මීගමුව, පිටිපන මහා විද්‍යාලය හෙවත් පිටිපන ජාතික පාසලේ 125 වැනි ජුබිලි සංවත්සරය පසුගිය 20 වැනි දින මහත් හරසරින් සමරනු ලැබීය.
එම සංවත්සර උත්සවය ආරම්භ වුයේ, එදින උදෑසන පිටිපන, ශුද්ධ වූ කානික්ක දේව මාතා දේවස්ථානයේ විශේෂ සාංවත්සරික දේව මෙහෙයක් පැවැත්වීමෙනි. මෙම සංවත්සරික ජුබිලි දේව මෙහෙය ගරු රංජිත් මැල්කම් කාදිනල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා එම දේවස්ථාන මීසම් පාලක ගරු ඇන්ටන් රංජිත් පියතුමා ඇතුළු තවත්ආරාධිත පියතුමන්ලා පිරිසක් සහභාගි වූහ.
මෙම දේව මෙහෙය සඳහා පිටිපන මහා විද්‍යාලයේ විදුහල්පතිනී ඉනෝකා රාජපක්ෂ මහත්මිය, සහකාර විදුහල්පතිනී, සංජීවනී රොද්‍රිගු මහත්මිය සහ විද්‍යාලීය ගුරු මහත්ම මහත්මීන්, සිසු දරු දැරියන් මෙන්ම ආරාධිත ගරු පියතුමන්ලා , කන්‍යා සොහොයුරියන් ,විද්‍යාලීය ආදී සිසු සිසුවියන් මෙන්ම පිටිපන ග්‍රාමවාසි සැදැහැවතුන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එම දේව මෙහෙයෙන් අනතුරුව සියලු ආරාධිතයින්ව, තූර්ය වාදක කණ්ඩායම් පෙරටු කර ගනිමින් එම විද්‍යාල පරිශ්‍රය වෙත උත්සවශ්‍රීයෙන් කැඳවාගෙන යන ලදී. ඉන් පසුව විද්‍යාල පරිශ්‍රයේදී 125 වැනි සංවත්සරික ජුබිලි උත්සවය ආරම්භ විය. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සහභාගි විය. එලෙසම කාදිනල් තුමන්ගේ ලේකම් ගරු ජෝසප් ඉන්දික පියතුමා බස්නාහිර පළාත් කතෝලික පාසල් කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ගරු ගැමුණු ඩයස් පියතුමා, ජාතික කතෝලික ජනසන්නිවේදන අංශයේ අධ්‍යක්ෂක ගරු ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා සහ පිටිපන කානික්ක දේව මාතා දේවස්ථානයේ මීසම් පාලක ගරු ඇන්ටන් රන්ජිත් පියතුමා ඇතුළු තවත් ආරාධිත පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් සහ මීගමුව අධ්‍යාපන කලාප හා අධ්‍යාපන කොට්ඨාශ බලධාරීන් මෙන්ම පිටිපන මහා විද්‍යාලීය ආදි සිසු සිසුවියන් පිරිසක්ද මෙම උත්සවය සඳහා ආරාධිතයන් ලෙස සහභාගී වූහ.
මෙහිදී වසර 125 ජුබිලි සංවත්සරය, ස්මරණය කිරීම සඳහා විද්‍යාල භූමියේ තනා තිබූ සමරු පලකය නිරාවරණය කිරීමද ගරු කාදිනල් තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එමෙන්ම විද්‍යාලයේ වසර 125 ක සංවත්සරය වෙනුවෙන් පිළියෙල කර තිබූ විශේෂ සංවන්සරික කේක් එක කැපීම, ගරු කාදිනල් තුමන්ගේ මූලිකත්වයෙන් සිදු වූ අතර ගරු කාදිනල්තුමන් විසින් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් පිරිසක්ද ඒ අවස්ථාවට සහභාගී කර ගනු ලැබීය.
විද්‍යාලය විදුහල්පතිනී ඉනෝකා රාජපක්ෂ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදුකළ අතර මෙම උත්සවයේදී විශේෂයෙන්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන අධ්‍යාපනය තුළ විවිධ දක්ෂතා සපලමත් කළ සිසු දරු දැරියන්ට ත්‍යාග, සහතික පත්‍ර, කුසලතා සම්මාන, සහ කුසලතා පදක්කම් පිරිනැමීමද ගරු කාදිනල් තුමන් ඇතුළු විශේෂිත ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එලෙසම විද්‍යාලයේ විවිධ ක්‍රීඩාවන්ගෙන් දස්කම් විස්කම් පෑ සිසු දරු දැරියන්ට ද මෙහිදී කාදිනල් තුමන් ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග, සහතික පත්‍ර ,කුසලතා සම්මාන, සහ කුසලතා පදක්කම්ද පිරිනැමීම සිදුවූහ.

මෙම සාංවත්සරික උත්සවයේදී ගරු කාදිනල්තුමන් විසින් විශේෂ කෙටි දේශනයක් පැවැත්වීය.
වර්ෂ 1896 දී , මීගමුව, පිටිපන කනිෂ්ඨ විදුහල ලෙස ආරම්භ කරමින් එහි ප්‍රථම විදුහල්පති ධුරයට පත් දොන් කරෝලිස් ගුරුන්නාන්සේ විසින් මෙම පාසල ආරම්භ කර ඇත.
මුල් කාලයේදී මෙම පාසල බාලිකා පාසලක් ලෙස ස්ථාපිත වුවද පසුව එනම් 1967 දී එය මිශ්‍ර පාසලක් ලෙස පමුණුගම, තලාහෙන පේරුව තුළ පිහිටි එකම මහා විද්‍යාලය බවට පත් වූ අතර එහි පළමු විදුහල්පතිවරයා බවට පත් වූයේ මයිකල් ජයමාන්න ගුරුන්නාන්සේය. වර්ෂ 1989 සිට මෙම පාසල පර්ෂද මූලස්ථ විද්‍යාලයක් බවට පත්විය. එවකට එහි විදුහල්පති ධූරය දැරුවේ සී.ඊ.පී. ප්‍රනාන්දු මහතාය. එලෙසම වර්ෂ 1990 සැප්තැම්බර් මස සිට කනිෂ්ඨ විද්‍යාලය සහ මහා විද්‍යාලය , ඒකාබද්ධ කළ අතර ඉන්පසුව මෙය මීගමුව පිටිපන මහා විද්‍යාලය ලෙස හඳුන්වනු ලැබීය. ඒ වනවිටත් මෙය
1- ඒ.බී. පාසලක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි උසස් පෙළ, ගණිතය, විද්‍යා විෂය ධාරාවන් මෙන්ම කලා සහ වාණිජ විෂයධාරාවන්ද ක්‍රියාත්මක වුහ. එහෙත් උසස් පෙළ විද්‍යා හා ගණිත විෂය ධාරා සඳහා පැවති ගුරු හිඟයත්, ශිෂ්‍ය සංඛ්‍යාවේ ද ක්‍රමික අඩුවීමත් සමඟම , මෙය 1-සී පාසලක් බවට පත්වී විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය කලා හා වාණිජ විෂය ධාරාවට පමණක් සීමා විය. ඉන් පසුව 2018 වසරේදී 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණු අධ්‍යාපන විෂය ධාරාව ක්‍රියාත්මක, පාසලක් බවට පත්විය . තවද 2020 වසරේ මෙරට පාසල් 1000 ක් ජාතික පාසැල් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මීගමුව පිටිපන මහා විද්‍යාලය ,ජාතික පාසැලක් බවට පත්විය.
අද වන විට මෙම පාසලේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 1076 කි. එලෙසම විද්‍යාලයේ ගුරු භවතුන් 43 දෙනෙකු සෙවයේ යෙදී සිටී. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට අපොස උසස් පෙළ කලා වාණිජ විෂය ධාරාව මෙන්ම පරිඝණක විද්‍යා විෂය මෙන්ම, වෘත්තිය පුහුණු අධ්‍යාපන කටයුතුද අද මෙම පාසල තුළින් ඉතා සාර්ථකව සිදු කරනු ලබයි.
තවද මෙදින විද්‍යාලයේ වසර 125 ක සංවත්සරය වෙනුවෙන් මුද්‍රණය කළ සමරු ප්‍රකාශන ග්‍රන්ථයේ මුල් පිටපත් ගරු කදිනල්තුමන් ඇතුළු පැමිණ සිටි ආරාධිතයන් හට පිරිනැමීමද මෙහිදී සිදුවිය. එමෙන්ම විදුහල්පතිනී ඉනෝකා රාජපක්ෂ මහත්මිය විසින් පිටිපන මහා විද්‍යාලයේ වසර 125 ජුබිලි සංවත්සයරට සහභාගි වීම වෙනුවෙන් ගරු කාදිනල් තුමන්ට විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද මෙම උත්සවයේදී සිදුවිය.
එමෙන්ම පිටිපන මහා විද්‍යාලයේ වසර 125ක ජුබිලි සංවත්සරය වෙනුවෙන් මෙලෙස සංවිධානය කර තිබූ මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා විශාල පිරිසක් විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ බව පිදුහල්පතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය පැවසීය. එලෙසම මෙම සංවත්සරික ජුබිලි උත්සවය විද්‍යාලීය සිසු දරු දැරියන්ගේ මනරම් හා විචිත්‍රවත් නර්තනාංග කිහිපයකින්ද වර්ණවත් විය.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු











