Milan2නව ආණ්ඩුව පත් වීමෙන් පසුව විදේශ ධූත මණ්ඩල ගනනාවක නිළධාරීන් ආපහු රටට ගෙන්වා ගැනීමෙන් පසුව ඒ සඳහා නියමිත නිලධාරීන් පත් කර නොයැවීම නිසා ඉතාලියේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් දැඩි අපහසු තාවයකට පත්ව තිබේ.
මේ වන විට කොරොනා අවදානම වැඩිම රටක් ලෙස සහ ඒ අවදානම පාලනය කිරීම සම්බන්ධයෙන් දුර්වලම රාජ්‍යක් බවට පත්ව සිටින ඉතාලියේ සියලු ජනතාව ඉතා අනතුරුදායක වටපිටාවක් තුල ජීවත් වේ. මෙ රෝග අවධානම ගැන ප්‍රමාණවත් දැනුවත් කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරයන් ගැනීමට එම රජය අපොහොසත්ව සිටී.
ඒ කෙසේ නමුත් මේ අවදානම් තත්වය හමුවේ යම් ලෙසකින් හෝ මෙරටට පැමීනීමට අපේක්ෂා කරන එරට සිටින ශ්‍රි ලාංකිකයන් රැසකට යළි මෙරට පැමිණීමෙ නීත්‍යානුකූල හැකියාවක් නොමැති වීමේ බරපතල ගැටලුවකටද මුහුණ දී සිටී.  තානාපති කාර්යාලය සහ කොන්සාල් ජෙනරල් කාර්යාලවල වගකිව යුතු නිලධාරීන් නොමැති වීම තුල ශ්‍රී ලාංකිකයන්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට තීන්දුවක් ගැනීමේ හැකියාව නොමැත.
එමෙන්ම එරට වෙසෙන ශ්‍රී ලංකිකයන්ගේ ගුවන් ගමන බලපත්‍ර සම්බන්ධ ගැටලු නිරකරණය කර දීමට දක්වන නිද්‍රාශීලී බාවය නිසා හදිසි තත්වයන් හමුවේ ශ්‍රි ලාංකිකයන් සිය ගනනකට මෙරට පැමිණීමේ හැකියාව අහිමි වී තිබේ. ගුවන් බලපත්‍ර අලුත් කිරීම/ අඩුපාඩු සකස් කර ගැනීම ආදිය එරට කොන්සාල් ජෙනරල් කාර්යාල හා තානාපති කාර්යාලය හරහා මෙරට ආගමන විගමන කාර්යාලයෙන් සිදු කර ගත යුතුව තිබේ.
මේ වෙනුවෙන් නියමිත පරිදි ආකෘති පත්‍ර පුරවා ගෙවීම්ද සිදු කර තිබුණත් ඇතැමුන්ට වසරක තරම් කාලයක් යන තුරුත් නව බලපත්‍ර ලැබී නොමැත. ඇතැම් අඩු පාඩු සම්බන්ධයෙන් ආගමන විගමන කාර්යාලය, ඉතාලි තානාපති කාර්යාලය දැනුවම කිරීම ක්ෂණිකව සිදු කර තිබුණත් එම තානාපති අංශ නිලධාරීන් අදාල ඉල්ලුම් කරුවන්ට ඒ බව දැනුම් දීමට කටයුතු කර නොමැත. මේ නිසා කල් ඉකුත් වූ/විනාශ වූ / අඩුපාඩු සහිත ගමන් බලපත්‍ර සහිත විශාල පිරිසක් මේ වන විට ඉතාලිය තුල සිටී.. එම පිරිසට හදිසි තත්වයක්දී ඉතාලියෙන් පිටවීමට පවතින නීති රීති අනුව බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුවන අතර යම් හෙයකින් ශ්‍රී ලංකාවට පැමිණියද යළි ඉතාලිය කරා යැමට නොහැකි වාතාවරණයකටද මුහුණ දීමට සිදුවනු ඇත.
වත්මනෙහි පවතින අවධානම් තත්වය සලකා බලා හෝ මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වෙන ලෙස එම පිරිස් තානාපති කාර්යාලයට දැනුම් දී ඇති නමුත් වගකිව යුතු නිලධාරියකු නොමැති කමින් කිසිවක් සිදු නොවේ.
ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා පිලියම් යෙදිය යුතුව තිබේ..
මරණයේ අවාසනාවන්ත දේශය බවට  නුදුරේම පත් වීමේ දැඩි සම්බාවිතාවක් පවතින ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිස ඉන් මුදවා ගැනීමේහි වගකීම ශ්‍රි ලංකා රජය සතුවේ. වත් මන් ජනාධිපතිවරයාට සහ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඒ වගකීමෙන් ගැලවිය නොහැක.
ලක්දේෂ් විජේසිංහ – ඉතාලියේ සිට