spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දරුවන්ගේ රුධිර පිඩන පරික්ෂාව වෛද්‍යවරුන් මගඅරින්නේ ඇයි ?

Must read

 

images

 

පසුගිය කාලය පුරාවටම අප කිසිදිනක නොඇසූ, අත්නොවිදි  සංකීර්ණ එමෙන්ම ඇතැමි විට මරණය කැන්ඳන රෝගයන් විශාල ප්‍රමාණයක් පිළිබදව දිනෙන් දිනම අපට අසන්නට දකින්ට සහ අත්විදින්නට ලැබෙනවා. ඒ වගේම තවමත් ශ්‍රී ලංකාවට ඇතුළු නොවූ ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන රෝගී තත්වයන් විශාල ප්‍රණයක් පිළිබදවත්,ඒ නිසා සිදුවන මරණ සංඛ්‍යාව පිලිබදවත් දිනපතාම අපට මාධ්‍ය හරහා දැනගන්නට ලබෙනවා.

අතීතයට වඩා මේ වනවිට මෙලෙස රෝගව්‍යාප්ත වන්නේ ඇයි? ඒ පිලිබදව ඇතිතරම් අදහස් දැක්වීම් හා විවිධ ක්‍රියාත්මක කිරීම් අප පසුගිය කාලය පුරාවටම අත්දැක්කා. ඒ නිසාම තවදුරටත් ඒ පිලිබදවම කතාකිරීමට වඩා ඊට පිළියම් සෙවීම වැදගත්. ඒ නිසා මේ හරහා මා උත්සහ දරන්නේ මෙවැනි රෝගයන් කල් තියාම හදුනාගැනීමේ ඇති වැදගත්කම පිළිබදව ඔබේ අවධානය යොමු කිරීමටයි.

සාමාන්‍යයෙන් උණක්, හෙම්බිරිස්සාවක් හැදුනම අපි එකපාරටම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නේ නැහැ. ගෙදර ඉදලා දන්න විදියට බෙහෙත් කරලා ලෙඩේ  සුව වෙන්නේ නැත්නම් විතරයි අපි වෛද්‍යවරයෙක් හමුවන්න තීරණය කරන්නේ. එවැනි සාමාන්‍ය රෝගී තත්වයන් සම්බන්දයෙන් එ් ක්‍රියාවලිය අනුමත කල හැකි වූවත් දිගින් දිගටම එවැනි රෝග වලට තමන් ගොදුරු වෙනවානම් ඒ පිළිබදව හේතුව සොයා බැලීම ඉතාමත් වැදගත් කරුණක්. මෙවැනි අවස්ථා වලදී අපි වැඩි අවධානය යොමුකල යුත්තේ රෝගයට ප්‍රතිකාර කිරීමටත් වඩා රෝගය ඇති වීමට හේතුව සොයාගෙන ඒ සදහා ප්‍රතිකාර කිරීමටයි. මොකද බොහෝවිට අපට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නට වෙන පොඩි පොඩි අසනීප පසුකාලීනව ඇති වෙන්නට ඇති දරුණු රෝගී තත්වයක පෙරනිමිති වෙන්න පුළුවන්.

ඒ නිසාම තවමත් ශ්‍රීලංකවේ සමාජය තුල එතරම් ප්‍රචලිත නොවූ, චර්යාත්මක වෛද්‍ය හමු වලට සහභාගී වීම වැනි කාරණාවන් සදහා වැඩි අවධානයක් ලබා දිය යුතු බවට අදහසක් වර්ථමානයේදී ප සමාජයේ ගොඩැනැගෙමින් තිබෙන්නේ. අවම වශයෙන් වසරක් පාසාවත් සම්පූර්ණ වෛද්‍ය පරික්ෂාවකට යොමුවීම ඉතාමත් වැදගත්. වර්ථමානයේ මෙලෙස වෛද්‍යපරික්ෂා සදහා යොමුවීම යම්තාක් දුරකට දක්නට ලැබුනත් ඒ සදහා යොමුවන්නේ වයස අවු. 40 පමණ ඉක්මවූ වැඩිහිටියන් පමණක් වීම තමයි අප සමාජයේ ඇති ප්‍රශ්ණය. අප විසින්ම කුඩා දරුවන්ට හෝ තරුණ තරුණියන්ට දරුණු හෝ සැලකිය යුතු රෝගී තත්වයන් ඇති නොවන බවට උපකල්පනය කරමින් වෛද්‍යපරීක්ෂණ සදහා ඔවුන්ව යොමු නොකරණ අවස්ථා තමයි බොහෝවිට ට දක්නට ලැබෙන්නේ. ඒ නිසාම විශේෂයෙන්ම කුඩා දරුවන්ට හා තරුණ තරුණියන්ට වැළදී ඇති රෝගී තත්වයන් ගැන දැනගන්නට ලැබෙන්නේ එම තත්වයන් වඩාත් උත්සන්න වූ විටයි. ඇතැම් විට රෝගය සුව කිරීම සදහා උත්සහ දැරීමටවත් ඒ අවස්ථාව ප්‍රමාද වැඩි විය හැකියි. ඒ නිසා වයස් භේදයකින් තොරව පවුලේ සෑම දෙනාම අවම වශයෙන් වාර්ෂිකව හෝ සම්පූර්ණ වෛද්‍ය පරික්ෂාවකට යොමු වීම ඉතාමත් වැදගත්.

අනිත් කාරණය තමයි විශේෂයෙන් කුඩා දරුවන් හා තරුණ පිරිස් යම්කිසි සාමාන්‍ය රෝගී තත්වයක් හේතුවෙන් වෛද්‍යවරයා වෙත යොමු වුවහොත් සිදුවන්නේ සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නා පරිදි වෛද්‍යවරුන් රෝගයේ රෝග ලක්ෂණ සුව වීමට පමණක් සෑහෙන ඖෂධ රෝගියාට ලබාදීම. වෛද්‍යවෘතිය පවා මුදලට විකිණෙන සමාජයක ඒ පිළිබදව පුදුම විය යුතු වන්නේත් නැහැ. නමුත් එහිදීද් වෛද්‍යවරුන් අතින් සිදුවන ඒ වැරැද්දට වන්දි ගෙවන්නට සිදුවන්නේ රෝගියාටයි. මන්ද මෙලෙස වෛද්‍යවරුන් රෝගලක්ෂණ සදහා පමණක් ප්‍රතිකාර කිරීම හා එම රෝග ලක්ෂණ ඇතිවන්නට හේතු විය හැකි සියළුම කාරණා  පිළිබද පරික්ෂා කිරීමට උත්සුක නොවීම නිසා කෙතරම් දක්ෂ, අත්දැකීම්වලින් පිරිපුන් වෛද්‍යවරයෙක් වූවත් රෝගියාට වළදී ඇති අැත්ත රෝගය නිසි ලෙස විනිශ්චය කර ගැනීමේදී පරාජය විය හැකි අවස්ථා අපමණයි. වර්ථමානයේ එවැනි සිද්ධීන් රාශියක් පිලිබදව දෛනිකව අපට අසන්නට දකින්කට ලැබෙනවා. එහිදී විශේෂයෙන්ම රෝගියෙක් වෛද්‍යවරයෙක් වෙත යොමු වුවහොත් වයස් භේදයකින් තොරවම සෑම දෙනාගේම රුධිරපීඩනය පරික්ෂා කිරීම, සැකයක් ඇත්නම් අවශ්‍ය සියළුම පරික්ෂණ සදහා රෝගියා යොමු කිරීම වැනි මූලික කාරණ ඉටු කිරීම මගින් එවැනි වැරදීම් වීමට ඇති ඉඩ බොහෝ සෙයින් අඩු කරගැනීමට හැකි වෙනවා.. විශේෂයෙන් කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයන් දක්වාම රෝගියෙකු වෛද්‍යවරයෙකු වෙත පැමිණුනහොත් පුරුද්දක් ලෙස රෝගියාගේ රුධිර පීඩනය පරික්ෂා කිරීම ඉතාමත් වැදගත්.රුධිර පීඩනය පැවතීම රෝගී තත්වයන් රාශියකම පෙර නිමිත්තක්. ඒ නිසා එමගින් අපට රෝගියාගේ අවධානම් තත්වය කල්තියාම හදුනා ගන්නට හැකි වන බව නිසැකයි. යම් හෙයකින් කුඩා දරුවෙකුට හෝ තරුණයෙකුට හෝ තරුණියකට අධික රුධිර පීඩනය ඇති බව හෙළි වුවහොත් ඒ පිළිබද සුළුවෙන් නොතකා එසේ වන්නේ ඇයි දැයි සෙවීම සදහා අදාල රෝගියා සුදුසු වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කිරීමයි  වඩාත් වැදගත් වෙන්නේ.අධික රුධිර පීඩනය වැනි රෝග ලක්ෂණ වකුගඩු රෝගයක් එළිදක්වන ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නත් ඉඩ තිබෙනවා.

ඉහත සදහන් කල සෑම දේ වගේම අනිත් වැදගත් කාරණාව වන්නේ රුධිර පරික්ෂණ, මුත්‍රා පරීක්ෂණ වැනි පරීක්ෂණ සිදු කිරීමට අප තෝරා ගන්නා ආයතන.අප මින් පෙර එලිදරව් කල අන්දමටම මේ වන විට හතු පිපෙන්නාක් මෙන් ඇතිවන්නාවූ රුධිරය හා මුත්‍රා පරික්ෂා කරනවා යැයි කියාගන්නා ආයතන වල ප්‍රමිතිය සම්බන්දව නිතරම අපට ගැටුළු මතුවෙනවා. ඔවුන් බොහෝ විට ඔවුන්ව හදුන්වන්නේ මෙරට තුල ප්‍රධාන පෙලේ රෝහලක් හෝ පරීක්ෂණ ආයතනයක එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසයි. නමුත් සිදුවන්නේ එවැනි ප්‍රධාන පෙළේ රෝහල් වල පරික්ෂණ ආයතන හරහා තමන්ගේ පරීක්ෂණ කරගැනීමට පැමිණෙන රෝගීන් ලබා දෙන සාම්පල පරික්ෂා කරන්නේ ඔවුන්ගේම සුදුසුකම් නොලත් පිරිස් විසින් වීමයි. එවැනි ස්ථාන වෙත ලබා දුන් පරික්ෂණ වාර්ථා වල ඇති දෝෂයන් නිසා රෝගීන් පත්වූ දැඩි අපහසුතාවන් පිළිබද අප කිහිප විටක්ම ඔබට අනාවරණය කර තිබෙනවා. බොහෝ විට මේ ස්ථාන වලින් සාමාන්‍ය සාම්පලයක් ලෙස හදුන්වන රුධිර හෝ මුත්‍රා සාම්පල , ප්‍රධාන පෙළේ පරීක්ෂණ ආයතනයක් හරහා පරික්ෂා කිරීමේදී දක්වන්නේ කිසියම් හෝ රෝගී තත්වයක් පෙන්නුම් කරන වාර්ථවක් ලෙසයි. ඇතැම් විට ඒ වන විටත් ඒ රෝගී තත්වය දරුණු වී තිබෙන්නට පුළුවන්. මෙලෙස ප්‍රමිතියකින් තොරව වෛද්‍යපරික්ෂණ සිදුකරන ආයතන බිහි වීම නිසා මේ තත්වය දැන් ඉතාමත් දරුණු ලෙස ව්‍යාප්ත වෙන්න පටන් අරන්.

එම නිසා ප්‍රධාන වශයෙන් ඉහත සදහන් කල කාරණ සලකා බැලීමේදී අප ඉදිරිපත් කල ආකාරයටම වෛද්‍යපරික්ෂණ සදහා යොමු වීම, වෛද්‍යවරුන් විසින් නිසි ලෙස රෝගියා පරික්ෂාවට ලක් කිරීම හා පරීක්ෂණ සිදුකිරීමේදී ඒ සදහා පිළිගත් සුදුසු තත්වයෙන්  ඉහල ආයතන වෙත පමණක් යොමු වීමත් මගින් වර්ථමානය තුල අප සමාජයේ ඇති සෞඛ්‍යමය ගැටළු රාශියකට විසදුම් ලබා ගැනීමට හා දරුණු රෝගී තත්වයන් අවම කර ගැනීමට විශාල පිටිවහලක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.

 

images1

සටහන – මිතිලායා ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article