මෙරට වෛද්‍යවරු නම් බොහෝය. මිනිස් සිරුරේ විවිධ රෝග සම්බන්ධයෙන් විවිධ විශේෂඥ වෛද්‍යවරු සිටිති. සතුන් සදහා ද විශේෂ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන සත්ත්ව වෛද්‍යවරු සිටිති. මේ සත්ත්ව වෛද්‍යවරුන් අතර මාළුන්ට වෙදකම් කරන වෛද්‍යවරයකු අපේ රටේ සිටින බව ඔබ මීට පෙර අසා සිටිනවා ද? මේ කතාව එවන් මාළුන්ට විවිධ අන්දමින් ප්‍රතිකාර කරන අපූරු දොස්තර කෙනෙකු ගැනය.
* සැත්කම කරන්නේ මාළුවා ගොඩට අරන් වතුර ඉසිමින්
* ඔක්සිජන් දෙමින් පළමු සැත්කම සෙන්ටි මීටර් 2.5ක් දිග ගප්පියෙකුට
* වැඩියෙන්ම බෙහෙත් කර තියෙන්නේ අරවානා ට
“ජලයේ වෙසෙන අසනීපයෙන් සිටින මාළුවකු ගොඩට ගෙන අවශ්‍ය නම් සැත්කම් ආදිය සිදු කර ජීවිතය ලබා දෙන වෛද්‍යවරයකු සිටිනවා.” මා ඔබට එසේ කීවොත් ඔබ පුදුම වන බව මට ස්ථිරයි. මන්ද මේ කතාව ඇසීමෙන් අප ද පුදුම වූ බැවිනි. එහෙත් මසුන්ට වෙද හෙදකම් කරන තරුණයෙක් පසුගිය දා අප කාර්යාලයට ගොඩ වැදුණේය.
බුද්ධදාස රජතුමා නාගයෙකුගේ උදරය පළා ගෙඩියක් ඉවත් කළ බව අප අසා තිබෙන ප්‍රකට කතාවකි. සත්ත්ව අහිංසාව අගයන අපේ රටේ සතුන්ට වෙදකම් කිරීම අමුතු දෙයක් නොවේ. බල්ලන් බළලුන්, අලි ඇත්තුන් ආදි සතුන්ට වෙදකම් කිරීම ගැන කොතෙකුත් කතා අප අසා තිබුණ ද මත්ස්‍යයන්ට වෙද හෙදකම් කිරීම ගැන නම් අප ජාතක කතාවකවත් අසා නැත. කොහොම වුණත් මාළුන්ට වෙදකම් කිරීම පිළිබඳ මෙතෙක් අසා නොතිබුණු නිසා ඔහු කියූ කතා අපට අරුමයක් විය. ඔහු වාරියපොළ ඉරෝෂ් අකලංක බණ්ඩාර ය.
“ලංකාවේ මත්ස්‍ය වගාව (Aqua culture) විතරයි තියෙන්නේ. මත්ස්‍යයන්ට ප්‍රතිකාර කිරීම (Aqua tic vetinary) නැහැ. මම පුංචි කාලේ ඉඳලා සුරතල් මසුන් ඇති කළා. ඒ නිසාම මාළුන්ගේ ලෙඩ රෝග ගැන, මාළුන්ට ප්‍රතිකාර කිරීම ගැන සොයා බලන්න මගේ විශේෂ කැමැත්තක් තිබුණා. ඒත් ලංකාවේ මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න ගුරුවරු නැහැ. ඒ සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් නැහැ. ඒ නිසා මම මේ විෂය ගැන දැනුම ලබාගත්තේ අන්තර්ජාලයෙන්. මාළුන්ගේ ලෙඩ රෝග ගැන, මාළුන්ගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් ගැන, මාළුන්ට ප්‍රතිකාර කරන ආකාරය ගැන මම පියවරෙන් පියවර ක්‍රමානුකූලව අධ්‍යයනය කළා. මේ විෂය සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් අන්තර්ජාලය මඟින් ගෙන්වා ගත්තා. යනුවෙන් සාකච්ඡාවට පිවිසි ඉරෝෂ් පැවැසීය.
ඔහු න්‍යායාත්මක ව උකහා ගත් දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලීම ඊළඟ පියවර විය. ඒ සඳහා සුරතල් මසුන් ඇති කරන ස්ථානවල ඉවත් කරන මිය ගිය මාළුන් මෙන් වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන මාළුන් රැගෙන නිෙවසට ගොස් කපා පරීක්ෂා කරමින් මාළුන්ගේ ශරීර අභ්‍යන්තරය ගැන හැදෑරුවේ වෛද්‍ය සිසුන් ද මළසිරුරු කපා මිනිස් සිරුර ගැන ඉගෙන ගන්නා බැවිනි. ඉන් අනතුරුව මසුන්ගේ කරමල්, හම රුධිරය පරීක්ෂා කිරීමෙන් ලෙඩරෝග හඳුනා ගැනීමට ඔහු ඉගෙන ගත්තේය. මේ ආකාරයට මාළුන්ගේ ලෙඩරෝග හඳුනා ගැනීමත් ශල්‍යකර්ම සිදු කරන ආකාරය පිළිබඳත් ස්වයං අධ්‍යයනයට ලක් කළ ඉරෝෂ් අකලංකට වැරදුණු අවස්ථා ගණනාවකි.
“මම පරීක්ෂණ කරන්න තෝරා ගත්තේ සුරතල් මසුන් හදන තැන්වල සිටි ලෙඩ හැදුණු මාළු, ඒ විදිහට මම පරීක්ෂණ කරද්දී මාළු 100ක් 200ක් විතර මැරුණා. ඒකට හේතුව වුණේ පොතේ තිබෙන ක්‍රමය ප්‍රායෝගිකව 100%කින් යොදාගැනීමට බැරි වීම. උදාහරණයක් හැටියට මාළුන් නිර්වින්දනය අවස්ථාව ගනිමුකො. සමහර වේලාවට පොතේ තිබෙන මාත්‍රාව දුන්නාම මාළුවා මැරෙනවා. ඒ නිසා මාළුවාගේ යෝග්‍යතාව අනුවයි නිර්වින්දන ඖෂධ මාත්‍රාව දිය යුතු වෙන්නේ. එය මම අත්දැකීමෙන් සොයාගත් දෙයක්. අනෙක වතුරෙ ඉන්න මාළුවා ගොඩට අරන් සැත්කම් කරන විට මාළුවාට වතුර දමමින්, තෙමමින් නඩත්තු කළ යුතුයි. නැති නම් ඌ මිය යනවා. ඒ අතරවාරයේදී ඔක්සිජන් දෙන්න ඕනෑ. මම ප්‍රායෝගිකව පරීක්ෂණ කටයුතු කරන විට නිර්වින්දනය කිරීමේ ගැටලු මතු වුණා. රුධිර වහනය නවත්වන්න බැරි වුණා. ශල්‍යකර්ම කරන මොහොතේදී අභ්‍යන්තර අවයවවලට හානි වුණා. මේ වගේ වැරදි හේතුවෙන් මම පරීක්ෂණවලට ගෙනාපු ලෙඩ මාළු 100ක් 200 ක් විතර මැරුණා. මම මගේ වැරදි අඩුපාඩු හදාගෙන තමයි මේ තැනට ඇවිත් ඉන්නේ. ඒ හැම අත්දැකීමක්ම මට ලොකු පාඩමක් ඉගැන්වුවා.” යනුවෙන් ඉරෝෂ් අකලංක බණ්ඩාර සිය ගමන් මඟ විස්තර කළේය.
ඉරෝෂ් අකලංක මසුන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ 2018 වසරේ මුල් භාගයේදීය. ඒ සෙන්ටි මීටර් 2.5ක දිගින් යුතු ගප්පි මාළුවකුගේ උදරයේ තිබූ ගෙඩියක් සැත්කමකින් ඉවත් කිරීමෙනි. ඒ සඳහා ඔහුට විනාඩි 10ක් 15ක් පමණ ගත විය. ඔහු එම ශල්‍යකර්මය සිදු කරන ආකාරය වීඩියෝ කර සිය මුහුණුපොතට එක් කළේ ය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බඳුවිය.
මුහුණුපොතේ තිබෙන මත්ස්‍ය ශල්‍යකර්මය දුටු බොහෝ දෙනකු ඉරෝෂ් අමතා ප්‍රතිකාර කරන ලෙස ඉල්ලීම් කළේ කිසිම පශු වෛද්‍යවරයකු මසුන්ට ප්‍රතිකාර නොකරන බැවිනි. ටැංකිවල සිටින මසුන් රෝගි වූ විට සිදු කෙරෙන්නේ ඌ සෙසු මාළුන්ගෙන් වෙන් කර ජලයට බෙහෙත් එකතු කිරීමය. ඒ හැර මාළුන්ට සැත්කම් කිරීම් නම් සිදු කෙරෙන්නේ නැති තරම් ය.
සිය නිෙවසේ කොටසක විද්‍යාගාරයත් ශල්‍යාගාරයත් සකස් කර ගෙන මසුන්ට ප්‍රතිකාර කිරීම ඇරඹූ ඉරෝෂ් අද රාජගිරියේ ෆිෂ් ෆික්ස් ශ්‍රී ලංකා (Fish Fix Sri Lanka) යනුවෙන් සායනයක් පවත්වාගෙන යන්නේ ඔහුට ලැබෙන ඉල්ලුම සපුරාලීම සඳහා ය.
“මම මාසෙකට මාළුවන්ගේ සැත්කම් 10ක් 15ක් විතර කරනවා. මාතර, අම්පාර, අනුරාධපුර, හලාවත වගේ බොහෝ දුර පළාත්වලින් මට කතා කරනවා. මම ජංගම සේවාවක් සපයන්නේ. සැත්කම්වලට අවශ්‍ය උපකරණ, ඖෂධ වර්ග සියල්ලම බෑග් එකේ දාගෙන මම බස් එකේ යනවා. ඉස්සන් කොටුවල රෝග පැතිරුණාම මට එන්න කියලා උපදෙස් ගන්නවා. එක පාරක් විසිතුරු මසුන් ව්‍යාපාරයක් කරන කෙනකුගේ ලක්ෂ ගණන් වටිනා මාළුන්ට රෝගයක් වැලඳිලා. මාළු මැරි මැරී ගිහින්. මාළු සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන පිරිසකගෙන් ඒ ගැන අහපුවාම උපදෙස් දීලා තිබෙන්නේ ක්ලෝරින් දාලා මරන්න කියලා. ඒ පාර ඒ අය මාව හොයාගෙන ආවා. මම ගිහින් බලලා මාළුන්ට බෙහෙත් දැම්මා. මගේ බෙහෙතින් මාළු ටික සනීප වුණා. මැරුවා නම් අපරාදේ. ලක්ෂ ගණන් වටිනා මාළු.”
ඔහු මසුන්ට සැත්කම් කරන විට මැහුම් දමන්නේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීයන්වල කැපුම් තුවාලවලට පමණි. ශරීරයේ බාහිර කැපුම්වලට මැහුම් දමන්නේ නැත. ඊට යොදන්නේ බෙහෙත් පමණි. ඉරෝෂ්ට ඔහුගේ ප්‍රතිකාර කටයුතුවලට සහාය වීමට කෙනෙක් නැත. කතුරු, පෝසෙප් අඬු අතට දීමට කෙනෙකු නැත. වෙදාත් ඔහුය. සහායකයාත් ඔහුය. ඔහුගේ ප්‍රතිකාර කටයුතු සිදු වන්නේ “වන් මෑන් ෂෝ” එකක් මෙනි.
මෙතෙක් ඔහු කළ සැත්කම් අතරින් වැඩිපුරම සැත්කම් කිරීමට සිදු වී තිබෙන්නේ අරවානා මාළුන්ටය. එයින් මාළුන්ගේ ඇස පාත් වීම (drop eye), කරමල වක්‍ර වීම (gill curl) සහ මාළුන්ගේ වරල් විශාල කිරීම (cosmetic) යන රෝග සඳහා ශල්‍යකර්ම සිදු කර තිබේ. ඒ හැර මාළුන්ගේ පණු අමාරුවලට බෙහෙත් දීම, ගෙඩි සහ තුවාලවලට ප්‍රතිකාර කිරීම පරපෝෂිතයන් ඉවත් කිරීම, බැක්ටීරියා – දිලීර – ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇති වන ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම වැනි සායනික කටයුතු ඔහු අතින් සිදු වේ. ඊට අමතරව මාළුන් වාසය කරන ජලය පරීක්ෂා කිරීමත් ඔහුගෙන් සිදු වන තවත් එක් සේවාවකි. එම සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට ඔහු මුදල් උපයාගෙන තිබෙන්නේ වායුසමන යන්ත්‍ර කාර්මිකයකු වශයෙන් විදෙස් රටක සේවය කිරීමෙනි.
“මම වායරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසලේ ඉගෙන ගත්තේ. අ.පො.ස. උසස් පෙළට ජීව විද්‍යාව හැදෑරුවේ ඒ අංශයෙන් ඉදිරියට යන්න හිතාගෙන. ඒත් මට විශ්වවිද්‍යාලයෙ යන්න ලකුණු මදි වුණා. මම දෙවෙනි පාර අ.පො.ස. උසස් පෙළ නොකළේ මට වියදම් කරන්න අපේ අම්මාට අමාරු වුණ නිසා. ඊට පස්සේ මම කටුබැද්ද තාක්ෂණික ආයතනයේ වායු සමනය කරන යන්ත්‍ර කාර්මික පාඨමාලාව හදාරලා පුහුණුව ලබලා රට ගියා. මාළුන්ට ආස වුණාට මාළු ගැන ඉගෙනගන්නත් පරීක්ෂණ කරන්නත් සල්ලි ඕනෑ නේ. මම හම්බ කරපු සල්ලි වලින් තමයි මට අවශ්‍ය පොත්පත් ගත්තේ. සැත්කම්වලට අවශ්‍ය උපකරණ, බේත්හේත් ගත්තේ. මම අද යම්තාක් දුරකට මගේ ශල්‍යාගාරය සහ විද්‍යාගාරය හදාගෙන තිබෙනවා. ඒත් මෙහි ලොකු පහසුකම් නැහැ. මම තනියම මේ ගමන ආවේ. මට කවුරුහරි උදව් කරනවා නම් විද්‍යාගාර පහසුකම් පුළුල් කරගෙන තව ඉස්සරහට යන්න පුළුවන්. මම දන්න තරමින් මාළුන්ට සැත්කම් කරන, ප්‍රතිකාර කරන අය ලංකාවේ කොහේවත් නැහැ. මම මාළුන්ට කරන සැත්කම්වල වීඩියෝ ෆේස්බුක් දානවා. ඒ කිසිම වෙලාවක මෙවැනි ප්‍රතිකාර කරන තව කෙනෙකු ගැන සඳහනක්වත් නැහැ.
“ගොඩාක් දෙනා මාළුන්ගේ ලෙඩරෝගවලට බේත් කරන්න පුළුවන් ද කියලා තමයි අහන්නේ. ඒ නිසා මම හිතනවා මාළුන්ට ප්‍රතිකාර කරන කෙනකුට ලංකාවේ ඉන්නේ මං විතරයි කියලා. ඒ නිසා කවුරුහරි මට උදව් කරනවා නම් මගෙන් සැලසෙන සේවය තවත් පුළුල් විදිහට සපයන්න පුළුවන්.” යනුවෙන් ඉරෝෂ් අකලංක බණ්ඩාර දීර්ඝ වශයෙන් විස්තර කළේ සිත තුළ තෙරපෙන අනාගත අපේක්ෂා පිළිබඳ දැස් දල්වා ගනිමිනි.
එහෙත් ඔහු පවසන ආකාරයට ඔහුට බොහෝ ආයතනවලින් උදව් උපකාර කිරීමට පැකිළෙන්නේ ඔහු අධ්‍යාපන සුදුසුකම් සපුරා නොතිබීම නිසාය. එනම් විශ්ව විද්‍යාලයකින් පිළිගත් උපාධියක් ඔහුට නැත. ඇත්ත වශයෙන්ම ඔහු පශු වෛද්‍යවරයෙක් ද නොවේ. ගැමි වහරෙන් පවසන්නේ නම් ඔහු ගොඩවෙදෙකි. එහෙත් ඔහු මත්ස්‍යයන්ට ප්‍රතිකාර කිරීමෙන් ගෘහාශ්‍රිත සහ ව්‍යාපාරික වශයෙන් මසුන් ඇති කරන්නන් හට අපමණ සේවයක් සලසයි. ඔහුගේ සේවය කිසිසේත් සුළුකොට තැකිය නොහැකිය.
ඉරෝෂ් මේ වන විට තරුණ සත්ත්වවේදි සංගමයේ සාමාජිකයෙකි. ඔහුගේ එකම බලාපොරොත්තුව ඒක දේශික මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කිරීමය. එවැනි පර්යේෂණ කටයුතු සඳහා ඔහුට විශ්ව විද්‍යාලවල සහාය අනිවාර්යයෙන් ලබාගත යුතුය.
“මගේ දැනුම රටට දීලා සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.” යන්න ඉරෝෂ්ගේ සිහිනය එයයි. ඔහුගේ සිහිනය බොඳ නොවේවා’ යි අපි ප්‍රාර්ථනා කරමු.
හර්ෂා සුගතදාස
-Silumina-