spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුන්දර වෙස්මුහුණු පළදා සිටින අසුන්දර මිනිසුන් ගැන කියන කප්පෙලා.

Must read

කප්පෙලා Kappela (Chapel – කුඩා දෙව්මැදුර ) 2020 තිර ගතවූ අතිශයින්ම ජනප්‍රියවූ මලයාලම් චිත්‍රපටයක්.
ජෙසී, විෂ්ණු සහ රෝයි නම්වූ තරුණ චරිත තුනක් වටා ගොඩනගා ඇති මෙහි කතා පුවත වත්මන් සමාජය තුළ අපට හමුවන වෙස්මුහුණු පළදා සිටින්නන් සමාජයට නිරාවරණය කරනු ලබයි.

ජෙසී නගරයට තරමක් ඈතින් පිහිටි සුන්දර කතෝලික ගමක ඉතා සතුටින් ජීවත්වන ගැමි පවුලක අතිශයින්ම සුන්දර යුවතියක්. තම දෙමව්පියන් සහ නැගණිය සමග ජීවත්වන ඇය ගමේ කාගෙත් සිත් දිනාගෙන ජීවත් වෙයි.
ගමේ පල්ලියේදී නිතර දෙවේලේ හමුවන ඇයගේ පවුලේ ආර්ථිකයට වඩා තරමක් ඉහළ මට්ටමක පවුලක සුළු ව්‍යාපාරයක නිරතව සිටින අහිංසක තරුණයෙක් ඇය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටියි. ඒත් කතාව ඔවුන් පිළිබඳව නොවේ.

ජෙසී විසින් දෙනු ලබන දුරකථන ඇමතුමක් අංකය වැරදීමකින් නගරයේ ත්‍රීවීල් රථයක් පදවන තරුණයකු ( විෂ්ණු) වෙත යොමු වන අතර මේ නිසා ඔවුන් අතර දුරකථනය ඔස්සේ සබඳතාවයක් ගොඩ නැගේ.

මීට සමාන්තරව රෝයි ගේ කතාව අපට දැකිය. රැකියාවක් සොයා ගැනීමට වෙහෙසෙන රෝයි දඩබ්බර ගති පැවතුම් ඇති එහෙත් තමාට වඩා අනිත් අයගේ යහපත ගැන සිතන කේරලයේ කොමියුනිස්ට් පක්ෂයට හිතවත්කමක් ඇති තරුණයකි.

විෂ්ණු, තමාට ජෙසීව මුණ ගැසීමට අවශ්‍ය බව දිගින් දිගටම කියයි.
මේ අනුව දෙමව්පියන් නිවසේ නැති දවසක ඇය ඔහුව සොයාගෙන නගරයට පැමිණෙයි.
එදිනම රෝයිද රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට නගරයට පැමිණෙයි.
තිදෙනාම නගරයක පැමිණෙන්නේ එකම අවස්ථාවේය. ජෙසී, විෂ්ණු සමග කතා කර ඇත්තේ දුරකථනයෙන් පමණි.
මුහුණෙන් ඔවුන් එකිනෙකා හඳුනන්නේ නැත. දුරකථනය මඟින් ඔහු ඇයට තමාව මුණගැසීමට සුදුසු ස්ථානයක් ගැන කතා කරමින් සිටින අතර ප්‍රධාන බස් නැවතුම්පොලේ ඇතිවෙන කලබගෑනියක් නිසා විෂ්ණු අතින් තම දුරකථනය නැති වන අතර එය රෝයිගේ අතට පත්වේ.
ඒ අනුව රෝයි, ජෙසී දුරකථනයෙන් කතා කරන විට තමා විෂ්ණු බව පවසයි. ජෙසීට ඒ ගැන පොඩි සැකයක් ඇති වේ. මක්නිසාද යත් ඔහුගේ හැසිරීම තුළ ඇය කිසියම් වෙනසක් දකී.
කෙසේ හෝ අවසානයේ විෂ්ණු ජෙසී සිටින තැනට පැමිණේ. එහිදී රෝයි තමා විෂ්ණු නොවන බවත් තමාට දුරකථනය ලැබුණු නිසා ඇය සමග කථා කළ බවත් පවසයි.

එහෙත් රෝයිට විෂ්ණු පිළිබඳව කිසියම් සැකයක් ඇති වෙයි. ඒ නිසා ඔහු විෂ්ණු සහ ජෙසී පිටුපසින් යයි.
මේ නිසා විෂ්ණු සහ රෝයි අතර රණ්ඩුවක්ද ඇතිවේ. අවසානයේ විෂ්ණු ජෙසී සමග නගරයේ ඇති අවන්හලක් වෙත යයි. අවන්හල දකින විට එය සැක සහිත ස්ථානයක් බව ජෙසීට වැටහේ. කෙසේ හෝ විෂ්ණුගේ සිත් ඇදගන්නා සුළු රූපය නිසා ඇය ඔහු සමග කාමරය ඇතුලට යයි.

විෂ්ණු ගැන සැක කරන්න රෝයි විෂ්ණු පසු පසම යයි.
ජේසීට,විෂ්ණු කවුදැයි වැටහෙන්නේ ඔහු කාමරේදී තමා සමග ලිංගිකව හැසිරීමට ජේසිට ශාරීරිකව බලපම් කිරීම නිසාය.
විෂ්ණුගේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම වෙනත් දෙයකි. අවසානේ රෝයි පැමිණ ජෙසීව විෂ්ණුගෙන් බේරාගනියි.
විෂ්ණු යනු මේ ආකාරයට ගැහැණු ළමයින්ට බලාපොරොත්තු දී ඔවුන්ව රවටා ගණිකා නිවාසයක් පවත්වාගෙන යන කෙනෙක් බව ජෙසී වටහා ගන්නා විට ඇයට ඇය ගැනම දැඩි කලකිරීමක් සහ ආත්ම අනුකම්පාවක් ඇතිවේ.
ජෙසී විෂ්ණු මුණ ගැසීමට පැමිණෙන එක හේතුවක් වන්නේ ඔහු ඇයව මුහුදු වෙරළට එක්කන් යන බවට දෙන පොරොන්දුවයි. මුහුද දකින්නට සහ වෙරළේ රැලි පාගන්නට ජෙසී දැඩි ආසාවෙන් සිටියි.
එහෙත් සිදුවන්නේ වෙනත් දෙයකි.
රෝයි ජෙසීව ඇයගේ නිවසට පිටත් කර යැවීමට සූදානම් වන විට ජෙසී රෝයිට ස්තූති කර ඔහුගෙන් ඉල්ලීමක් කරයි.
” අයියේ මාව මුහුදු වෙරළට එක්කන් යනවද?”
රෝයි ජෙසීව මුහුදු වෙරළට කැඳවාගෙන යයි.
කුඩා දැරියකසේ මුහුදේ රැල්ල පාගන ජෙසී මෙතෙක් සිදුවූ සියලු දේවල් සිතින් සෝදා හරිනු ලබයි.

අවසානයේ ජෙසී නිවසට පැමිනෙන අතර තමා පිළිබඳව කැමැත්තෙන් සිටින ගමේ තරුණයා පිළිබඳව සෙනෙහසින් සිතන්නට ඇය පටන් ගනී.

චිත්‍රපටය අවසාන වන්නේ ජෙසී තම නිවස අසල ඇති මරිය මව්තුමියගේ කුඩා ප්‍රතිමාව අසලට පැමිණ ඉටි පන්දමක් දල්වන දර්ශනයකිනි.

චිත්‍රපටය අවසාන වන තෙක්ම සුරූපී ජෙසී සහ කඩවසම් විෂ්ණු පිළිබඳව සුන්දර සිතුවිලි ප්‍රේක්ෂකයන්ගේ මනසේ ඇතිවන අතර දඩබ්බර ගති ඇති රෝයි පිළිබඳව අපට අප්‍රසන්නම බවක් දැනේ.

මේ දිනවල බහුලව කියවෙන වදන් පෙළක් වන ” පිටකවරය දෙස බලා පොතේ ඇති අන්තර්ගතය තේරුම් ගන්නට එපායි” යන්න මෙම චිත්‍රපටය නැවතත් තහවුරු කරයි.

එසේම, තරුණ ගැහැනු ළමයි මුළාවට පත් කරන මෙවන් සිදුවීම් අප වැනි සමාජයක ඉතා බහුලය. එබැවින් මෙය නව යොවුන් වියේ තරුණියන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් යයි මට සිතේ.
ජෙසී, විෂ්ණු සහ රෝයිගේ ජීවිත වලට සම්බන්ධ තවත් චරිත කිහිපයක් මේ චිත්‍රපටිය තුල දිව යයි.
සෘජුම චිත්‍රපටයේ කතා තේමාට එම චරිත සම්බන්ධ නොවුණත් එම චරිත චිත්‍රපටයට නැවුම් බවක් රැගෙන එයි.

විවිධ තේමාවන් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන මලයාලම් සිනමාකරුවෝ ලෝකය පුරා ප්‍රේක්ෂකයින්ට යම් උසස් වින්දනයක් ලබාදෙති.
කප්පෙලා ද එවන් සිනමා නිර්මාණයකි.
මෙම චිත්‍රපටය තෙළිගු භාෂාවෙන් සහ ඉන්දියාවේ තවත් ප්‍රාදේශීය භාෂාවකින් වෙනම නිර්මාණය කර ඇති බව අන්තර් ජාලය වාර්තා කරයි.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2023.11.15.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article