spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතියේ විශේෂ ලක්ෂණ 06 ක්

Must read

linkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ඉතිහාසයට එක්වන විශේෂතා රැසක් සමගින් ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද (20) පෙරවරු 09.30ට ආරම්භ වේ.
2020 අභිනව පාර්ලිමේතුව සඳහා මහජන නියෝජිතයන් නම් කිරීමේදී සැළකිල්ලට ගත යුතු කරුණු සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ කතිකාවක් ඇති විය.

එහිදී වඩාත් අවධානය යොමු වූ කරුණු වන්නේ;

    # ‘තරුණයන්ට වැඩි අවස්ථා ලබා දී නවකයන් වැඩි වශයෙන් පාර්ලිමේන්තුවට යැවීම.’

    #  ‘වෘත්තිකයන් පාර්ලිමේන්තුවට යැවීම.’

    # ‘වංචා, දුෂණ හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ නොවූ අය තෝරා ගැනීම.’

    # ‘රට, ජාතිය සහ ආගම රකින අය ගැන වැඩි අවධානයක් යොමු කිරීම.’

    # ‘දේශීය සම්පත් විකුණන අය ප්‍රතික්ෂේප කිරීම.’

    # ‘කාන්තා නියෝජනය වැඩි කිරීම.’

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමට පෙර ඇතිවූ එම සමාජ කතිකාව, අගෝස්තු 05 වැනිදා සිය ඡන්දය භාවිත කිරීමේදී ඡන්දදායකයා කොතරම් දුරට සළකා බලා තිබේද යන්න සම්බන්ධයෙන් නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය දෙස අවධානය යොමු කිරීමේදී යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

එබැවින් මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගත් මන්ත්‍රීවරු 196 දෙනාගේ දත්ත පදනම් කරගෙන මෙම ලිපිය සම්පාදනය කර තිබේ.

01. අලුත් මුහුණු 79ක්

අභිනව පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් අතරින් 79 දෙනෙකු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

Jeewanශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නවක මන්ත්‍රීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තු වරම් හිමි කරගෙන තිබේ.

වෘත්තීමය වශයෙන් විවිධ අංශ නියෝජනය කරන අභිනව පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය ප්‍රතිශතයක් ලෙස 13%කි.

මෙවර මහජන ඡන්දයෙන් තේරී පත්වූ ළාබාලම මන්ත්‍රීවරයා වන්නේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමරවෙල් තොන්ඩමන් වේ. 1994 නොවැම්බර් 09 වැනි දින උපන් ඔහු මෙවර අමාත්‍ය මණ්ඩලයේ සිටින ලාබාලම අමාත්‍යවරයා ද වේ.

මීට පෙර පාර්ලිමේන්තු ඉතිහාසයේ අමාත්‍ය මණ්ඩලයට එක්වූ , නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලද ළාබාලම මන්ත්‍රීවරයාගේ වාර්තාවට හිමිකම් කියන ලද්දේ දුමින්ද දිසානායක විසිනි. එවක ඔහුගේ වයස අවුරුදු 25ක් විය.

”අවුරුදු 25-30 අතර වයසේ පසුවන පස් දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. ඔවුන් සියලුම දෙනා උපාධිධරයන් වීම විශේෂත්වයකි. ”

අවුරුදු 25-30 අතර වයසේ පසුවන පස් දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. ඔවුන් සියලුම දෙනා උපාධිධරයන් වීම විශේෂත්වයකි. ඉන් දෙදෙනෙක් මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරති. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සදාසිවම් වියලේන්ද්‍රන් සහ ඉලංගෙයි තමිල් අරුසු කච්චි හි සානක්‍ය රාහුල් ය. මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන නිපුණ රණවක, මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන වෛද්‍ය ගයාෂාන් නවනන්ද ද අවුරුදු 25-30 වයස් කාණ්ඩයට අයත් වෙති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරියන් තිදෙනෙකු මෙවර පළමු වරට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා ඇත. ඒ, රාජිකා වික්‍රමසිංහ [කෑගල්ල], මුදිතා ද සොයිසා [රත්නපුර] සහ කෝකිලා හර්ෂණී ගුණවර්ධන [ගම්පහ] යන තිදෙනා ය.

පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලැබූ මහාචාර්ය චන්න ජයසුමනට ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයත් නාලක ගොඩහේවාට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රවුය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයත් ලැබුණි.

 

02. කාන්තාවන් 12 දෙනෙක්: කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 5.3% කි.

”මන්ත්‍රීවරියන් 12දෙනාගෙන් අට දෙනෙකුට දේශපාලනයට පිවිසීම සඳහා පවුල් පසුබිමක් ඇත.”

ජාතික ලැයිස්තුවෙන් සිවු දෙනෙකු සහ මහජන ඡන්දයෙන් අට දෙනෙකු වශයෙන් පත්වූ මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙති. ඉන් වැඩි පිරිස නියෝජනය කරන්නේ නිතීඥ වෘත්තිය සහ ගුරු වෘත්තිය වේ. දෙදෙනෙක් විශේෂඥ වෛද්‍යවරියෝ වෙති.

මන්ත්‍රීවරියන් 12දෙනාගෙන් අට දෙනෙකුට දේශපාලනයට පිවිසීම සඳහා පවුල් පසුබිමක් ඇත.

1 – නිතීඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි
– හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ධර්මදාස වන්නිඅරච්චිගේ දියණිය

2 -විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ
– හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ බිරිඳ

3 -නිතීඥ තලතා අතුකෝරල
– එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ගාමිණී අතුකෝරලගේ නැගණිය

4 – ගුරුවරියක වන රෝහිණි කුමාරි කවිරත්න
– හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේරත්න බණ්ඩාගේ දියණිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්නගේ බිරිඳ

5 – කෝකිලා හර්ෂණී ගුණවර්ධන (ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කළ)
– හිටපු පළාත්සභා මන්ත්‍රී නාමල් ගුණවර්ධනගේ නැගණිය

6 – ගුරුවරියක වන මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා
– හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් ද සොයිසාගේ බිරිඳ

7 – ගුරු උපදේශිකා මංජුලා විජේකෝන් දිසානායක
– හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ බිරිඳ

8 – රාජිකා වික්‍රමසිංහ (හිටපු හෙද නිලධාරිනියක්)
– සබරගමුව පළාත් සභා හිටපු අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහගේ බිරිඳ

2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගත අතර ඉන් 11 දෙනෙකු ම දේශපාලන පසුබිමක් සහිත පවුල්වලින් පැවත එන කාන්තාවන්ය.

”2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගත අතර ඉන් 11 දෙනෙකු ම දේශපාලන පසුබිමක් සහිත පවුල්වලින් පැවත එන කාන්තාවන්ය.”

ඒ අතර සිටි ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහට සිය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පසුව පාර්ලිමේන්තු අසුන අහිමි විය. සෙසු දොළොස් දෙනා අතර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා 2015 මහ මැතිවරණයෙන් පරාජය වූ අතර ඇය පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි.

Geetha

ගීතා සමන්මලී කුමාරසිංහ මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලබා තිබේ.

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් අට දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කිරීම විශේෂත්වයකි.

”නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් අට දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කිරීම විශේෂත්වයකි.”

නීතීඥ පවිත්‍රාදේවි වන්නිආරච්චිට සෞඛ්‍ය කැබිනට් අමාත්‍ය ධුරයත්, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයත්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධූරයත් හිමිව ඇත.

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල සහ මංජුලා වීරකෝන් දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ද, ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද, ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට පිවිසියහ.

දිගු කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ නිතීඥ තලතා අතුකෝරල සහ රෝහිණි කුමාරි දිසානායක සමගි ජන බලවේගය නියෝජනය කරන, මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරියෝ වෙති.

නව වැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 5.3% කි.

 

පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තා නියෝජනය
# පළමු පාර්ලිමේන්තුව – 11

#  දෙවැනිපාර්ලිමේන්තුව – 13

# තුන්වැනි පාර්ලිමේන්තුව – 12

# හතරවැනි පාර්ලිමේන්තුව – 09

# පස්වැනි පාර්ලිමේන්තුව -10

# හයවැනි පාර්ලිමේන්තුව -13

# හත්වැනි පාර්ලිමේන්තුව -13

# අටවැනි පාර්ලිමේන්තුව – 13 (ගීතා සමන්මලී කුමාරසිංහට පසුව මන්ත්‍රීධුරය අහිමි විය)

# නවවන පාර්ලිමේන්තුව – 12

SL Parliament

 

03. වයස හැට හෝ ඊට අඩු 147ක්, 80ට වැඩි තිදෙනෙක්:

මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 142 ක් වයස අවුරුදු 60 හෝ ඊට අඩු අය වෙති.

වයස් කාණ්ඩ අනුව අභිනව පාර්ලිමේන්තුවේ සභිකයන්ගේ තොරතුරු මෙසේය.

අවුරුදු 25-30 අතර සිටින මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 05කි. අවුරුදු 31-40 කාණ්ඩයට 21 දෙනෙකු අයත් වේ. වැඩිම පිරිසක් නියෝජනය කරන අවුරුදු 41-50 කාණ්ඩයට 67 දෙනෙක් ඇතුළත් වෙති.

අවුරුදු 51-60 කාණ්ඩයට අයත්වන මන්ත්‍රීවරු ගණන 54කි. ඒ අතර සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයෝ ද සිටිති.

අවුරුදු 61-70 කාණ්ඩයට අයත් සංඛ්‍යාව 37ක් වේ. ඒ අනුව 69 හැවිරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම කාණ්ඩයට අයත් වේ.

අවුරුදු 71-80 වයස් කාණ්ඩය නියෝජනය කරන සංඛ්‍යාව නවයකි. ඒ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ ද සිටින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අවුරුදු 81-90 වයස් කාණ්ඩය නියෝජනය කරන තිදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවේ දක්නට ලැබේ. ඒ, වාසුදේව නානායක්කාර, සී.වී විග්නේශ්වරන් සහ ආර්.සම්පන්දන් ය.

 

04. පක්ෂ 15ක් අතරේ බෙදුණු මන්ත්‍රීධුර:

අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 225 බෙදී ගියේ පක්ෂ 06ක් අතර වුව ද නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර දේශපාලන පක්ෂ 15ක් අතර බෙදී යෑම විශේෂත්වයකි.

මන්ත්‍රී ආසන 106ක් හිමි කරගනිමින් අට වැනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයට මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයකින් පමණක් සෑහීමට සිදුව ඇත.

මෙවර බහුතර බලය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එම පක්ෂය නමින් ම පළමු වරට පත්වූ මන්ත්‍රීධුර 145කට හිමිකම් කියමිනි.

”මෙවර බහුතර බලය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එම පක්ෂය නමින් ම පළමු වරට පත්වූ මන්ත්‍රීධුර 145කට හිමිකම් කියමිනි. ”

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ කණ්ඩායමට නායකත්වය දුන් සජිත් ප්‍රේමදාස නියෝජනය කරන සමගි ජන බලවේගය පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ මන්ත්‍රීවරුන් 54 දෙනෙක් සමගිනි.

අට වැනි පාර්ලිමේන්තුවේ ඉලංකෙයි තමිල් අරුසු කච්ච් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 16 දෙනෙක් සිටිය ද මෙවර ඔවුන්ට හිමිව තිබෙන්නේ මන්ත්‍රීධුර 10ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණට ද පසුගිය පාර්ලිමේන්තුවට වඩා මන්ත්‍රීධුර තුනක් අහිමි විය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල්, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කුට්ටනි, අකිල ඉලංකෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ අපේ ජන බල පක්ෂය මෙවර නව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබීය.

 

05. මංගල රැස්වීමට බන්ධනාගාරයේ සිට දෙදෙනෙක්

Choka Pille

පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට තේරි පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රත්නපුර දිස්ත්‍රික්කයට තේරී පත්වූ චොකා මල්ලි හෙවත් එච්.එල්.ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන්ට බ්‍රහස්පතින්දා (අගෝස්තු 20) පැවැත්වෙන නවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම සඳහා සහභාගී වීමට අවසර ලැබී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හට මඩකලපුව මහාධිකරණයෙන් එම අවසරය ලබා දී තිබේ.

එමෙන්ම දැනට මරණ දඬුවමට නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එල්.ප්‍රේමලාල් ජයසේකර ද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර ලැබී තිබේ. ප්‍රේමලාල් ජයසේකර විසින් සිය මරණ දඬුවවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත කරන ලද අභියාචනය පාර්ලිමේන්තුවට එවා ඇති අතර එය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදුව පාර්ලිමේන්තු රැස්වීම‍ට ඉඩකඩ සලසා දෙන මෙන් දන්වා තිබේ.

 

06. අභිනව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ අඩුවක්:

අභිනව පාර්ලිමේතුව රැස්වන්නේ මන්ත්‍රීවරු 225 අතරින් මන්ත්‍රීවරු 223 දෙනෙකුගේ සහභාගිත්වයෙනි.

SL Parliament. Speeker 2020එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මෙතෙක් නම් කර නොමැති බැවින් එම පක්ෂ වලට හිමි ආසන හිස්ව තබන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසීය.

2020 අගෝස්තු 20 වැනිදා පෙරවරු 9.30 ට ආරම්භ කෙරෙන 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම සඳහා සහභාගී වන ලෙස නවක මන්ත්‍රී ධූර සඳහා තේරී පත්ව සිටින 223 දෙනෙකු වෙත පාර්ලිමේන්තු මහලේකම්වරයා ආරාධනා පත්‍ර යවා තිබේ.

පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 01ට අනුකූලව කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීමත් අභිනව මන්ත්‍රීවරු දිවුරුම් දීමත් සිදු කිරීමට නියමිතව ඇත.

නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන පත් කරනු ඇති බවට දැනටමත් මාධ්‍ය වාර්තා පළවී තිබේ.

(ෂර්ලි උපුල් කුමාර -බීබීසී සිංහල)
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article