ලාල් නිසා හිරු නසී….

0
140

ලාල් කාන්ත ඇමතිවරයාගේ වත්කම් සම්බන්ධයෙන් තමන් පලකළ පුවත වැරදි බව හිරු පිළිඅරගෙන.

ඒක ඔවුන් නිවැරදි කරන්නේ “මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය” යනුවෙන් මොකක්දෝ හරුපයක් කියලා.

මෙතන වරදකුත් කරලා අයිතියක් ගැන කතාකරන්න බැහැ. ඒත් නිවැරදි කිරීමේ සදාචාරාත්මක වගකීමක් නම් තියෙනවා. (Right/Resposibility of Correction)

ඒ කියන්නේ මාධ්‍යයේදි නිවැරදි කිරීමේ අයිතිය යනු ප්‍රකාශන නිදහසේ කොටසක් ලෙස හඳුනාගත් වගකීමක් පමණයි.

එකී වගකීමෙන් (නිවැරදි කිරීමේ අයිතිය)
වුවත් අගතියට පත්වන පාර්ශවයකට මුළුමනින්ම සාධාරණයක් ඉටුවන්නේ නැහැ.

වැරදි ප්‍රවෘත්තිය දස ලක්ෂ ගණනකට ළඟා වෙද්දී, නිවැරදි කිරීම ළඟා වන්නේ දහස් ගනනකට පමණයි. මෙය “Viral Misinformation Gap” ලෙස හැඳින්වෙනවා.

බිඳුනු කලයක් යළි සවි කළත් එය මුල් එකට සමාන නැහැ. සම්ප්‍රදායික මාධ්‍යයටත් වඩා සමාජ මාධ්‍ය යුගයේ මෙය දැඩි අභියෝගයක්.

මා නම් දකින්නේ ලාල් කාන්ත අමාත්‍යවරයාගේ වත්කම් පිළිබඳ වාර්තාකරණය (කෝටි 47 ක් බව දැක්වීම) බරපතලම අවස්ථාවක් නොවන බවයි. එය කරුණු (Facts) වැරදි ලෙස වාර්තා කිරීමක් බැවින් දැන් හෝ නිවැරදි කෙරෙනවා.

එහෙත් මාධ්‍ය වාර්තාකරණයේදී ස්ථාපිත වන නිෂේධනාත්මක අදහසක්, හැඟීමක්, සැකයක්, හෝ ප්‍රශ්නයක් කිසිදා සම්පූර්ණයෙන් නිවැරදි කිරීමේ හැකියාවක් නැහැ.

එය නූතන මාධ්‍ය ක්ෂේත්‍රයේ වඩාත්ම බලවත් හා නිහඬ අසාධාරණය ලෙස හැඳින්විය හැකියි.​​​​​​​

උදාහරණයකට ජාතිවාදී, ආගමික හෝ දේශපාලන ප්‍රශ්න අදහස්, මතවාද, විවේචන ඇසුරින් සමාජගත වීමෙන් පසු සමාජීය ආතතියක් ඇතිවීම දක්වන්න පුළුවන්.

එමගින් කලකෝලහාල, ජීවිත අවදානමට ලක්වීම, වෙනත් දේශපාලන සංසිද්ධි නිර්මාණය විය හැකි වුවද නිවැරදි කිරීමක් මගින් ඒ කිසිවක් පැවති තත්ත්වයට ගෙන එන්න බැහැ.

2015 යහපාලන සමය ඇරඹීමෙන් පසු රට, ජාතිය, ආගම අනතුරේ වැටී ඇති බව, මුස්ලිම් විරෝධය වැනි මාතෘකා මීට උදාහරණයක්.

එදා 2018 දී රාජපක්ෂ කඳවුර දින 52 ක ආණ්ඩුවක් ලබාගන්නේද මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ඔස්සේ බව නොරහසක්.

එහිදී බොහෝ අවස්ථාවල “හිරු” සහ “දෙරණ” සිට බෞද්ධයා නාලිකාව පවා ඉටු කළේ සාවද්‍ය තොරතුරු ජනගත කිරීමයි. සිදු වූයේ අනර්ථයයි.

ඒ වගේම රටේ ආර්ථික හා සංවර්ධන මට්ටම්, වංචාව හා දූෂණය ආදිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රබන්ධ කෙරෙන තොරතුරු ඔස්සේද ආණ්ඩු පෙරළීම දක්වා සිදුවන්නේ “මාධ්‍ය කිසිදා නිවැරදි නොකරන වැරැද්දක්” බව බොහෝ දෙනා නොතේරුම් ගන්නා දෙයක්.

වත්මන් ආණ්ඩුව වුවත් දැනට යම් පමණකට මුහුණ දෙමින් සිටින්නේ එවැනි අභියෝගයක්.

ලාල් කාන්තලාගේ Facts සහිත වැරදි ප්‍රවෘත්තියකට වඩා ජන මතය වෙනස් කිරීම වෙනුවෙන් මාධ්‍ය උපක්‍රමිකව සිදුකරන මෙහෙයුම බලවත් මෙන්ම අශිෂ්ඨ එකක්.

මෙහිදී සිදුවන අගතිය වන්නේ නිවැරදි කිරීමක් නොමැති නිසා එම රූපය හෝ ගොඩනැගෙන වින්‍යාශය ජනතාවගේ මතකයන් තුළ පැවතීමයි.

උදාහරණයකට දේශපාලකයකු සමබ්න්ධයෙන් “මහජන මුදල් වංචා” චෝදනාවක් ඉදිරිපත් වේ නම් එය ජනතාවගේ සිතේ සැකයක් සේ පැළපදියම් වන අතර නිවැරදි කිරීමක් නොවන බැවින් සමාජ සාකච්ඡාවම ඒකපාර්ශ්විකව ගලා යනවා.

ඡන්දදායකයන් මෙන්ම ආයෝජකයන් වැනි අවශේෂ පාර්ශව පවා එහිදී තීරණ ගන්නේ එකී බලපෑමට යටත්වයි. එනම් සෑම විටම මුල් ප්‍රචාරණය බලවත් වීමයි (First Impression Dominance).

හිරු නාලිකාව කරන අනර්ථය තවදුරටත් බලවත් වීමට බලපාන කරුණ කිහිපයක්ද පවතිනවා.

ඔවුන් සෑම විටම කියන්නේ “පැත්ත ගියත් ඇත්ත කියන” බවයි. ජන විඥානයට එය දැනටමත් ඇතුල් වී තිබිය හැකියි.

මාසයෙන් මාසයට ලංකාවේ පවත්වන මාධ්‍ය සම්මාන උළෙලවලදී “හිරු” හොඳම, ප්‍රශස්ථම, විශ්වසනීය හෝ ජනප්‍රියම ප්‍රවෘත්ති නාලිකාව බවටද පත්වෙයි. ප්‍රවෘත්ති මැදිරියේ මේසය මත සම්මාන 30-40 ක් දිස්වෙයි. එනයින් ඔවුන්ට ඉහළ වලංගුභාවයක් පවතී.

ඒ වගේම සැමවිටකම රටක විරෝධාකල්ප සහිත ප්‍රවෘත්ති ජනතා ආකර්ෂණය ගනී. සිරස, හිරු මෙන්ම දෙරණද කලින් කලට පවතින ආණ්ඩුවක ගැටළු මනාව ප්‍රක්ෂේපණය කර පෙන්වීම සමග එම නාලිකා “වැඩිම පිරිසක් බලනවා” යන්න බොරුවක්ද නොවේ.

ලාල් කාන්තගේ ඉහළ වත්කම්, අගමැතිනි හරිනි අමරසූරිය රනිල් වික්‍රමසිංහ බැලීමට ජාතික රෝහලට යාම, රන්මිණිතැන්නට කොටි පැන ඝාතන සිදුකිරීම ආදි තනි තනි සිදුවීම්වලට අදාළව හිරු නාලිකාව සාවද්‍ය ප්‍රවෘත්ති පලකිරීමට වඩා බරපතල වන්නේ ඔවුන් සමස්ත ප්‍රවෘත්ති සංදර්භය මගින් ජනතාවට ඇති කරන බලපෑමයි.

ආණ්ඩුවක් රැකීම හෝ පෙරළීම මාධ්‍යයේ ඍජු වගකීම නොවේ. ජනතාවට නිසි තොරතුරු ලබාදීමෙන් බැහැරව ලංකාවේ දැනට මේ දෙකම සිදුවන විට බොහෝදුරට අපට සිදුවන්නේ උඩබලා ගෙන සිටීම පමණි.

|මහින්ද රුබසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here