දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන දෙමාපියන්ගේ සියලු පැතුම් එක් නිමේෂයකින් අඳුරට ඇද දමන්නට ජංගම දුරකතනයක් තුළ සැඟවුණු අදෘශ්‍යමාන මාරයෙකුට හැකිවී තිබේ. ලොව පුරා රටවල් ගණනාවක් කුඩා දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කරමින් සිටින පසුබිමක, එහි ඇති බිහිසුණු අවදානම සහ ඛේදවාචකය ලංකාවේ මහපොළොව මත යළිත් වරක් සනාථ කර ඇත.
කුරුණෑගල නගරයේ ප්‍රකට ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි දහසය හැවිරිදි සඳරූ දෙව්මිණ බණ්ඩාර නමැති අතිශය දක්ෂ පාසල් සිසුවා, පසුගිය 8 වැනිදා අලුයම තමන් පදිංචිව සිටි කුරුණෑගල උඩවල්පොල පාරේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයෙන් බිමට වැටී ජීවිතයෙන් සමුගත්තේ සමස්ත ප්‍රදේශයම කඳුළු සයුරක ගිල්වමිනි.
නීතිඥවරයෙකු වූ පියාට සහ ගුරුවරියක වූ මවට දාව උපන් පවුලේ වැඩිමල් දරුවා වූ සඳරූ, අධ්‍යාපනයට දැක්වූ සුවිශේෂී කුසලතාවයන් හේතුවෙන් පාසලේ පන්ති දෙකකින් ඉහළට ඔසවා තැබීමට තරම් භාග්‍යවන්ත වූවෙකි. බාල නැගණියන් දෙදෙනෙකුට ආදරණීය අයියා කෙනෙකු වූ ඔහු, මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන දින උදෑසන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා පියා සමග පිටත්ව යාමට සියලු සූදානමින් සිටියේය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ම අදාළ තට්ටු නිවාසයේ කුලී පදනම මත තාවකාලිකව පදිංචියට පැමිණි ඒ දෙමාපියන්ට, තම ආදරණීය පුතුගේ විභාග ගමන වෙනුවට අවසන් ගමනට ලෑස්ති වන්නට සිදුවීම දෛවයේ කෲර සරදමක් බඳුය.
සිකුරාදා අලුයම 5.00 ට පමණ ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරීන් විසින් සිසුවාගේ සිරුර බිම වැටී තිබියදී සොයාගන්නා විටත්, ඔහු තම විභාගය වෙනුවෙන් රාත්‍රිය පුරා අවදියෙන් පාඩම් කරමින් සිටිනු ඇතැයි මව සිතා සිටියාය. එහෙත්, නිදහස පතා ගොඩනැගිල්ලේ විවෘත ඉහළම මහලට ගිය බවට සැක කෙරෙන ඔහුගේ පාවහන් යුගල පමණක් එහි පිළිවෙළට ගලවා තිබෙනු දක්නට ලැබිණි. ඊටත් වඩා ඛේදජනක කරුණ වූයේ, එම ස්ථානයේ තිබී හමුවූ ඔහුගේ පියාට අයත් ජංගම දුරකතනයේ ඒ මොහොතේත් අන්තර්ජාල සූදු ක්‍රීඩාවක් සක්‍රීයව පැවතීමයි. මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී සහ පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ, මවටත් නොදැනෙන්නට කාමරයෙන් පිටව ගොස් ඇති සිසුවා, මියයාමට පෙර දිගු වේලාවක් පියාගේ දුරකතනයෙන් මෙම අන්තර්ජාල ක්‍රීඩාවේ නිරතව සිට ඇති බවයි.
අලුයම 3.35 ට පමණ ඇසුණු බව කියන බිහිසුණු ශබ්දයත් සමග යකඩ වැටකද ගැටී බිමට පතිත වූ මේ යෞවනයාගේ මරණය හුදු අනතුරක්ද, නැතහොත් ජංගම දුරකතනයෙන් දුන් අණකට කීකරු වීමක්ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මේ වනවිට මතු වී තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කළ පරිදි මොට ආයුධයක වැදීමෙන් හිසට සහ පපුවට සිදුවූ බරපතළ තුවාල හා අධික රුධිර වහනය මරණයට හේතු වී ඇතත්, අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන්ගේද (SOCO) දැඩි අවධානයට ලක්වූ අදාළ ජංගම දුරකතන ක්‍රීඩාව, ඇතැම් විටෙක ක්‍රීඩකයාගේ මනස විකෘති කර සියදිවි නසාගැනීමට අණ කරන හෝ ඒ සඳහා පොළඹවන ස්වභාවයේ එකක් බවට සැක කෙරේ. තමන්ට පාලනය කරගත නොහැකි වූ මනෝභාවයක් තුළ ඔහු තම ජීවිතය අතහැරියාද යන ගැටලුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීන් හමුවේ ඇති විශාලතම අභියෝගයයි.
ජංගම දුරකතනයක් දරුවෙකුගේ අතට පත් කිරීමට පෙර දෙවරක් නොව දහස් වාරයක් සිතා බැලිය යුතු බවට කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලීෂියන් පෙරේරා මහතා මරණ පරීක්ෂණයේදී දුන් අවවාදය, හුදෙක් නෛතික ප්‍රකාශයක් පමණක් නොව, නිහඬවම තාක්ෂණයේ ගොදුරු බවට පත්වෙමින් සිටින දරු පරපුරක් වෙසෙන මුළුමහත් සමාජයටම කරන ලද කඳුළු පිරුණු අවසන් අනතුරු ඇඟවීමකි.
මෙම මරණය පිළිබඳව විද්‍යාත්මකව පරීක්ෂණයක තොරතුරු අනාවරණයක් වී නොමැති හෙයින් ප්‍රවෘතියට අඩංගුව ඇති කරුණු කොටගෙන විනිශ්චයක් නොකිරීමට වගබලාගැනීමට කයයුතු කිරීම ඔබගේ වගකීමකි
(එමිල් රොහාන්ගේ ෆේස්බුක් පිටුවෙනි)











