ක්‍රි.ව. 1544 දී යාපනේ පළමුවන සංකිල්ලි රජ විසින් මන්නාරමේදී කතෝලිකයින් 600කට වැඩි පිරිසක් සමූහ ඝාතනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික කිතුනු ප්‍රජාව සිය ඉතිහාසයේ මුහුණපෑ විශාලතම සමූහ ඝාතනය 2019 අප්‍රේල් 21 එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය බව අපි කවුරුත් දන්නෙමු.
2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග 1544 මන්නාරමේ කිතුණු සමූලඝාතන පිළිබඳව ද කිතුණු ජනයා තුළ ඇති මතක නැවත අලුත් කිරීම සඳහා කොළඹ අගරදගුරු පදවිය විශේෂ වැඩසටහන් දෙකක් දියත් කළේය. එකක් නම් මීගමුව කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානයේ හා කොළඹ කොච්චිකඩේ සා. අන්තෝනි දේවස්ථානයේ පාස්කු වින්දිතයන්ව මන්නාරමේ තොඩ්ඩාවේලි (Thoddaveli) හි ඇති මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ දේවස්ථානයට රැගෙන ගොස් ඔවුන්ගේ ජීවිත පූජාවන් අපේ විශ්වාසයේ බීජයන් යැයි පසක් කළේය. දෙවැන්න නම් “ප්‍රාණ” නමින් මන්නාරමේ කිතුනු ප්‍රාණ පරිත්‍යාගීන් පිළිබඳව චිත්‍රපටයක් ද නිර්මාණය කළේය. ඒ සියල්ල කළේ නොමැකෙන තුවාලයන් සහිත ලාංකික කිතුනු ප්‍රජාවගේ පොදු මතකය (collective memory) වෙනුවෙනි. ඕනෑම ජන සමාජයකට එම ප්‍රජාවගේ පොදු මතකයන් (collective memory) ඉතා වැදගත්ය. ක්‍රිස්තු වහන්සේගේ උපතේ සිට මරණය දක්වා ද, අපෝස්තුවරුන්ගේ මරාදැමීම්හි සිට මුල් කිතුණු ප්‍රාණ පරිත්‍යාගීන්ද, සාන්තුවර සාන්තුවරියන්ද අප අනුස්මරණ කරනුයේ කිතුණු ජනතාවක් ලෙස පොදු මතකයන්ගේ (collective memory) වැදගත්කම නිසාමය.
එහෙත් එකී ප්‍රජාවගේ පොදු මතකයන් (collective memory) කිසිවිටක තෝරාගත් මතකයන් (selective memory) විය නොහැක.
අප එසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව, විශේෂයෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රමුඛ කොළඹ පදවිය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වලට යුක්තිය ඉල්ලා අභීතව පෙනී සිටියද, ලාංකික කිතුණුවන් සම්බන්ධයෙන් අදාළ වන යුක්තිය සෙවිය යුතු, සත්‍යය මතුකර ගත යුතු, තවත් බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් එතරම් හඬක් නගන්නේ නැති නිසාය.
එයට හොඳම උදාහරණය උතුරේ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා පිළිබඳව කිසිදු විස්තරයක් සොයාගැනීමට හෝ ඔහුට සිදුවූයේ කුමක්දැයි යන්න සොයා ගැනීමට ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීමය.
2009 මැයි 19, ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසාන දිනයදා පුදුමාතලන් – වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශවල සාමාන්‍ය ජනයා අතර සිටි LTTE සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයට ආරක්ෂක අංශ විසින් බාරවන (surrender) ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත් රජය නිවේදනය කළේය. රජයේ එම සහතිකය විශ්වාස කර ශ්‍රී ලංකා රජයට බාරවීමට කැමැති වූ LTTE සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය ආරක්ෂක අංශ වෙත භාරදීමේ මැදිහත්කරු ලෙස කටයුතු කළේ ගරු ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාය.
එතුමාගේ මැදිහත්වීම මත LTTE සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල 300යකට අධික පිරිසක් බාරවීමට ඉදිරිපත් විය. එහෙත්, එම පිරිස ආරක්ෂිතව රැගෙන යන බවට තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සමඟම ගමන් කළ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාද එදායින් පසු අතුරුදහන් විය. එතුමාගේ මැදිහත්වීම නිසා භාර වූ 300යකට අධික එම පිරිස පිළිබඳව ද අද දක්වා නිශ්චිත පිළිතුරක් නොමැත.
මෙය සාමාන්‍ය අතුරුදහන් වීමක් නොවේ.
මෙය ආගමික නායකයෙකු තම සදාචාරාත්මක වගකීම ඉටු කිරීමට යාමේදී අතුරුදහන් වූ සිදුවීමකි.
තම වචනය විශ්වාස කර බාර වූ මිනිසුන් සමඟම අතුරුදහන් වූ පියතුමෙකුගේ කතාවකි.
එබැවින් ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා පිළිබඳ ප්‍රශ්නය පුද්ගලයෙකුගේ ඉරණමක් ගැන පමණක් නොවේ. එය කතෝලික සභාවේ මතකය, ප්‍රමුඛතා සහ යුක්තිය පිළිබඳ ස්ථාවරය ගැනද ප්‍රශ්නයකි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික සභාව අඛණ්ඩව කටයුතු කිරීම අගය කළ යුතුය. එය ආගමික නායකත්වයක සදාචාරාත්මක වගකීමකි.
එහෙත්, යුක්තිය පිළිබඳ සදාචාරාත්මක ස්ථාවරයක් සම්පූර්ණ වන්නේ, එය කෙතරම් දුෂ්කර වුවද, අවදානම් සහගත වුවද, ඇතැම්විට අනතුරුදායක වුවද ඒ කිසිවක් නොසලකා අඛණ්ඩව පෙනී සිටීමය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩ හඬක් නැඟෙන අතර, ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා සම්බන්ධයෙන් ද මෙන්ම උතුරු නැගෙනහිර යුද්ධය අතරතුර මරාදැමූ හා අතුරුදන් කළ:
1. 1983 මුලතිව්හි ‘Little Flower’ කන්‍යාරාමයේදී වෙඩි තබා ඝාතනය කළ මේරි රෙජිනා පැවිදි සොහොයුරිය (Sr. Mary Regina),
2. 1984 මන්නාරම ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් මරාදැමූ මරියානාදන් (Fr. Maryathanam) පියතුමා,
3. 1985 මන්නාරම ශුද්ධ වූ යාකොබ් මුනිදුන්ගේ දේවස්ථානයේදී සිවිල් වැසියන් පිරිසක් සමඟ ඝාතනය කළ බැස්තියන් (Fr. Mary Bastian) පියතුමා,
4. 1992 මන්නාරම ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද චන්ද්‍ර ප්‍රනාන්දු (Fr. Chandra Fernando) පියතුමා,
5. 1990 මඩකලපුව ප්‍රදේශයේ දෙමළ-මුස්ලිම් සංහිඳියාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටියදී අතුරුදහන් වූ ඇමරිකානු ජාතික යුජින් ජෝන් හර්බට් පියතුමා (Fr. Eugene John Herbert),
6. 2006 යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ අවතැන් වූවන්ට සහන සලසමින් සිටියදී ඔහුගේ සහායකයා සමඟ ආරක්ෂක මුරපොළක් පසුකර යද්දී අතුරුදහන් වූ තිරුචෙල්වම් ජිම් බ්‍රවුන් (Fr. Thiruchelvam Jim Brown) පියතුමා,
7. 2009 යුද්ධයේ අවසන් දිනවල (මුල්ලිවයික්කාල්හිදී) සිවිල් වැසියන්ට උපකාර කරමින් සිටියදී මරණයට පත්වූ මරියම්පිල්ලෙයි සරත්ජීවන් පියතුමා (Fr. Mariampillai Sarathjeevan),
ආදී පියතුමන්ලා හා පැවිදි සොහොයුරියන් පිළිබඳව ද, දකුණේ භීෂණය පැවැති සමයේ,
8. 1987 ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ දුප්පත් ජනතාව වෙනුවෙන් හඬක් නැඟූ බුත්තල සුබසෙත් පියස ආශ්‍රමයේදී දිව්‍ය පූජාවක් පවත්වමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණු මයිකල් රොද්‍රිගෝ පියතුමා (Fr. Michael Rodrigo),
9. 1990 දුප්පතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කටාන කෝන්ගොඩමුල්ල දේවස්ථානය තුළ සැක කටයුතු ලෙස ඝාතනය වූ ශ්‍රී ලාල් අමරතුංග (Fr. Sri Lal Amaratunga) පියතුමා,
10. 2001 මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හඬ නැඟූ මීගමුව තිල්ලන්දූව ශාන්ත ජෝසප් ආබා කොස්තා (Fr. Alfred Bernard Costa) පියතුමා
වැනි සමාජමය, දේශපාලනික අර්බුද සමයන්හි සිය බැටළු අත්නොහැර ඔවුන් වෙනුවෙන් සංවේදී වූ, ඔවුන් වෙනුවෙන් මැදිහත් වූ නිසා මරණයට හෝ අභිරහස් ලෙස අතුරුදහන් වූ පියතුමන්ලා පිළිබඳව යුක්තිය සහ සත්‍යය සොයා යාමේ අඛණ්ඩ උත්සාහයක් හෝ ප්‍රමාණවත් මැදිහත්වීමක් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ඔස්සේ සිදුවෙනු දක්නට නොලැබේ.
එහෙත් ඔවුන් සියල්ලන්ම නොමැකෙන තුවාලයන් සහිත ලාංකික කිතුනු ප්‍රජාවගේ පොදු මතකයන් (collective memory) ය. අපහසු වුවද ඔවුන් වෙනුවෙන්ද යුක්තිය හා සත්‍යය පිළිබඳව හඬ අවදි කළ යුතුය.
කිතුණු ප්‍රජාවක් ලෙස අප මතක තබාගන්නේ කාගේ මරණද? කාගේ අතුරුදහන් වීම්ද? යනුවෙන් අපගේ මතකයන් කිසිවිටක තෝරාගත් මතකයන් (selective memory) විය නොහැක. ලාංකික කිතුනු ප්‍රජාවගේ පොදු මතකයන් (collective memory) කිසිවිටක තෝරාගත් මතකයන් (selective memory) නොවිය යුතුය.
**සියලු වින්දිතයන් වෙනුවෙන් හඬ නගමු!!**
**ඒ සියල්ලන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට හා සත්‍යය මතුකර ගැනීමට මැදිහත් වෙමු!!**
**ලාංකික කිතුනු ප්‍රජාවගේ පොදු මතකයන් (collective memory) කිසිවිටකත් තෝරාගත් මතකයන් (selective memory) වීමට ඉඩ නොදෙමු!!**
යුක්තිය සඳහා කිතුණු එකතුව
Christian Collective for Justice
Connect with us #CCJ 🙏❤️🙏
[Ccollective4justice@gmail.com]
(mailto:Ccollective4justice@gmail.com)
https://www.facebook.com/share/p/17TNMz1VpV/











