ප්‍රේක්ෂක සංවේදීතාවය ප්‍රශ්න කරන රිවස්ටන්, විශිෂ්ඨ නිර්මාණයක්!

0
160

 

රිවස්ටන් කියන නම එම ප්‍රදේශයට ලැබුනේ කෙසේදැයි නිර්වචන හතරක් ඉදිරිපත් කරමින් චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වු අත් අඩංගුවේ සිටින තරුණයා තීරණාත්මක අවස්ථාවකදී උසස් පොලිස් නිලධාරියාට විස්තර කරනවා.
ඒ හැම නිර්වචනයක්ම සාධාරණීය කළ හැකි සාක්ෂි රිවස්ටන් ප්‍රදේශය අධ්‍යයනය කරන කෙනෙකුට සොයා ගත හැකිය.
එහෙත් චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වා එකට ගැටගැසී ඇති අත්අඩංගුවේ සිටින තරුණයා, උසස් පොලිස් නිලධාරියා, සාජන් වරයා සහ කොස්තාපල් කියවා ගැනීම තීරණය වන්නේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයා තුළ පවතින සංවේදීතාවය අනුවය.

සුන්දර කදු පද්ධතියක් අතරින් වැටී ඇති මාවතක් ඔස්සේ ජීප් රථයක මාංචු දැමූ තරුණයෙක් රැගෙන යන්නේ කුමක් සදහාදැයි පැහැදිලි නොවුවත්, එදත් අදත් හෙටත් නියත වශයෙන්ම සිදුවූ සහ සිදුවිය හැකි තිත්ත යථාර්ථය අවසානයේ ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරවයි.
තමන් වෙත පැවරෙන රාජකාරිය කෙතරම් අප්‍රසන්න වුවත්, තමන්ගේ හෘදය සාක්ෂිය බේරාගෙන, ඒ වරද තවදුරටත් කරන්නට සුදානම් පොලිස් නිලධාරීන් මේ රටේ සිටින බව සාජන් වරයාගේ චරිතය තුළින් මතු කිරීමට අධ්‍යක්ෂකවරයා සමත්වී ඇත.

මිනිසුන්ගේ අදෝනාවලට සවන්දීමට සූදානම් වූවත් එම අදෝනාව පිටුපසින් ඇති කුරිරු බලවේගයන්ට එරෙහිව ඔවුන් කටයුතු කරනු ඇතැයි සමස්ථය තුළ පවතින බලාපොරොත්තුව හුදු සිහිනයක් පමණක් බව රිවස්ටන් අපිට කියා දෙයි.
යථාර්ථය අවබෝධ වුවද මිනිසුන් එය පිළිගන්නට සූදානම්දැයි තවමත් ප්‍රශ්නයකි.
අතිශයින්ම සංකීර්ණ තේමාවක් ඉතාමත් සීමිත රූපරාමු සහ කැමරා කෝණ වලට හසුකර ගනිමින් අධ්‍යක්ෂක වරයා සහ කැමරා ශිල්පියා දක්වා ඇති නිපුණතාවය සහ රූප සහ හඩ සංස්කරණය ඉතාමත් විශිෂ්ටය.

ප්‍රධාන චරිත හතර නීරූපනය කරන නළුවන් චිත්‍රපටයක් තවදුරටත් මායාවක් නොව යථාර්ථයක්ම බව පසක් කරති.
රිවස්ටන් මා මෙතෙක් නරඹා ඇති චිත්‍රපට අතුරින් අතිශයින්ම විශිෂ්ඨ නිර්මාණයක් බව කියන්නේ ඒ නිසාය.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2026.05.11.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here