spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෝවිඩ් එන්නත් වැඩ සටහන දේශපාලනීකරණය වෙලා – ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින් කියයි

Must read

  කෝවිඩ් -19 එන්නත් වැඩ සටහන දේශපාලනීකරණය කිරීම බරපතල කාරණයක් බව ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ සංගමය කියා සිටියි. තීන්දු තීරණ අවිධිමත් ලෙස ගැනීමත් එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හඳුනාගෙන නොතිබීමත් නිසා එන්නත් වැඩ සටහන මේ වන විට අවුල් ජාලයක් වී ඇතැයි ද එම විද්වත් සංගමය අවධාරණය කර සිටියි.   
එක් එක් අයගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කිරීමට යාමත් විවිධ අයගේ අදහස් වලට එකග වීමත් නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන COVID 19 එන්නත් කිරීමේ වැඩ සටහන විසින් ඇති කර ඇති ගැටළු, කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස අහිතකර ප්‍රතිපල ගණනාවකට මගපාදනු ඇත.  
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට සෘජුවම දායක වී ඇති, එය මෙහෙයවීම පිලිබඳ තාක්ෂණික දැනුම ඇති,  ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ සංගමය එම කාරනා සඳහන් කර ඇත්තේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.     

cov21

  COVID 19 ආසාදනය මැඩලීම සඳහා එන්නත් ලබා දීම මානව ඉතිහාසයේ වැඩි වශයෙන් කථා බහට ලක්වුණු, දියුණු සහ වේගවත්මවූ  (ඉක්මණින් ප්‍රතිලාභීන් වෙත ළඟාවූ) එන්නත් වැඩ සටහනයි.    ලොව ආදයම් බෙදීයාමේ විෂමතාව සහ එන්නත් මාෆියාවක් ඇතිවීමේ හැකියාව කල් තබා හඳුනාගත් ජාත්‍යන්තර විශේෂඥයින්  COVAX වැඩ පිළිවෙළ හඳුන්වා දුන් අතර එහි මුලික අරමුණ වුයේ සැම රටකටම ඔවුන්ගේ අදායම් තත්වය නොසලකා, සමාන ලෙස සහ විද්‍යාත්මක ලෙස එන්නත් ලැබීමට සැලැස්වීමයි.  

   එනමුත්, අසමාන ලෙස ගෝලීයව එන්නත් බෙදීයාම වැළක්විය නොහැකි අතර එය දැනටමත් බරපතල විෂමතාවයක් පෙන්නුම් කරයි. වැඩි අදායම් ලබන රටවල් අඩු අදායම් ලබන රටවල්වලට සාපේක්ෂව 80 ගුණයකින් වැඩියෙන් තම ජනගහනයන්ට එන්නත් ලබා දී ඇත.    

පසුගිය ජනවාරි මාසයේ අග සිට ශ්‍රී ලංකාවට එන්නත් වර්ග තුනක් (ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික්, සිනොෆාර්ම්) ලැබුණු අතර එයින් වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග වශයෙන් ලැබුණු අතර මිලදී ගැනීමට හැකි වූයේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000 ක් පමණි.       

07 76

පළමු වටය ලබා දීමෙන් පසු සෑහෙන කාලයක් එන්නත් ලබා ගැනීමට අපහසු වූ අතර අප මෙතෙක් එක් මාත්‍රාවක් හෝ එන්නත් ලබා දී ඇත්තේ ඉලක්කගත ජනගහනයෙන් ආසන්න වශයෙන් 8% කට පමණි.   CVODI-19 වැළක්වීම, පිළිබඳව තීන්දු තීරණ ගැනීම, අද තවමත් සිදු කරනු ලබමින් සිටින්නේ ජාතික මට්ටමිනි.    සම්පත් වෙන් කිරීම, රෝගීන් සඳහා රෝහල් වෙන් කිරීම, ඇඳන් වෙන් කිරීම, එන්නත් බෙදා හැරීම යනාදිය අපි තවමත් තීරණය කරනු ලබන්නේ මධ්‍යගතවය.    තීන්දු තීරණ ගැනීම විවිධ අය විසින් කරනු ලැබීම සහ එහි මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම නිසා එම පසුබිම ශ්‍රී ලංකාවේ COVID 19 පාලනයට බොහෝ ගැටළු මතුකර ඇත.

  ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය ලොව ඉතාමත් සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩ සටහනක් ලෙස සැලකෙන අතර එය ඉහළ ප්‍රතිශක්තිකරණ ආවරණ අගයන් ලබා ගැනීමෙන් සහ පෝලියෝ සරම්ප වැනි රෝග තුරන් කිරී‍මේ ගෝලීය වැඩ සටහන්වලදී ඉදිරියෙන්ම සිටී.       
  එන්නත් ලබා දීම පිළිබඳව වගකීම දරණ වසංගත රෝග විද්‍යා අංශය, වඩාත් ආරක්ෂිත සහ ගුණාත්මක එන්නත් මිලදී ගැනීමේදී සහ එන්නත් මගින් වළක්වන රෝග පිළිබඳ ආවේක්ෂණය සහ අතුරු ආබාධ පිළිබඳ ආවේක්ෂණයේදී ලොව ඉහළම තාක්ෂණික හැකියාවක් තිබෙන ආයතනයක් ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබිණි.   
ශ්‍රී ලංකාවේ එන්නත් ලබා දීම පිලිබඳ ඉතිහාසය  19 වන සියවස දක්වා දිව යයි.   ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන විමධ්‍යගත කර ඇති අතර එය දිස්ත්‍රික් හා බිම් මට්ටමේ දී, දිවයින පුරා පුළුල් ජාලයක් ලෙස විසිරි ඇති මහජන සෞඛ්‍ය සේවාවලට පූර්ණ ලෙස ඒකාබද්ධ වී ඇත.    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල සේවය කරන මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි) එන්නත් ලබා දීම සඳහා පුහුණු කරණු ලැබූ තාක්ෂණික නිලධාරීන්ගෙන් සමන්විත වේ.   COVID-19 ට එරෙහිව එන්නත් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේදී එයට නියමිත වෙලාවට එන්නත් ලබා ගැනීම, මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ, වඩාත්ම වැදගත් කරුණ ලෙස ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් තිබිය යුතුව තිබුණි.    මෙය ප්‍රමාණවත් මුලික සැලසුමක් සහිතව අවදානම පිළිබඳව හොඳ සන්නිවේදනයක් සහ දැනට කරගෙන යනු ලබන අනෙකුත් කටයුතු වලට බාධාවක් නොවන සේ කාර්ය මණ්ඩල සුදානම් කිරීමක් සමඟ අත්වැල් බැඳ ගත යුතුව තිබිණි.  

ඉහත කිසිවක් හෝ පිළිපැදීමට අපොහොසත් වීමත් තීන්දු තීරණ අවිධිමත් ලෙස ගැනීමත් එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හඳුනාගෙන නොතිබීමත් නිසා එන්නත් වැඩ සටහන මේ වන විට අවුල් ජාලයක් වී ඇත.      එක් එක් අයගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කිරීමට යාමත් විවිධ අයගේ අදහස් වලට එකග වීමත් නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන COVID 19 එන්නත් කිරීමේ වැඩ සටහන විසින් ඇති කර ඇති ගැටළු, කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස අහිතකර ප්‍රතිපල ගණනාවකට මගපාදනු ඇත.      

ප්‍රධාන ගැටළු හඳුනාගමු :      

අපි මේතාක් පැවති මෙම COVID 19 එන්නත් වැඩ සටහනෙහි ප්‍රධාන ගැටළු ලෙස ඉහත කරුණු හඳුනා ගෙන ඇත්තෙමු.

    1. පැහැදිලි ඉදිරි සැලැස්මක්  නොමැතිකම.

    2. පවතින සීමිත එන්නත් ප්‍රමාණය සංකූලතා සහ මරණ අවම කිරීමේ අරමුණින් ප්‍රමුඛතාවය දීමට කිසිදු උත්සාහයක් නොගැනීම.    

3. දුර්වල සැලසුම්කරණය හේතුවෙන් ඉල්ලුම හා සැපයුම්  නොගැලපීම (මුල්‍යමය හා මානව සම්පත් යන දෙඅංශයෙන්ම)  

4. එන්නත් කිරීමේ ව්‍යාපාරයට බාධා වන පරිදි අනවශ්‍ය පාර්ශ්වකරුවන් ඕනෑවට වඩා සම්බන්ධ කර ගැනීම.  

  5. අවදානම් සන්නිවේදනය ප්‍රමාණවත් නොවීම.  

  6. සෑම මට්ටමකමදීම ඇති කර ඇති අවිනිශ්චිතතාවය (පුද්ගල, සංවිධාන සහ දේශපාලන)       ඉහත ගැටළු නිසාම එන්නත් ලබාදීමේදී  විවිධ සිදුවීම් වාර්තා වී තිබේ. (මුදලට විකිණීම, නුසුදුස්සන්ට ලබාදීම)   

මේ හැර ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 6 කට ආසන්න ජනතාවට තම දෙවන එන්නත ලබා ගැනීම පිළිබඳව අවිනිශ්චිතතාවයකට මුහුණ දීමට සිදුව තිබේ.    ඊට අමතරව දේශපාලකයින් සහ නොයෙකුත් මාධ්‍ය මගින් කරන ප්‍රකාශ නිසා මෙතක් කලක් සාර්ථකව කරගෙන ආ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනද අපකීර්තියට පත්වීමට ඉඩ තිබේ.   ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට සෘජුවම දායක වී ඇති, එය මෙහෙයවීම පිලිබඳ තාක්ෂණික දැනුම ඇති, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් වන අපි, COVID 19 එන්නත්කරන වැඩසටහනට අදාළව ඇතිවී තිබෙන මෙම තත්වය පිළිබඳව අපේ බලවත් කණස්සල්ල ප්‍රකාශ කර සිටින අතර බාහිර බලපෑම් වලින්  තොරව තාක්ෂණික දැනුම ඇති නිලධාරීන්ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙස අදාල බලධාරීන්ගෙන් දැඩි ඕනෑකමින් ඉල්ලා සිටිමු.”      

Latter 2021.05.22

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති කියන කතාව :  
    මේ අතර රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ගැන ඊයේ (21) අදහස් දක්වා තිබු අතර එහිදී ඔහු පහත කාරණා අවධාරණය කළේය.

    1. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20 වැඩි ජනගහනය එන්නත් කිරීම සඳහා කොවිඩ් එන්නත් මිලියන 29 ක් අවශ්‍යයි.

  2. මේ වන විට Sinopharm එන්නතින් මිලියන 14ක්, Sputnic V එන්නතින් මිලියන 13ක් සහ Pfizer එන්නතින් මිලියන 5 ක් වශයෙන් එන්නත් මිලියන 32 ක් මේ වසරේ දෙසැම්බර් 31 වන විට ලබා ගැනීම තහවුරු කර තිබේ.  

3. දැනට ජනගහනය මිලියන 1.2 කට එන්නත් ලබා දී ඇත. ඒ අනුව මේ වන විට එන්නත් මිලියන 33.2ක් ජනතාවට ලබාදීමට හැකිබවට අප තහවුරු කරගෙන තිබේ.  

4. ජූනි මාසය වන විට Sinopharm එන්නතින් මිලියන 3ක් සහ Sputnic V එන්නතින් මිලියන 1 කුත් ලැබෙන අතර, ජූනි මස අවසන් වන විට ලංකාවේ සෑහෙන්න පිරිසකට එන්නත ලබා දිය හැකියි. ඒ අනුව ජූනි මාසය අග වන විට මේ රෝගය ව්‍යාප්තිය අපට අඩුකර ගත හැකියි.  

5. මේ ලංකාවට මේ අවුරුද්ද තුළ සියළුම එන්නත් ලබා දීමට පසුබිම සකසා අවසන්.  

6. ජූනි මාසයේ මුල් සති දෙක තුළ එන්නත් මිලියන 2ක් ලබා දෙනු ඇත.   

7. ඒ දක්වා දැනට පවතින level 3 restriction ක්‍රමානුකූලව, ටික ටික පවත්වාගෙන යා යුතුයි.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article