි කරමින් සිටියේ දින කිහිපයක් තිස්සේය. පෙදරේරුවෙකු ලෙස රැකියාව කළ ගිහංසගේ පියා වු රවී විජේකුමාර් වඩාත් කාර්ය බහුලවීම හේතුවෙන් රවීගේ අවසන් තීන්දුව වූයේ අමාලිට දරුවාද රැගෙන මහගෙදර ගොස් පෙරහැරත් බලා ආපසු එන ලෙසය. ඒ අනුව සෙනසුරාදා උදෑසනින්ම සිගිති ගිහංසද රැගෙන මැදගම්පොල මහගෙදරට ගිය අමාලි හවස පහ පමණවෙද්දී ගිහංසද සමග දේවාල භූමිය වෙත පැමිණියාය. පෙරහැරෙහි ගමන්කිරීම සදහා පැමිණ සිටි ඇතුන් තිදෙනෙකු ඒ වන විට දේවාල භූමියෙහි ගාල්කර සිටි අතර ඇත්ගොව්වන් විසින් උන් ලහිලහියේ පෙරහැරට සූදානම් කරමින් සිටියහ. එදින කරඩුව වැඩමකරවීමට නියමිතව සිටියේ ගිරිඋල්ලෙන් ගෙන්වා ගත් ‘මංගල’ නැමැති තුරුණු හස්තියාය. අමාලිද දුර සිටම සිගිති ගිහංස වෙත ඇතුන් පෙන්වූ අතර හයක් හතරක් නොතේරුණු නමුත් සිගිති ගිහංසද තමා ඉදිරිපිට සිටින සද්දන්තයින් දෙස ඇස් ලොකු කරගෙන බලමින් මව් ඇකයේ සුරතල් වෙමින් සිටියේය. අලි බලමින් සිටි මව් පුතු යුවළ වෙත අමාලිගේ දුර ඥාතිත්වයක් ඇති බව කියන ගුණතිලක කිට්ටු කළේ මේ වේලාවේදිය. “කෝ දරුවා දියන්. අපල ගෙවෙන්නත් එක්ක අලියාගේ බඩ යටින් අරන් යමු.” ගුණතිලක අමාලිගෙන් දරුවා ඉල්ලා සිටියේය. ඒ වන විට ගුණතිලක වෙතින් වහනය වෙමින් තිබූ දුර්ගන්ධයෙන්ම ඔහු පියවි සිහියෙන් නොසිටි බව වටහා ගත් අමාලි ගිහංස ඔහු වෙත දීම ප්‍රතික්ෂේප කළාය. “මොකටද බය වෙන්නේ. අර ඕනෑ තරම් ළමයි අරන් යන්නේ. ” යැයි කී ගුණතිලක ඒ වනවිට ඇත්ගොව්වන් විසින් සිටි දරුවන් මංගල ඇතාගේ බඩයටින් රිංගවමින් සිටින අයුරුද අමාලිට පෙන්වීය. ඒ අතරේම අතරේම අමාලිගේ අතේ සිටි ගිහංස උදුරාගෙන මෙන් තමා අතට ගත් ගුණතිලක ගිහංසත් තුරුඵ කර ගත් අලියාගේ දෙසට පියමැන්නේ ගිහංසගේ එක් සෙරෙප්පුවක් කකුලකත්, අනෙක අමාලිගේ අතෙහිත් තිබියදීය. ගිහංසද රැගත් ගුණතිලකට මංගලගේ බඩ යටින් යහතින් යන්නට ලැබුණේ වට දෙකක් පමණි. තෙවැනි වටය මගක් යද්දී සරම පැටලූණු ගුණතිලක කපා හෙලූ කෙසෙල් කදක් මෙන් බිමඇදටුණේ ඔහුගේ අතේ සිටි ගිහංස මංගල ඇතුගේ කකුලක් අස්සට විසි කරමිනි. තමාගේ බඩ යට මහකලබලයක් වෙනු දැනුණු මංගල හිටි තැනින් ඉදිරියට එන්නට පයක් එසවීය. තමාගේ පය අසල වැටී සිටිනේ පණ ගැහෙන කිරිකැටියෙකු බවට තිරිසන් මංගලට නිනව්වක් නොවීය. මංගල ඉදිරියට ගත් කකුල ආපසු තැබූවේ බිම වැටී මොරදෙමින් සිටි සිනෙත් ගිහංසගේ මොලකැටි සිරුර මතය. තුරුණු, වැඩුණු මංගලගේ බර දරාගන්නට තරම් හැකියාවක් නොතිබූ ගිහංසගේ සිගිති හිස මංගලගේ පය අස්සේ තැලී පොඩිවී ගියේය. අමාලිගේ විලාපයෙන් කුඵගැන්වුණු ප්‍රදේශවාසින් විසින් පණ ගැහෙමින් තිබූ ගිහංසගේ සිරුර ගොකරැල්ල දිසා රෝහල වෙත රැගෙන ගිය නමුත් ඒ වනවිටත් විය යුතු දේ සිදුව තිබිණි.

“මම ඇතාගේ ඉස්සරහ පැත්තේ හිටියේ. එතකොට තමයි දරුවෙක් වඩාගත්තු කෙනෙක් ඇතාගේ බඩ යටින් රිංගනවා දැක්කේ. එයා දෙපාරක් ඇතාගේ බඩ යටින් ගියා. තුන්වැනි පාර යද්දී තමයි සරම පැටලිලා බිම වැටුණේ. ඇතා දරුවට මොනවත් කළේ නෑ . ඇතා කලබල වෙලා ඉස්සරහට එන්න යද්දී තමයි දරුවා කකුලට පෑගුණේ.” මහේස්ත්‍රාත් පරීක්ෂණය සදහා මැදගම්පොළ දේවාල භූමිය වෙත පැමිණි කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්. ඞී. එම්. චන්ද්‍රරත්න මහතා ඉදිරියේ සාක්ෂි දුන් මංගල හස්තියාගේ ඇත්ගොව්වා ලෙස කටයුතු කළ රනිල් චන්ද්‍රසේන නැමැති අය කීවේය.

ගිහංසගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කළ කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් පී ජයසේන මහතාගේ නිගමනය වූයේ හිස් කබලට සහ මොළයේ ඉන්ද්‍රියන්වලට සිදු වූ තදබල හානි හේතුවෙන් ගිහංසගේ මරණය සිදු වී ඇති බවකි. ගිහංසගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අධිකාරී මුදියන්සේලාගේ ගුණතිලක බණ්ඩා (41 ) යන අය ඔක්තෝම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත් ඩබ්ලිව්. ඩී. එම්. චන්ද්‍රරත්න මහතා විසින් නියම කළේය. මේ සම්බන්ධ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අකල්හි සමුගත් සිගිති ගිහංසගේ නිසල සිරුර ඔහුගේ නිවසට ගෙනඒමට හැකි වී ඇත්තේ පෙරේදා දිනයටත් ඇදිරි වැටෙමින් තිබියදීය. දරුවාගේ මරණය සියැසින් දුටු අය ඒ පිළිබද සාක්ෂිදීමට ඉදිරිපත්වීම පමා වීම නිසා ගිහංසගේ සිරුර රෝහලෙන් ලබාගැනීමට කල්ගත වූ බවට ගිහංසගේ මව්පියන්ගෙන් චෝදනා නැගෙයි. මේ කිසිත් නොදන්නා ගිහංස තමා කෙළිසෙල්ලම් කළ සාලය මැදම සුවනින්දක පසුවෙයි. දරුවන්ගේ ආරක්ෂාව ගැන එක්වරක් පමණක් නොව සිය වරක් සිතිය යුතු බවට ලොවටම පණිවිඩයක් දෙමින් සිගිති ගිහංස අද (22 දා ) පස්වරුවේ ඔහුට ආදරය කළ සැමගෙන් සමුගැනීමට නියමිතය.

කුරුණෑගල අජන්ත බණ්ඩාර රත්නායක.
www.wayambatoday.com

ආදිත්‍ය සිනෙත් ගිහංස සිගිත්තා

ali3

කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත් ඩබ්ලිව්. ඩී. එම්. චන්ද්‍රරත්න මහතා සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළ අයුරු

ali4

සිද්ධිය වූ මැදගම්පොළ දේවාල භූමිය

ali5
සිද්ධියට සම්බන්ධ මංගල නැමැති හස්තියා

ali6
ඇත්ගොව්වා රනිල් චන්ද්‍රසේන

ali1
දරුවාගේ සිරුර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අයුරු

ali2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article