වැඩි වන ඉන්ධන මිල හමුවේ, රජය ධීවරයන්ට ලබාදීමට යන ඉන්ධන සහනාධාරය ඇත්තටම ප්‍රමාණවත්ද ??

0
15
කුඩා ධිවර බෝට්ටුද සිය රැකිය

 

පසුගිය අප්‍රෙල් මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනය පසුගිය 03 වැනිදා සිට (03/05/2026) ක්‍රියාත්මක වන බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී . ඒ අනුව
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.12 කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එහි නව මිල රු.410 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් 15 කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එහි නව මිල 470 කි. එලෙසම ඩීසල් මිලද මෙම ඉන්ධන මිල සංශෝධනයේදී ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රු 10 කින් ඉහළ ගොස් තිබේ. එහි ලීටරයක නව මිල වන්නේ රු 392 කි. සුපර් ඩීසල් ලීටරයක මිල ද රු 15 කින් ඉහළ ගොස් තිබේ. එහි ලීටරයක නව මිල රු 458 කි. තවද භූමිතෙල් මිලද මෙම ඉන්ධන මිල සංශෝධනය තුලින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක් රු 10 කින් ඉහළ ගොස් ඇති අතර භූමිතෙල් ලීටරයක නව මිල ලෙස සඳහන් වන්නේ රු 265 කි.

පසුගිය වාරයන් වල දී ද රජය විසින් සිදුකළ ඉන්ධන මිල සංශෝධන වලට අනුව පෙට්‍රල් හා ඩීසල් මිල සංශෝධනයන්ට සාපේක්ෂකව භූමිතෙල් මිල ගණන්ද රජය විසින් ඉහල දමා ඇත.

විශේෂයෙන්ම භූමිතෙල් මිල ඉහළ යෑම වැඩි වශයෙන්ම බලපානු ලබන්නේ එක් දින ධීවර යාත්‍රා භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ කර්යයේ යෙදෙන ධීවර ප්‍රජාවටය.

පසුගිය වර රජය විසින් සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේදී ද රු 29 කින් භූමිතෙල් ලීටරයක මිල ඉහල දැමීම තුළ වඩාත්ම අසරණ තත්ත්වයට පත් වූයේ එක් දින ධීවර යාත්‍රා හෙවත් කුඩා ප්‍රමාණයේ ධීවරයාත්‍රා මගින් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම ජනාධිපතිවරයා විසින් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කළ අතර බහු දින ධීවරයාත්‍රා සඳහා ඩීසල් ඉන්ධන සහනාධාරයක් සහ කුඩා පරිමාණයෙන් ධීවර කටයුතුවල නියැලෙන එක්දින ධීවර යාත්‍රා සඳහා භූමිතෙල් ඉන්ධන සහනාධාරයක් ලබාදීමටද රජය විසින් කටයුතු කරන ලදී.

ඒ අනුව අදාල දිස්ත්‍රික් ධීවර කාර්යාල හරහා එම ඉන්ධන සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව රජය විසින් දැනුම් දෙන ලදී. එහෙත් මෙතෙක් එම ඉන්ධන සහනාධාරය ධීවර ප්‍රජාවට ලැබී නොමැති පසුබිමක මෙවර ඉන්ධන මිල සංශෝධනයේදීද භූමිතෙල් මිල වැඩි වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන මීගමුව , වැල්ලවීදිය ඒකාබද්ධ ධීවර සංවිධානයේ හිටපු සභාපතිවරයෙක් වන රොඩ්නි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අඛණ්ඩව සිදුවන භූමිතෙල් මිල වැඩිවීම තුළ සිය ධීවර රැකියාව නිසි පරිදි කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතිි බවයි. රජය විසින් ඉන්ධන සහනාධාරයක් ධීවර ප්‍රජාවට ලබා දෙන බවට කළ ප්‍රකාශය අනුව, දිස්ත්‍රික් ධීවර කාර්යාලවලින් එම ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා අයදුම්පත් පුරවා සකස් කරගත් බවත් එම ඉන්ධන සහනාධාරය කඩිනමින් ලබා දෙන්නේ නම් තම ධීවර කර්මාන්ත කටයුතු පවත්වාගෙන යෑමට , එම ඉන්ධන සහනාධාරය යම් අස්වැසිල්ලක් වන බවද ඔහු පවසයි. ඒ අනුව මසකට රුපියල් 31000 ක පමණ භූමිතෙල් ඉන්ධන සහනාධාරයක් තමන්ට ලැබේවි යැයි ඔහු අනුමාන කරයි. එය තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුමක් හරහා ලැබෙන බවත්, සමිති මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් ධීවරයන්ට මෙම සහනාධාරය සඳහා අයදුම් කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එලෙසම රජය විසින් ලබාදීමට යෝජනා කර ඇති මෙම ඉන්ධන සහනාධාරය පිළිබඳව පසුගිය දිනක අප වෙත අදහස් දැක්වූ මීගමුව වැල්ලවීදිය, සාන්ත පීතර ග්‍රාමීය ධීවර සංවිධානයේ හිටපු සභාපති නිව්ටන් තමෙල් මහතා ප්‍රකාශ කළේ පසුගියදා රජය විසින් ධීවරයන් වෙත ලබාදීමට යන ඉන්ධන සහනාධාරය පිළිබඳව යම් ආකාරයකින් හෝ සෑහීමකට පත්වීමට හැකි බවයි. එහෙත් එය ලැබෙන ආකාරය පිළිබඳව බොහෝ ධීවරයන්ට නිසි දැනුවත්භාවයක් නොමැති අතර මෙම ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන තමන්ද නිසි ලෙස දැනුවත් නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. ධීවර සමිති මට්ටමින් මෙම සහනාධාරය ක්‍රියාත්මක වන බව දැන ගන්නට ලැබුණු බවත් එහෙත් එය කවදා සිට ක්‍රියාත්මක වේ දැයි තමන් නොදන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය කෙසේ වෙතත් මෙවැනි අසීරු ආර්ථික තත්ත්වයක් යටතේ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ධීවර කර්මාන්තයේ නියැලෙන්නෙකු ලෙස තමන් සතුටු වන බවද පැවසීය. එහෙත් මේ ආකාරයෙන් සෑම මිල සංශෝධනයකදීම භූමි තෙල් මිල ද ඉහළ යෑම තම රැකියාව සහ තම කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධාවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

එලෙසම මීගමුව , වැල්ලවීදිය ඒකාබද්ධ ධීවර සංවිධානයේ නම සඳහන් කිරීමට අකමැති ධීවර සාමාජිකයෙකු අප වෙත ප්‍රකාශ කළේ මෙම ඉන්ධන සහනාධාරය ලබාදීමෙන් පලක් නොවන බවයි.
” මේ සහනාධාරය ලබා දුන්නා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද සහනාධාරය යෝජනා කරලා , ඒක දෙන්නත් කලින්ම රජයෙන් නැවත නැවත භූමිතෙල් මිල මේ වගේ දරාගන්න බැරි විදිහට වැඩි කර ගෙන යනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ සහනාධාරයක් දුන්නට වැඩක් නෑහැ. සහනාධාරය වගේ හතර පස් ගුණයකින් මේ වෙද්දී භූමිතෙල් මිල වැඩිවෙලා තියෙනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩි වෙද්දි අනෙකුත් දේවල් වලත් මිල වැඩි වෙනවා. එතකොට කෝ ඒවට සහනාධාරයක්. ඉන්ධන මිලට ස්ථීරසාර සහනාධාරයක් ලැබෙනවා නම් ඒක හොඳයි. හැබැයි ඒක වැඩිවෙන වැඩිවෙන පාරට එහෙනම් සහනාධාරයත් වැඩි කළ යුතුයි. නමුත් එහෙම කරන්නේ නෑනේ. එතකොට ධීවර කර්මාන්තයට අදාළව තවත් දේවල් තියෙනවා. දැල් වගේ දේවල්. ඒවයේ මිල ගණන් සහ අනිකුත් දේවල් වල මිල ගණන්ද වැඩි වෙනවා . මොකද ඉන්ධන මිල වැඩි වෙද්දි රටේ හැම දේකම මිල ගණන් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය තත්වයක්. එතකොට ධීවරයාගේ තව මොන තරම් අවශ්‍යතාන තියෙනවද වියදම් තියෙනවද . ඉන්ධන මිල වැඩි වෙද්දි ඔය හැම දේකම මිල ගණන් වැඩි වෙනවා. එතකොට ධීවරයාගේ වියදම් වැඩිවෙනවා කොහොමටත් මේ සොච්චම් ඉන්ධන සහනාධාරයක් දුන්නා කියලා , ධීවරයාගේ ප්‍රශ්න ගැටලු සහ මේ රස්සාව කරන්න යන වියදම් කවදාවත් පිරිමහගන්න විදිහක් ලැබෙන්නෙ නෑහැ. ඒකෙන් සිද්ධවෙන්නේ මාළු මිල නොසෑහෙන විදිහට ගණන් යනවා. මිනිස්සු මාළු කන එක පුළුවන් තරම් අත හරිනවා. ඒක ධීවරයාගේ ආදායමටත් කෙලින්ම බලපානවා. මෙන්න මේ හැම දෙයක් ගැනම හිතලා බලලා තමයි රජය විසින් ධීවරයාට සහනාධාරයක් ලබාදිය යුත්තේ එහෙම නැතුව , මේ වතා කීහිපයක් ඉන්ධන විල වැඩි කරලා, සොච්චම් සහනාධාරයක් දීලා, ධීවරයාගේ ප්‍රශ්න ගැටලු නම් කවදාක්වත් විසඳාගන්න ලැබෙන්නේ නෑහැ”

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ, දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂකවරයාව සහ සහකාර දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම සඳහා වතා කිහිපයකදීම උත්සාහ ගත්තද , ඔවුන් දෙදෙනාම මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් සඳහා සහභාගී වී සිටින බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here