අතීතයේදී මෙරට බහුතරයක් දෙන තම ගමන් බිමන් කටයුතු සදහා භාවිතා කර ඇත්තේ “තිරික්කල” හෙවත් “ටැන්ටු” කරත්තය.විශේෂයෙන්ම දුර බැහැර ආගමික මධ්‍යස්ථාන වෙත මෙන්ම මංගල කටයුතු සදහාද අතීතයේදී භාවිතා කර ඇත්තේ තිරික්කල හෙවත් ටැන්ටු කරත්ත බව කියති.
දුම්මලසූරිය – කට්ටිමහන දේවස්ථානයේ වාර්ෂිකව කරත්ත මංගල්‍යයක් පවත්වති.මෙම මංගල්‍ය සදහා බැතිමතුන් අදත් පැමිනෙන්නේ කරත්ත වලින් වීම විශේෂත්වයකි.මෙරටට වාහන ආනයනය කරන්නට පටන් ගැනීමත් සමග තිරික්කල හෙවත් ටැන්ටු කරත්ත අප සමාජයෙන් ක්‍රමයෙන් ඉවතට ගොස් ඇත.
වර්තමානයේද සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යන ප්‍රදේශ වල තිරික්කල හෙවත් ටැන්ටු කරත්ත භාවිතා කරන බවක් දක්නට ඇත.
තිරික්කල හෙවත් ටැන්ටු කරත්ත ඒ ආකාරයට අපට අහිමි වෙමින් පැවතුනත්, වර්තමානයේද තවමත් මෙම කරත්ත විශේෂය නිෂ්පාදනය කරන අයෙකි මාරවිල – ඉහළ කටුනේරියේ පදිංචි ඩබ්ලිව්.අශෝක ප්‍රියන්ත කුමාර ප්‍රනාන්දු මහතාය.තම නිවසේම තවත් සේවකයින් දෙදෙනෙකුගේද සහායෙන් ඔහු තිරික්කල කරත්ත නිෂ්පාදනය කරමින් සිටී.
“මම පොඩි කාලේ අපේ ගෙදර ටැන්ටු කරත්තයක් තිබුණා මට මතකයි.හැබැයි මම කිසිම දවසක ටැන්ටු කරත්ත නිෂ්පාදනය කරන්න ඉගෙන ගෙන නෑ. බලාගෙන ඉදලා තමයි හැම දේම කළේ.අවුරුදු 60 ක් 70 ක් විතර පැරණි ටැන්ටු කරත්ත මා සතුව තියනවා.ඒ වගේම නවීන පන්නයට පැලපෙන ආකාරයට ඉතාමත්ම සුඛෝපභෝගීව ටැන්ටු කරත්ත මම නිෂ්පාදනය කරලා තියනවා.ඒ වගේම මෙරට තියන උසින් වැඩිම ටැන්ටු කරත්තය තියෙන්නෙත් මා සතුවයි.
මගේ නිෂ්පාදන බොහෝමයක් කළුතර,බේරුවල සහ සීගිරිය පැත්තට අරගෙන යනවා.ඒ සංචාරක ව්‍යාපාරයට යොදා ගන්න.මේ දිනවල වැඩියෙන්ම ඉල්ලුමක් තිබුනේ රේස් කරත්ත වලට.අවුරුදු කාලේ නිසා බොහෝ ස්ථාන වල තිබුණු රේස් වලට අරලෙන ගියෙන් මම නිෂ්පාදනය කරපු කරත්ත තමයි.
ඉල්ලුමේ ආකාරයට කරත්ත නිෂ්පාදනය කරන්න මම ලී වලට අමතරව යකඩ, සුදු යකඩ සහ පිත්තල යොදා ගන්නවා.ගෘහ කර්මාන්තයක් ලෙසයි මම නිෂ්පාදනය කරන්න ගත්තේ.සියළුම නිෂ්පාදන මගේ අතින්ම කරන නිසා ඉල්ලුමේ තරමට සැපයුම කරන්න අපහසු වෙලා තියනවා.මොකද හොද නිෂ්පාදනයක් කරන්න නම් අනිවාර්යෙන්ම කාලය ටිකක් ගත වෙන නිසා.”



ජුඩ් සමන්ත












