spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මනුෂ්‍ය පුත්‍රයා පාස්කු නාට්‍යයට එහා ගිය නාට්‍යයක්

Must read

කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ව්ජිත් රොහාන් විසින් රචිත, එම විශ්ව විද්‍යාලයේ ම නාට්‍යය, සිනමා හා රූපවාහිනී අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකයන්ගේ අධ්‍යක්ෂණයෙන් හා එම අංශයේ ම විද්‍යාර්ථීන්ගේ රංගන දායකත්වයෙන් “මනුෂ්‍ය පුත්‍රයා” නාට්‍යය 2024.මාර්තු.25 සවස 3.30ට හා 6.30ට මීගමුව, මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩා හා රංග ශාලාවේදී වේදිකා ගතවෙන වගයි.

කථිකාචාර්ය විජිත් රොහාන් ශ්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක් ඇති දේව ධර්මාචාර්යවරයෙකි. ඔහු ඒ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රාමාණික දැනුම හා පරිචය කැටිකරගෙන ඉදිරිපත් කෙරෙන ” මනුෂ්‍ය පුත්‍රයා ” පාස්කු නාට්‍යයේ විශේෂත්වය කුමක් ද?

ශු. මාර්ක් සුබාරංචිය ක්‍රි.ව. 70දී පමණ ලියැවුණු බව බයිබලීය විශාරදයින්ගේ මතයයි. ඓතිහාසික ජේසුස් ( Historical Jesus ) චරිතයට සමීපතම සත්‍ය කාරණා බහුල වශයෙන් එහි අඩංගු බව ඔවුහූ ප්‍රකාශ කරති. මාර්ක් සුබාරංචියේ විශේෂත්වයන් ගණනාවකි: ඒ අතර ” මෙසියානික රහස ” ( Messianic Secret ) ප්‍රධාන ය. එනම්, ජේසුස් වහන්සේ දේව පුත්‍රයා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ වීම රහසක් කරන්නට එම සුබාරංචි ලේඛනය තුළ ඇති උත්සාහයයි. ( එකල රජවරු ද දේව පුත්‍රයන් ලෙස හඳුන්වනු ලැබූහ. )

මාර්ක් සුබාරංචිය අවධාරණය කරන්නේ ජේසුතුමාගේ මනුෂ්‍යත්වයයි. උන්වහන්සේට කුසගිනි දැනේ; විඩාව දැනේ; කෝපයට පත්වේ; දැඩි ප්‍රතිචාර දක්වයි; කළකිරීමට පත්වේ. අප මෙන් ම උන්වහන්සේ ද සියල්ල නොදන්නා තවත් මනුෂ්‍යයෙක් ය. උන්වහන්සේ අද බොහෝ දෙනා සිතන දේව පුත්‍රයා වන ජේසුස්ට වඩා වෙනස් ය; තවත් අප වැනි කෙනෙක් ය.

එහෙත් උන්වහන්සේ දැඩි මානුෂීය අරගලයක් තුළ ස්වකීය මනුෂ්‍ය ස්වභාවය උත්තරීතරත්වයට නංවති. උන්වහන්සේගේ සැබෑ දේව පුත්‍රභාවය සැඟවී ඇත්තේ උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය තුළ ය.

සැබෑ මනුෂ්‍යයා තමන්ගේ හුදු පුද්ගලික විමුක්තිය අභිබවා යන්නේ ය. ඔහු සියලු මනුෂ්‍යයන් තුළ මනුෂ්‍යත්වයේ උත්තරීතරත්වය දකියි. එහෙත් පීඩක සමාජ ක්‍රමය තුළ මානවයාගේ උතුම්බව පහතට හෙළනු ලැබ ඇත. මනුෂ්‍ය පුත්‍රයා සියලු මනුෂ්‍යයන්ගේ උත්තරීතරත්වය වෙනුවෙන් එඩිතර ව පෙනී සිටියි; හඬ නගයි; සටන් කරයි. ඒ වෙනුවෙන් ම සිය ප්‍රාණය ද පූජා කරයි.

මේ අනුව “මනුෂ්‍ය පුත්‍රයා” හුදු දුක්ප්‍රාප්තිය දක්වන සාමාන්‍ය පාස්කු නාට්‍යය අභිබවා යන සමාජ දර්ශනයක් ගෙනහැර දක්වන්නට දරන සෞන්දර්යාත්මක ප්‍රයත්නයක් බැව් අපගේ විශ්වාසයයි.

අජිත් හැඩ්ලි පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article