spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැය 24 ම මාළු බාන ලෝකේ එකම පාලම තියෙන්නේ මීගමුවේද ?

Must read

පාලමේ බිලි බෑම

පාලම්  සහ බෝක්කු  උඩ  ඉඳිමින්  හුදෙකලාව  බිලී  බාන  මිනිසුන්  සමහර  අවස්ථාවල  ඔබ  දැක  ඇතිවාට  සැකයක්  නැත.  අප  මේ  සඳහන්  කරන්නේ  පැය  24 පුරාම  මාළු  අල්ලන  තැනක්  පිළිබඳවය. ඒ  පිටිපන  ප්‍රධාන  මාළු  ලෙල්ලම  අසල  ඇති  මහ  පාලමයි. මංකුලිය  පාලම  යනුවෙන්  නම් කෙරෙන  මෙහි  එක්  පැත්තක  මහ මුහුදත්  අනෙක්  පසින්  කඩොලාන  ශාඛ  වලින්  වෙලා  ගත් කලපුවත්  නිසා   සුන්දරත්වය  දෙගුණ  තෙගුණ වී  පෙනෙයි.  මුහුදේ  සිට  කලපුවටත් ,  කලපුවේ  සිට  මුහුද  දෙසටත්  සියළු   විවිධ  මසුන්  සහ  ජලජ  ජීවීන්  එහෙ  මෙහෙ  ගමන්  කරන්නේ  මෙම  ස්ථානයෙන්ය. විවිධ  වර්ගයේ   මාළු  රෑන්  පාලම  යට දිය රැළි  අතරින්  පිහිනා  යන  ආකාරය   සිත්  ඇදගන්නා  සුළුය. මෙම  සුන්දර  ස්ථානයේ  මාළු  අල්ලමින්  කමින්  බොමින්  විනෝදවීමට  මීගමුව  අවට  සිටින  අය  පමණක්  නොව  වෙනත්   ප්‍රදේශ  වලින්ද  පැමිණෙති.  එසේ  පැමිණ  මාළු  අල්ලන   අයත්  සමඟ  මේ  ස්ථානයේ  වැදගත්කම  ගැන  යම්  අදහසක්  බෙදා  ගැනීමේ  අදහසින්  කෙටි  කථාබහක  යෙදුනේ  මෙසේය. මේ  අනුව  මේ  අවටම  ජීවත්වන  සුරංග  අප  සමඟ  පැවසුවේ  මෙවන්  අදහසක්.

මෙතන  ඉතා  සුන්දර  තැනක්.  දුප්පත්,  පොහොසත්  භේදයක්  නැතිව  මෙතෙන්ට  එන  අය  සතුටින්  කාලය  ගතකරනවා.  පවුල්  පිටින්  පැමිණ  සමහර  අවස්ථාවල  ඉඳගන්න පුටු  එහෙම  තියාගෙන කමින් ,  බොමින්  විනෝදයෙන්  ගතකරන  අය  ඉන්නවා. මේක  එක්තරා  සංස්කෘතික  වැඩක්  බවට  පත්වෙල.

මෙතන  මාළු බාන්නෙ  විනෝදයට  පමණද?

එහෙම  නෑ.  ගොඩක්  අය  විනෝද  වෙන්න  ආවත්  ගෙදර  හොද්දටත්  මාළු  අල්ලගෙන  යනවා.  සමහරු  උදේ  ඉඳල  මාළු  අල්ලගෙන  සවස  තමයි  ගෙදර  යන්නෙ.  වෙළඳාමටත්  සමහරු  මාළු  අල්ලනවා.  ඒ  සඳහා   විසිදැල්  ,  යොත්  වැනි  ආම්පන්න   යොදා ගන්නවා. විසිදැල්  රස්සාව  කරන්නෙ  මේ  අවට  ජීවත්වන  අයයි. ඒගොල්ලො  දවසකට  රු.3000/ක  4000/  විතර  ආදායමක්  හොයා  ගන්නවා.

කොහොමද  මේතරම්  මාළු  ප්‍රමාණයක්  මෙතන  ගැවසෙන්නෙ?

වඩදිය  ,බාදිය  නිසා  මාළු  ගමන්  කරන්නෙ  මෙතනින්.ඒ  නිසා  කලපුවේ  ඉඳල  මුහුදටත් මුහුදෙ  ඉඳල  කලපුවටත් විවිධ  වර්ගයේ  මාළු  ගමන්  කරනවා.   ඒ  වගේම  වතුර  නිතර  චලනය  වන  නිසා  මාළු  ගැවසීම  වැඩියි.

මීලඟට  අපේ  කථාබහට  එක්වූයේ   සිරිල්  වෝල්ටර්ය.  ඔහු  ධීවරයෙකු  වුවද    මේ වනවිට  ධීවර  රස්සාවෙන්  සමුගෙන  ඇත. නමුත්  කොතලාවල  පාලම  උඩ  කරන  මාළු  ඇල්ලීමේ  කටයුත්ත අඛන්ඩව  කරගෙන  යන  අතර  මේ  සඳහා   විශේෂයෙන්   භාවිතා  කරන්නේ  විසිදැලයි. ඔහුගේ  රැකියාවද  පදනම්  කර  ගනිමින්   අපි  කථාබහක  යෙදුනෙමු.  ඔහු  තම  අදහස  දක්වමින්….

මම  වෝල්ටර්   පාලම  ලඟම  ඉන්නනිසා   අපිට   මේ  රස්සාව  කරන්න  පහසුයි. මම  මේ  රස්සාව  පටන්  අරගෙන   අවුරුදු  20 කට  වැඩියි  .වඩදිය  වෙලාවට  මාළු  කලපුවට  එනවා.  බාදිය  වෙලාවට  කලපුවෙන්  මුහුදට  යනවා.  ඒනිසා  ඒ  වෙලාව  අල්ලල  තමයි  අපි  රස්සාව  කරන්නෙ.    ඉස්සර  නම්  අපි  මාළු  කිලෝ  15කට 20කට  වැඩියෙන්  අල්ලනවා.  දැන්  එහෙම  බෑ.

දැන්  එහෙම  බැරි  ඇයි?

දැන්  මාළු  බෝවීම  අඩුයි.  ඒකට  හේතුව   මාළුන්ට  ජීවත්වෙන්න  තියෙන  තැන්  විනාශ  වීමයි. විශේෂයෙන් කලපුවට  අපද්‍රව්‍ය  දැමීමත්,  කලපුව  හෑරීමත්   මේකට  බලපානවා.  ඒනිසා  කොරල්  පර  මහුදු  පැලෑටි   විනාශවෙනවා.    සුනාමියෙන්  පස්සෙ  මාළු  අඩුවීමක්  වුනා. ඒ  වගේම  තහනම් දැල්  භාවිතයත්  විශාල  බලපෑමක්  කරනවා.  ඒවායෙනුත්   මාළු  ජීවත්වන  පරිසරය  විනෘශවෙනවා.   පොඩි  මාළු  පැටව්  මැරෙනවා.පාලම් මාළු

මොනවගේ  මාළුද  අල්ලන්නෙ?

නොයෙක්  මාළු  වර්ග  අල්ලනවා.  කලංද,  ගොඩය,   අරමොල්ල,  පිරලිය,  ඕරාව,  ඉලත්ති,  කාරල්ල, පරව්  අඟුළුවා,  එරියල්ල ,  ඒවගේ  මාළු  තමයි  අපි  අල්ලන්නෙ. විසිදැල්  වලින්  මාළු  අල්ලන  හතරදෙනෙක්  විතර  ඉන්නව.

මංකුලිය පාලම  හෙවත්  මහ  පාලම  උඩ  මාළු  අල්ලන්නේ  වැඩිපුරම  බිලී  පිති  සහ  යොත්  වලිනි. මෙසේ  මාළු  අල්ලන  අය  මාළුවෙකු  අල්ලා  ගැනීම  උදෙසා  භාවනාවකට  සම  වැදුනාසේ   සිටිමින්   කටයුතු  කරයි.අවුරස්නයක්  නොදැනෙන්නේ   සීතල  සුළඟක්   මෙහි   නිතර  හමන  බැවිනි. විවිධ  කටයුතු  වල  යෙදී   හෙම්බත්වී  සිටින  මිනිස්සු  තම  කාන්සිය,  මහන්සිය  නිවාගෙන   විවේකය   ගත  කිරීම  සඳහා  දුර බැහැර  සිට  වුවද   පැමිණෙන්නේද  එබැවිනි.   මේ  සඳහා  කිසිවෙකුගෙන්  අවසර  ගතයුතු  නැත. (  ඉදිරියේදී  එසේ  වේදැයි  අපි  නොදනිමු.)  මීගමු  නගරයේ  ඇති  මෙවැනි  ස්ථාන   වටිනා  සම්පත්  වෙනවා  මෙන්ම  මේවා  රැක  ගැනීමත්  අපසතු  යුතුකමකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article